Print this Article


අයිතියෙහි මිථ්‍යාව

අයිතියෙහි මිථ්‍යාව

කරුණාවන්තකම, පරිත්‍යාගශීලිත්වය, මා පසුගිය වර්ෂ ගණනාවක කාලය තුළ සමාජයට දුන්නේ මේ වගේ දේ විත්තිය මා දන්නවා. අනාගතයේ දී කවුරුහරි මා රැක බලා ගනීවි. මට කන්න බොන්න දෙයි. අසනීප වුණොත් ඔබ කරන්නේ කුමක්ද? කියා සමහරු මගෙන් අහනවා. මගේ සෞඛ්‍යය ගැන ඉතාම හොඳ සැලැස්මක් මා සතුව තිබෙනවා. එය මා මුළු රටේම තැන්පත් කර තිබෙන සැලැස්මක්. යහපත් කර්මය තමයි මේ සැලැස්ම. මිනිස්සු අනාගතයේ දී මා රැකබලා ගනීවි.

මා කරන්නේ හොඳ වැඩ පමණයි. මා ඇලී සිටින්නේ හොඳ වැඩවලට විතරයි. ඔබටත් ඔබේ ජීවිතය සරල කරගන්න පුළුවන්. චාම් විදිහට ජීවත් වෙන්න පුළුවන්. එසේ ජීවත්වීමෙන් ඔබට නොමඳව සතුට ලබාගන්නත් පුළුවන් . පළමුවන කාරණාව මිල අධික ඇඳුම් වැළඳුම් වලින් සැරසීම අවශ්‍ය නැහැ. ලොකු ලොකු යාන වාහන අවශ්‍ය නැහැ. අනිත් අයගේ ආකර්ෂණය දිනාගන්න විශාල මන්දිරවල ජීවත්වීම අවශ්‍ය නැහැ. මා දිහා බලන්න.මගේ කදිම නිවාසය. මගේ වාහනය ගැන බලන්න.මා ජීවත්වන කුටි දිහා බලන්න. ඔබටත් මේ වගේ දේ අත්පත් කරගන්න පුළුවන්. ඒත් කරුණාකර ඒවා අයිතිකර ගන්න යන්න එපා. ඒවායේ හිමිකාරිත්වය සඳහා වෙහෙසෙන්න එපා. මේ විදියට යම් යම් දේ අයිතිකර ගැනීමට තමයි ඇලීම කියා කියන්නෙ. හිමිකාරත්වයේ මිථ්‍යාව කියන්නේ මේකට තමයි.

හිමිකාරත්වය කියන්නේ මිථ්‍යාවක්. ඔබට හිමිය කියා ඔබ සිතාගෙන සිටින වාහනය කවදා හරි පොඩි පට්ටම් වෙන්න ඉඩ තිබෙනවා. එහෙම නැත්නම් කවුරුහරි සොරකම් කරගන්න ඉඩ තිබෙනවා. ඔබට හිමි ඔබේ නිවසේ හිමිකම ඔබට නැතිවෙන්න ඉඩ තිබෙනවා. මොකක් හරි හේතුවක් නිසා රස්සාව නැතිවුණොත්. එහෙම දෙයක් වෙන්න ඉඩ තිබෙනවා. අනාගතයේ සිදුවෙන්නේ කුමක්දැයි ඔබට කියන්න බැහැ. ඕනම කෙනෙකුට දැන් හෝ කල් පහු වී හෝ මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ නිසා ඇත්තටම ඔබට අයිති මොනවාද?

මෙහිදී මා දැන් ඔබට කියන්නට යන කතාව නොකියාම බැහැ. මා මේ කියන කතාවට සම්බන්ධ තැනැත්තා බොහෝ කාලයක සිට මෙහි යන එන කෙනෙක්. ඔහුට තිබුණු එකම වස්තුව, තවත් විදිහකින් කිව්වොත් ඔහු ඇලී සිටි එකම භාණ්ඩය ඔහුගේ මෝටර් බයිසිකලයයි. එය විශ්වාස කරන්න බැරිතරම් ලස්සන මෝටර් සයිකලයක්. එය ඩොලර් පනස්දහසක් නැත්නම් හැට දහසක් වටිනා වාහනයක්. සමහර විට ඊටත් වඩා මිල අධික මෝටර් සයිකලයක්. ඔහුගේ අභිමානය වුණෙත්, විනෝදාංශය වුණෙත් මේ සයිකලයයි. ඔහු මට කිව් විස්තරයේ හැටියට වරක් ඔහු මෝටර් සයිකලයෙන් සිඩ්නි නුවරට ගිහින් තිබෙනවා. සාප්පු සවාරියකට සිඩ්නි නුවරට ගිය ඔහු ඔහුගේ අර වටිනා මෝටර් බයිසිකලය සාප්පු සංකීර්ණයේ වාහන නවත්වන තැනක නැවැත්වූවා.

සාප්පුවකට ගිහින් පැය භාගයකටවත් අඩු කාලයක් ගතකර තමන්ට අවශ්‍ය අඩුම කුඩුමත් මිලයට ගෙන ඔහු වාහනය නැවැත්වූ තැනට ආපසු ආවා. ඔහුගේ මෝටර් බයිසිකලය අතුරුදහන් වී තිබුණා. කවුරු හරි ඒක හොරකම් කරගෙන, ඔහු බොහෝ කාලයක් තිස්සේ බෞද්ධයෙක්ව සිටියා. ඔහු මෙහෙම හිතුවා. “මම මේ වාහනයට ඇලී සිටිනවාද? “මට මේක අත්හරින්න පුළුවන්ද?” මේ සිද්ධියෙන් පසුව ඔහු මට මේ ගැන ලියා තිබුණා. බුදුහාමුදුරුවන් නිරතුරුව දෙසුවේ කුමක්ද? හාමුදුරුවරුන් හා මෙහෙණින් වහන්සේලා නිරතුරුව දෙසා ඇත්තේ කුමක්ද? කියා ඔහු සිහිපත් කළා.

“මට කිසිවක් අයිති නැහැ. ඒක මගේ නොවෙයි” ඔහු සිතුවා. ඔහු ඇත්තටම ඔහුගේ වටිනා වස්තුව, මෝටර් සයිකලය පිළිබඳ ආශාව, ඇලීම අත්හැරියා. ඔහු ඔහු ගැනම ආඩම්බර වුණා.අවුරුදු ගණනාවක් තමන් උගත් දේ කොතරම් වටිනවාද කියා ඔහුට හිතුණා. ඔහු සතුව තිබුණු එකම වස්තුව දැන් ඔහුට අහිමි වෙලා. ඒක සොරු අරගෙන. ඒත් ඔහු දැන් හිතේ සාමයෙන් ඉන්නවා. “කමක් නැහැ. මම ඒක අත්හැරියා. මගේ මෝටර් සයිකලය නැතුව මට ජීවත් වෙන්න පුළුවන්” කියා ඔහු සිතුවා. තමන්ගේ වටිනාම වස්තුව නැතිවුණාම ඔහු හරිම තෘප්තියෙන් . හිතේ සතුටෙන් සිටියා. ඔහුට ඇත්තටම අත්හරින්න පුළුවන් වුණා. ඔහු ඒ භාණ්ඩයට ඇලී නොසිටි බව ඔහුටම තේරුණා.

නමුත් කර්මය පඩිසන් දෙනවා වගේ මේ එක්කම තමන්ගේ මෝටර් සයිකලය නතර කළේ සාප්පු සංකීර්ණයේ වෙනත් මහලක විත්තිය ඔහුට මතක් වුණා. ඔහු නිවැරැදි තැනට ගියාම ඔහුගේ වටිනා වස්තුව, මෝටර් සයිකලය තිබ්බ විදිහටම තිබුණා. ඔහුට මේ සිද්ධිය හරිම අත්දැකීමක් වුණා. තමන් තමන්ගේ මේ වටිනා වස්තුවට ඇළි නොසිටියත්. එය රස විඳින්න .තමන්ට පුළුවන් විත්තිය ඔහුට ඒත්තු ගියා.