පංච නීවරණ ධර්ම :
විචිකිච්ඡා නීවරණය
වරකාපොල, හැලගල ,
දංඕවිට අමරාවතී සදහම් සෙනසුනේ
අනුශාසක
කැලණියේ අජිත හිමි
සැකයේ වාසි පැත්තක් සේ ම අවාසි පැත්තකුත් තිබෙනවා. සැකය යන වදන පිළිබඳ ව යම්කිසි
විග්‍රහයක යෙදුණොත්, අපට ජීවිතයේ ඇතැම් කාරණා තේරුම් ගන්නට අපහසු වෙනවා. ඇතැම්
පුද්ගලයන් පිළිබඳවත් එසේ ම යි. ඔවුන්ගේ ක්‍රියාකලාපය, වචන සහ ප්‍රකාශන, ඒ අයගේ
හැසිරීම් රටාව පිළිබඳව අපට ඒකාන්ත වශයෙන් විශ්වාසයකට එන්නට පුළුවන්කමක් ලැබෙන්නේ
නැහැ. වත්මන් සමාජයේ අප ජීවත් වන්නේ අනතුරු බහුල යුගයක. විශේෂයෙන් ත්‍රස්තවාදී
අනතුරු, සැක කටයුතු පුද්ගලයන්ගෙන් නො සිතන සේ අනතුරු විය හැකි යි. එවැනි කාරණාවලදී
ද අප සැකය යහපතක් සේ යොදා ගත යුතු යි.
බුදුරජාණන් වහන්සේ වුව ද අපට දේශනා කරන්නේ සැක කළ යුතු තැන සැක කරන්න. හැබැයි, සෑම
කාරණයක් ම සැක කරන්නැ’යි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සැකය කියන වදන හඳුන්වන්නේ ‘විචිකිච්ඡාව’ ලෙස යි.
උන්වහන්සේ විචිකිච්ඡාව පෙන්වන්නේ සිත කෙලෙසා දමන, නුවණ දුබල කරන, නිර්වාණාවබෝධය වසා
දමන කාරණයක් ලෙස යි. ‘ආවරණා නීවරණා චේතසෝ උපක්කිලේසා’ යනුවෙනුයි, පංචනීවරණ පිළිබඳ
සම්බුදු විග්‍රහය. පංච නීවරණවල පස්වැන්න ‘විචිකිච්ඡා’ නම් වෙයි.
එක්තරා තැනක දී සංයුක්ත නිකායේ සුත්ත නිපාතයට අයත් පධාන සූත්‍රයේ දී දස මාර සේනා
පිළිබඳව කරන, විග්‍රහයේ දී බුදුරජාණන් වහන්සේ ‘පංචමී විචිකිච්ඡාතය’ යනුවෙන්
හඳුන්වන්නේත් මාර සේනාවක් ලෙස පවතින සැකය යි. මෙහිදී සැකය නිවන් අවබෝධයට බාධාවක්
වෙන්නේ කෙලෙස ද යනුවෙන් දැන ගැනීමත් බොහෝ සෙයින් ම ප්‍රයෝජනවත් වෙයි.
අප සාමාන්‍යයෙන් කුඩා කල සිට ම දන්නා දෙයක් වන්නේ බුදුරජාණන් වහන්සේ සැක කරන්නට හොඳ
නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය සැක කරන්නට හොඳ නැහැ. බුදුරජාණන්
වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය සැක කරන්නට හොඳ නැහැ. මෙලොව, පරලොව සැක කරන්නට හොඳ
නැහැ. පින් පව් පිළිබඳව සැක කරන්නට හොඳ නැහැ. අතීතයේ අප උන්නා ද යනුවෙන් සැක කරන්නට
හොඳ නැහැ. අනාගතයේ අප යළි උපදී ද යනුවෙන් සැක කරන්නට හොඳ නැහැ. වර්තමානය පිළිබඳවත්
සැක කරන්නට හොඳ නැහැ යනුවෙනි.
බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ සළායතන සංයුක්තයේ දී අපට පෙන්වා දෙන්නේ යම්
හෙයකින් යම් කෙනෙක් දුකඛේ කංකති – දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව සැක කරයි නම්, දුක්ඛ
සමුදය කංඛති –දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව සැක කරයි නම්, දුක්ඛ නිරෝධේ කංඛති-
දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ සැක කරයි නම්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය කංඛතී ‘
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව නම් වූ නිවන් මඟ ගැන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සැක
කරයි නම්, ඔහුට නිවන් අවබෝධය බොහෝ සෙයින් ම දුරස් වෙන බව යි. බොහෝ සෙයින් ම ඈත් වන
බව යි.
යම් කිසිවෙක් ඉපදීම දුක යිි, දිරාපත්වීම දුක යි, රෝගී වීම දුක යි, මරණය දුක යි ආදී
වශයෙන් දුක්ඛ ආර්ය සත්‍ය ගැන සැක කරයි නම්, ‘ලබා උපන් හැටි තමයි, මොනවා කරන්නද?
කරුමේ තමයි, යනුවෙන් උඩින් පල්ලෙන් කල්පනා කරනවා නම්, ඒ වගේ කෙනෙක් නම්, සැකයෙන්
එතෙර වන්නේ නැහැ. දුකට හේතුව ත්‍රිිවිධි තණ්හාව යි. කාම තණ්හා, භව තණ්හා, විභව
තණ්හා වන්නේ ත්‍රිවිධ තණ්හාව යි. යම්කිසි කෙනෙක් ත්‍රිවිධ තණ්හාව නිසා දුක හටගන්නවා
යනුවෙන් විිශ්වාස නො කර දුකට හේතුව අසවල් කාරණය යි, යනුවෙන් දුකට හේතුව වන සැබෑම
කරුණ වන තණ්හාව පිළිබඳව අවබෝධයක් ලබා නො ගෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සැක කරයි නම්,
ඒ තැනැත්තාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. යම්
කෙනෙක් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සැක කරයි නම්, එනම්, කාම තණ්හාවෙන් , භව තණ්හාවෙන් ,
විභව තණ්හාවෙන් දුක්ඛ නිරෝධය, දුකේ අවසානය යනුවෙන් යම් කෙනෙක් අවබෝධ කරගන්නේ නැතිව,
විශ්වාස කරන්නේ නැතිව දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ ව සැකයට එළැඹේනම්, ඔහු පවා
චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට සුදුසුකම් ලබන්නේ නැහැ. යම් කෙනෙක් දුක්ඛ නිරෝධ ගාමිණී
පටිපදා ආර්ය සත්‍ය නම් වූ උතුම් නිවන් මඟ වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සැක කරයි
නම්, භවයේ උපත ලැබූ සත්ත්වයා ඔහේ පැවතිලා, ඉබේටම අභාවයට පත් වෙනවා යන මක්ඛලී ගෝසාල
වැනි දෘෂ්ටි ගතිකයන්ගේ , මිත්‍යාමත ධාරීන්ගේ අදහස් වලට එළැඹුණොත් ඔහු පවා දුකෙන්
අත් මිදෙන්නේ නැති කෙනෙකු විලසයි, හඳුන්වා දිය යුත්තේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන
සඳහන් කිරීමේ දී අවබෝධ කරගන්නට ඕනේ සම්මා දිට්ඨිය, නිවන් මාර්ගය ගමන් කරන කෙනාට
අදාළ මූලික කරුණ යි. එය ශරීරයේ හිස වගෙ යි. ශරීරයේ හිස තිබුණොත් කඳ සහ අනෙක් සියලුම
අංග නියමාකාරයෙන් පාලනය වන්නේ. ශරීරයෙන් හිස ගලවා වෙන් කළොත් කඳෙන් වැඩක් ගන්නට
කෙසේවත් බැහැ. ධර්ම මාර්ගයේ ගමන් කරද්දී පවා එලෙස මයි. සම්මා දිට්ඨිය තිබෙන
ශ්‍රාවකයා තමයි, අනෙකුත් මාර්ග පූර්ණත්වයට පත් කරගන්නේ. යම් කෙනෙක් සම්මා දිට්ඨිය
පිළිබඳ සැක කළොත්, ඒ පුද්ගලයාට සංසාරික වශයෙන් බලවත් පාඩුවක්, බලවත් අලාභයක් සිදු
වෙයි.
නිවන් මාර්ගයේ ගමන් කරන, ශ්‍රාවකයා අවබෝධ කරගන්නට ඕනේ, සම්මා දිට්ඨිය මත පිහිටා
දෘෂ්ටිය ඍජු කරගෙන යහපත් සිතිවිලි, යහපත් කල්පනාවක් පවත්වා ගන්නට අවශ්‍ය යි කියලා.
තම යහපත් කල්පනාව පිළිබඳ ව සැකයකට ආවොත්, එනම් සම්මා සංකල්ප පිළිබඳ සැක කළොත්, ඒ
පුද්ගලයා පවා දුකෙන් අත් මිදෙන්නේ නැහැ. වචන භාවිතය වුව ද එලෙසම යි. නිවන් මාර්ගයේ
වචන භාවිතයට ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබෙනවා. ඒ නිසා මාර්ගාංගයක් ලෙස සම්මා වාචා
යනුවෙන් විශේෂ කරුණක් තුන්වනුව හඳුන්වනවා. වචන භාවිතයේ දී අප බොහෝ ප්‍රවේශම් විය
යුතු යි. වචන භාවිතයේ දී සියලුම ආකාරයේ වචන කතා නොකර ඉන්නැ’යි පවසන්නේ නැහැ. හැම
ආකාරයකින් ම වචන කථා කර, කර ඉන්නැ’යි පවසන්නේත් නැහැ. යම් වචනයක් අකුසල් නම්, එවැනි
වචන කතා නො කළ යුතු යි. යම් වචනයක් කුසල් නම්, එවැනි වචන කතා කළ යුතු යි. එය සම්මා
වාචා නම් වෙයි. සම්මා කම්මන්ත වුවත් එලෙසම යි. හැම කටයුත්තක් ම කරන්න. හැම
කටයුත්තක් ම කරන්න එපා කියලා බුදු දහමේ සඳහන් වන්නේ නැහැ. යම් ක්‍රියාවක් හේතු
කරගෙන අකුසල් හට ගන්නවා නම්, එවැනි කටයුතු කරන්නට එපා. යම් ක්‍රියාවක් හේතු කරගෙන
කුසල් වැඩෙනවා නම්, එවැනි ක්‍රියා කළ යුතු යැ’යි යනුවෙන් බුදුදහම අපට මඟ පෙන්වන්නේ.
ධනෝපායන ක්‍රම ගැනත් මෙහිදී සඳහන් කළ යුතු ම යි. එය හඳුන්වන්නේ සම්මා ආජීව ලෙස යි.
ධනෝපායන ක්‍රම ගැන හැඳින්වීමේ දී සරලව සඳහන් කළොත් ඔබ කරන රැකියාව , ඔබ කරන වෙළෙඳාම
, ඔබ කරන ගොවිතැන කෙටියෙන් ම සඳහන් කළොත්, ඔබට මුදල් ගලා එන ක්‍රමය දෙස ඔබ සැකයෙන්
ම බැලිය යුතු යි. මට මුදල් ලැබෙන ක්‍රමය ධාර්මික යි ද? අධාර්මික යි ද? ධාර්මික
ක්‍රමයක් නම්, ඔබ එය කළ යුතු යි. ඒ ගැන සැක කළ යුතු නැහැ. එය ධර්ම මාර්ගයට හානියක්
නැහැ. ගෘහස්ත ජීවිත ගත කරන උදවියට ධනය අත්‍යවශ්‍ය ම කාරණයක්. සම්මා වායාමත් එලෙස ම
යි. වායාම යනු වීර්යය යි.
නිර්වාණාවබෝධය කරා යන ශ්‍රාවකයාට යහපත් වීර්යයක් තිබිය යුතු යි. එලෙසම යහපත් සිහි
කල්පනාවක් තිබිය යුතු යි. එය සම්මා සතිය යි. කුසල් අරමුණු තුළ ධ්‍යාන සමාධි උපදවා
ගැනීම සම්මා සමාධිය යි. මේ අංග අටකින් යුක්ත නිවන් මාර්ගය පිළිබඳව යම් කෙනෙක් සැක
කළොත්, ඒ කෙනා බැහැර වෙන්නේ අමා මහා නිවනින් බව ඉතා හොඳින් තේරුම් ගත යුතු කාරණයක්.
ඒ නිසා බුදුන් වහන්සේගේ සම්බුදු උපත, සම්මා සම්බුද්ධත්වය, පරිනිර්වාණය යන වෙසක්
තෙමඟුල සමරන මේ කාලයේ හදවත් දහම තුළින් පෝෂණය කළ යුතු යි. බුදුරජාණන් වහන්සේ
පිළිබඳව, බුදුරජාණන් වහන්සේ්ගේ ඉගැන්වීම් පිළිබඳව ගැඹුරු විශ්වාසයක් ඇතිකරගෙන
සැකයෙන් එතෙර විය යුතු යි. එසේනම්, ධර්ම මාර්ගය පිළිබඳව සැක නො කොට නිවන් මඟ ගැන
විශ්වාසයෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ නැත්තා වූ අමා මහා නිවනින් සැනසෙන්නට ධර්ම
මාර්ගය උපකාරයක් ම වේවා!
-
ජම්මික ප්‍රබෝධනී වැලිකල |