Print this Article


පංච නීවරණ ධර්ම : ව්‍යාපාද නීවරණය

පංච නීවරණ ධර්ම :

ව්‍යාපාද නීවරණය

ව්‍යාපාදය කියන්නේ සිතක ඇතිවන තරහ සිතිවිලියි. නැතිනම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන පංචකාම ගුණ කෙරෙහි කෙනෙකුගේ සිතේ ඇතිවන ගැටීම යි.

ව්‍යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්‍යාපාදය බලවත්වීම පිණිසත් හේතුවන කාරණා බුදුරජාණන් වහන්සේ මනාකොට පෙන්වා දී තිබෙනවා. එනම් හිතේ ගැටීම ඇතිකරවන අරමුණු (පටිඝ නිමිත්ත) පිළිගැනීමත්, අනවබෝධයෙන් ඒ ගැන කල්පනා කිරීමත් තුළින් ව්‍යාපාදය හට ගන්නවා. ඒ වගේ ම හටගත් ව්‍යාපාදය බලවත් වෙනවා. නූපන් ව්‍යාපාදය නූපදීම පිණිසත්, උපන් ව්‍යාපාදය ප්‍රහාණය වීම පිණිසත් උපකාරී වන කරුණු භාග්‍යවතුන් වහන්සේ මෙලෙස දේශනා කොට වදාළා. ව්‍යාපාදය දුරුවීමට නම් කරුණා වූ මෛත්‍රී ආදී ගුණධර්ම බලවත් කර ගැනීමත්, ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීමත් සිදුකළ යුතු යි.

ව්‍යාපාදය ඇතුළු නීවරණ පහ නිසා යථාර්ථය වටහා ගැනීමට නොහැකි පරිදි අරමුණුවලට මුළුමනින්ම වසඟ කරවාලන අන්ධයෙක් බවට පත් කරවනවා. (අන්ධ කරණා) දහම් ඇස නම්වූ නුවණැස නැති කර දමනවා. (අචක්ඛු කරණා) අඤ්ඤාන භාවයේම ගිල්වා තබනවා. (අඤ්ඤාණකරණා) සද්ධර්මය අවබෝධ කිරීමේ හැකියාව නැතිකර දමනවා. දුක් උපදවාලන පක්ෂයටම අයිති වෙනවා. සංසාර දුකින් නිදහස් වීම පිණිස උපකාර නොවේ. (අනිබ්බාණා සංවත්තනිකෝ) කියා ශාස්තෘන් වහන්සේ වදාළා. එනිසා ධම්මානුපස්සනාවේ යෙදෙන ශ්‍රාවකයා, අකුසල් ගොඩක් කියා හඳුන්වන මෙම නීවරණ ප්‍රහාණය කිරීමට සිහිය, නුවණ වීරිය, යොදවනවා.

හු පංච කාම ගුණයන් කෙරෙහි ගැටීම තමා තුළ පවතින කල්හි ව්‍යාපාදය මා තුළ දැන් පවතී යයි මනා කොට දැන ගන්නවා. (සන්තං වා අජ්ඣත්තං ව්‍යාපාදං, අත්ථි මේ අජ්ඣත්තං ව්‍යාපාදෝති පජානාති

තරහ ඇතිවූ විට නුවණින් තමන්ගේ සිත දෙස බලනවා. මේ තරහ ඇතිවුණේ පටිඝ නිමිත්ත යි, අයෝනිසෝ මනසිකාරය යි නිසා. ඒ නිසා යෝනිසෝ මනසිකාරයෙන් පටිඝ නිමිත්ත බැහැර කර මෛත්‍රී නිමිත්තක සිත පිහිටුවා ගැනීමයි එතැන දී කරන්න තිබෙන්නේ. මේ ආකාරයට යෝනිසෝ මනිසිකාරයන් මෙත් සිත ඇතිකරගෙන ව්‍යාපාදය දුරු කරගත්විට, දැන් මගේ සිතේ තරහක් නැහැ යනුවෙන් මනාකොට තේරුම් ගන්නවා. (අසන්තං වා අජ්ඣත්තං ව්‍යාපාදං, නත්ථි මේ අජ්ඣත්තං ව්‍යාපාදෝති පජානාති)

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාළා, යම් ආකාරයකින් අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා, තමා තුළ හට නො ගන්නා වූ ව්‍යාපාදය හටගන්නේ වෙයි ද , ශ්‍රාවකයා එය ද මනාකොට දැන ගන්නවා. (යථා ච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උප්පාදෝ හෝති තඤ්ච පජානාති) යම් ආකාරයකින් සතිපට්ඨානයෙහි සිත මනාව පිහිටුවා ගැනීම නිසා කලින් හටගෙන තිබුණා වූ ව්‍යාපාදය ප්‍රහීණ වී යන්නේ වේ ද, එය ද මනාකොට දැන ගන්නවා. (යථා ච උප්පන්නස්ස ව්‍යාපාදස්ස පහාණං හෝති, තඤ්ච පජානාති) එසේම යම් ආකාරයකින් අවබෝධ ඤාණය තුළින් යථාර්ථය දැකීම නිසා ප්‍රහීණ වී ගියා වූ ව්‍යාපාදය , මතු කිසි කලෙකත් හට නො ගන්නේ වේ ද, එය ද මනාකොට දැනගන්නවා. (යථා ච පහීණස්ස ව්‍යාපාදස්ස ආයතිං අනුප්පාදෝ හෝති, තඤ්ච පජානාති)

ව්‍යාපාදය ආදී නීවරණ ධර්මයන් ප්‍රහාණය කිරීමට උනන්දුව ඇතිවන්නේ ඒවායෙහි ආදීනව ධර්ම නුවණින් විමසා බැලීමෙනි. භාග්‍යවතුන් වහන්සේ අකුසල රාසි නම් සූත්‍ර දේශනාවේ දී නීවරණයන් ගැන වදාළේ මෙලෙසිනි. “පින්වත් මහණෙනි, අකුසල් ගොඩක් කියා යම් දෙයකට කිවයුතුනම්, මේ පංච නීවරණයන්ට ම කිව යුතු ය. මේ පංච නීවරණ තනිකරම අකුසල් ගොඩකි.”

එමෙන් ම, සංයුත්ත නිකායෙහි කිලේස සූත්‍රයෙහි දී, භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මෙලෙසින් කරුණු පෙන්වා දුන් සේක. “පින්වත් මහණෙනි, කිළිටි වී ගිය අපිරිසුදු රත්තරන් මෘදුත් නොවේ. කර්මණ්‍යත් නොවේ. ප්‍රභාස්වරත් නොවේ. වහා කැඩෙන්නේ ද වේ. එවැනි රත්තරන්, ආභරණ තැනීම වැනි රනින් කරන කටයුතු සඳහා ද නො ගනී.

පින්වත් මහණෙනි, එපරිද්දෙන් ම පංච නීවරණයන්ගෙන් කිලිටි වී ගිය අපිරිසුදු සිත මෘදුත් නොවේ. කර්මණ්‍යත් නොවේ. ප්‍රභාස්වරත් නොවේ. වහා බිඳ වැටෙයි. සිතෙහි මුල් බැසගත් කෙලෙසුන් ක්ෂය වීමට සුදුසු පරිද්දෙන් මනාකොට සමාධිමත් ද නොවේ.

පංච නීවරණයන්ගෙන් සිත මුදවා ගැනීම සද්ධර්මය තුළ ස්ථිරසාර ප්‍රගතියක් උදාකර ගැනීමට අතිශයින් ම රුකුල් දෙන බව භාග්‍යවතුන් වහන්සේ පුන පුනා වදාළ සේක. එබැවින් ව්‍යාපාදය ආදී මෙම නීවරණයන් පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කරගැනීම ශ්‍රාවකයා කළයුතුම දෙයකි. අප මුලින් ම ඉගෙනගත් පරිදි ව්‍යාපාදය හටගන්නේ හේතු ප්‍රත්‍ය සහිතව ම ය. පවතින්නේ ද හේතු ප්‍රත්‍ය සහිතවම ය. ඒ හේතුන්, ඒ ප්‍රත්‍යයන් නැතිවීමෙන් ව්‍යාපාදය ද නැති වී යයි.

එනිසා අපගේ ශාස්තෘන් වහන්සේ වදාළ අයුරින් ව්‍යාපාදය ප්‍රහාණය කිරීම පිණිස මෛත්‍රිය ප්‍රගුණ කිරීමට අපි සියලු දෙනාම උත්සාහවත් වෙමු. එය සම්බුදු තෙමඟුල සමරන, මෙම උතුම් වෙසක් සමයේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා සිදුකළ හැකි උතුම් ප්‍රතිපත්ති පූජාවකි.