පංච නීවරණ
ධර්ම :
කාමච්ඡන්ද නීවරණය
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
කාමච්ඡන්දය නම් කාමයට හෙවත් ඇලීමට ඇති කැමැත්තයි. එනම් කාමාශාවයි. කාමය තනි වචනයක්
ලෙස සලකන්නේ නම්, කැමැත්ත, ආශාව, රාගය, රූප ශබ්දා දී සතුටට හේතුවන දෙය ආදී ලෙසින්
ගැනීමට හැකි ය. කාමච්ඡන්දය නම්, නිර්වාණ මාර්ගය අවහිර කරන පඤ්ච නීවරණ ධර්මයන්ගෙන්
පළමුවැන්නයි. සිත කෙලෙසුන්ගෙන් මුදවා ගැනීමේ දී, දැඩි ආශාව, ලෝභය, මහත් සේ බාධා
පමුණුවයි. මෙම දැඩි ආශාව හෙවත් විෂම වූ ලෝභය වස්තු කාම සහ ක්ලේශ කාමයන් හේතුකොට ගෙන
ඇතිවෙයි.
ආහාරපාන, වස්ත්‍රාභරණ, යාන වාහන, ගෘහ භාණ්ඩ, විහාරාරාම, තනතුරු, පුත්‍ර - භාර්යා,
ශිෂ්‍ය ඤාති හිතමිත්‍ර, දායක, ජීවිත, කීර්ති, ප්‍රශංසා, රට රටවල සංචාර, ස්ත්‍රී
පුරුෂ දර්ශන, ප්‍රිය සම්භාෂණ ආදී ලෞකික වස්තූන් පිළිබඳව ඒවායින් ලබන ප්‍රීතිය සුවය
පිළිබඳව ද ආශාව කමච්ඡන්දයේ ලක්ෂණයෝ ය. නිවන් මඟ අරමුණු කරන ගිහි හෝ පැවිදි ශ්‍රාවක
ශ්‍රාවිකාවන්ට ඔවුන්ගේ චරිත ස්වභාවය සහ පැවැත්ම අනුව මේ කාමච්ඡන්දයේ ක්ලේශ විපාක
බලය අඩු වැඩි විය හැකි ය.
ලෞකික ජීවිත ගත කරන ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ඉගෙනීම, රැකියාව, විවාහ, දරුවන්,
මව්පියන්, ගේදොර, තනතුරු, කීර්ති ප්‍රශංසා හේතුකොට ගෙන වස්තුකාම සහ ක්ලේශ කාම
බලවත්ව සහ නිතොර ඉපදීම ස්වභාවයකි. පැවිදිව නිවන් මඟ අරමුණු කරන විට ගිහි ජීවිතයේ
ඇතිවන බොහෝ කාමච්ඡන්දයන් ඉපදීමට අරමුණු නොසැකසෙයි. එයට හේතුව නම්,
“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ඡිකරණත්ථාය”
යනුවෙන් සියලු දුකින් නිදහස්ව නිවන් අවබෝධය පිණිස ම අරමුණු පවත්වනවා යන අදහස නිසා
ය. පැවිදි වූවත් එම අරමුණෙන් බැහැර වූවොත් ගිහියන් මෙන් කාමච්ඡන්දය බහුල විය හැකි
ය.
“සත්ව - පුද්ගල” සංඥාව නිච්ච, සුඛ, අත්ත වශයෙන් සිතින් ගැනීමෙන් උපාදානයන් සකස්
වෙයි. සියලු සංඛත (පඨවි ආදී ධාතූන් හේතු කරගෙන හටගෙ, එම පඨවි ආදී ධාතූන් විසිර යන
විට ක්ෂය, වයස, භංගවන සියල්ල) සංඛාර අනිච්ච, දුක්ඛ, අනත්ත නම් තිලක්ඛණයට යටත් කොට
දැක රාග, දෝස, මෝහ, යටපත් වීමට, සංසිඳීමට, මුලින් ම උපුටා දැමීමට පුරුදු නොකරන ලද
අභාවිත සිත් මෙසේ අරමුණු උපාදානය කර ගනී. එය කාමයට ඇති ඇල්මෙන් සිදුවන්නකි. එය එසේ
සිදුවන්නේ කුමක් නිසා ද? ඉහත සඳහන් කළ ආකාරයෙන් අභාවිත සිත් ඇත්තා විසින් ඇස ආදී
ඉන්ද්‍රියන්ගෙන් රූපාදී අරමුණු ගන්නා විට නිමිති අනුනිමිති,ව්‍යඤ්ජන රස වශයෙන් කාම
ගුණ සකස් කර ගනු ලැබේ. එනම් පුද්ගලයෙක් නම් අඟ පසඟ, ආකාරය, ලීලාව, සිනහව, හැසිරීම
කතාබහ ආදී වශයෙන් අවිඤ්ඤාණක වස්තුවක් නම් පෙනුම, රසය, පනවා ගත් වටිනාකම් අනුව
ඇලීම්, බැඳීම්, සිතින් අයිතිකර ගැනීම් වශයෙනි.
මෙම මානසික ස්වභාවය පඤ්චකාම ගුණයන්ගේ ඉපදීම ලෙස ද දක්වයි. “චක්ඛු විඤ්ඤෙය්‍යා රූපා
ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා” යනුවෙන් දැක්වූ පරිදි චක්ඛු
විඤ්ඤාණයෙන් රූප ගන්නා විට ඉටු වඩන, මනවඩන, ප්‍රිය දැයෙහි, කාමයෙන් යුත්, සිත් අලවන
ලෙසින් නිමිති, ලක්ෂණ, රස සලකා ගැනීම ය. තවදුරටත් මෙය මෙසේ විස්තර කළ හැකිය.
“චක්ඛුනා රූපං දිස්වා සුඛාය වේදනාය ඵුට්ඨෝ සමානො අභිනන්දති, අභිවදති, අජ්ඣෝසාය
තිට්ඨති”.
එනම් ඇසින් රූපයක් දැක, ‘මම’ කොටගත් සැප වේදනාවෙන් ස්පර්ශ කරමින්, නිමිති ගනිමින්,
ඒ ගැන සතුටුවෙයි. ඒ ගැන කියයි.
ප්‍රාර්ථනා කරයි. සිත ඒ අරමුණෙහි ඔසවා තබයි. එනම් සිතෙහි ප්‍රධාන කොට පනවා ගනී. මේ
කාමච්ඡන්දයේ හටගැනීම සහ ස්වභාවයයි. කාමච්ඡන්දය ප්‍රහාණය වීම පිණිස මෙසේ මනසිකාරය කළ
යුත්තේ ය. “භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අල්ප ආස්වාද ඇතියහ. බොහෝ දුක් ඇත්තාහ.
බොහෝ උපායාස ඇත්තා හ. බොහෝ ආදීනව ඇත්තාහ යැයි වදාරන ලදහ.
“අට්ඨකංකලූපමා කාමා” කාමයෝ මස් ලේ නැති ඇට සැකිල්ලක් බඳු ය. යනුවෙන් කාමයේම කොටසක්
වන රාගය ප්‍රහාණය පිණිස මෙසේ සිහිපත් කිරීම සුදුසු ය. “රාගය සිත කය දවන ගින්නකි.
පපුවට අනින කිනිස්සකි. මිත්‍ර වේශයෙන් එන සතුරෙකි. ගුණ දහම් පැහැර ගන්නා සොරෙකි.
නුවණැස වසන පටලයෙකි. සිත දුබල කරන රෝගයකි.
ගොඩනැගිය නොහෙන සේ එරෙන මඩ වගුරකි. සත්වයන් ගිල්වා මරන ඕඝයෙකි. මෙලොව ම දාස බවට
පමුණුවන පාපයෙකි. අපායට ගෙන යන්නට එන යම දූතයෙකි. නිවන් මග වසන පවුරකි. මේ රාගයෝ හට
ගන්නේ දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන් අපවිත්‍ර වළකය. අපවිත්‍ර පිරවූ, බිඳෙන, නිතර
අපවිත්‍ර පිටට ගලා එන බඳුනකටය. නපුරු වූ කාමයෝ, රාගයෝ මා සිත දුරුවේවා යනුවෙනි.
දීපා පෙරේරා |