විකෘති මනෝභාවයන් එපා
හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර
මාවත ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත්
සංඝ සභාවේ
ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
මනුෂ්‍යයන් වෙනුවෙන් කවර නරකක් කළ ද ඊට සාපේක්ෂව නරක විපාකයන් පැමිණෙන්නේ නැත යන
මිථ්‍යාදෘෂ්ඨිය නිසා යමෙකු අවිද්‍යාවෙන්, මෝහයෙන් අඳුරු වුණොත් එම පුද්ගලයා කෙරෙන්
ද අපරාධකාරි හැසිරීම් දැක ගත හැකි වනු ඇත.
මෙවර ලාංකේයයන්ට වෙසක් පුන් පොහෝ දිනය උදාවන්නේ පසුගිය දා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ
බිහිසුණු මතකය වියැකී නොගිය මොහොතක ය.
තිස් අවුරුද්දක් ත්‍රස්තවාදයකින් බැට කෑ ලංකා සමාජය දස වසරකට පසුව නැවත වතාවක්
ආගමික ත්‍රස්තවාදයකින් පීඩා විඳීම ඇරඹී ඇත. මෙවැනි පසුබිමක් යටතේ අප සමාජයක් ලෙස
මුහුණ දෙන ප්‍රශ්න ගැටලු සඳහා පිළිතුරු සෙවීමේ දී පිහිටා සිටිය යුතු පදනම කවරක් ද
යන්න මෙහිදී තථාගත ධර්මය මත පිහිටා සාකච්ඡා කෙරෙනු ඇත.
තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ ම නුවණින් අවබෝධ කරගනු ලැබුවේ පටිච්චසමුප්පාද ධර්මයයි.
සරලව එය හේතුඵල ධර්මය ලෙස බුදු දහමේ සාකච්ඡා කෙරේ. යම් කිසි ඵලයක් පවතින්නේ නම් එම
ඵලය උපදවනු ලැබූ හේතු ප්‍රත්‍යය පැවැතිය යුතු බව තථාගත ධර්මය අපට අවධාරණය කරන අතර
යම්කිසි ඵලයක් නැතිනම් එයට ද එකී ඵලය පවතින හේතු නැතිව තිබීම සිදුවිය යුතුබව තථාගත
ධර්මය අපට අවධාරණය කරයි.
“හෙතුං පටිච්ච සම්භූතං
හෙතු භංගා නිරුජ්ජති” යනුවෙන් පටිච්ච සමුප්පාද ධර්ම පර්යාය තුළ සිද්ධාන්තයක් වශයෙන්
ද එය අවධාරණය කර ඇත. තව දුරටත් මෙය විග්‍රහකර ගැනීම පිණිස බුද්ධ භාෂිතය වෙත අවධානය
යොමු කිරීම වටී.
“අස්මිං සති ඉධං හොති” - මෙය ඇති කල්හි මෙය වේ. “අස්මිං අසති ඉධං න හොති” - මෙය
නැති කල්හි මෙය නොවේ. “ඉමස්ස උප්පාදා ඉධං උප්පජ්ජති” - මෙය ඉපදීමෙන් මෙය උපදී
“ඉමස්ස නිරෝධා ඉධං නිරුජ්ජති” - මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. මෙම ධර්ම පාඨය
තුළ අපට අවධාරණය කරන්නේ ද ඕනෑම ධර්මතාවයක් ඇතිවීම. පැවතීම නැතිවී යාම සිදුවන්නේ
පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායට අනුකූලව බවයි. ඒ අනුව සමාජ ප්‍රශ්න හෝ, පුද්ගල
ප්‍රශ්නයක් හෝ අහේතුකව, අප්‍රත්‍යව ඉපදීමට, පැවතීමට හෝ නැතිවීමට අවකාශයක් නැත. හේතු
ඇති කළ ඉපදී, පැවතී. හේතු නැති කල එම ඵලය ප්‍රකට නොවීම එහි දී අපට පෙන්වා දී ඇත.
වර්තමානයේ අප මුහුණ දී ඇති ත්‍රස්තවාදය ද අහේතුකව ඉපදුණ ඒවා නොවේ. ඒවායේ පදනම වන්නේ
අවිද්‍යාව, ද්වේශය සහ තෘෂ්ණාවයි. කාම තණ්හාවෙන් පෙළෙන සත්වයා, කාම තණ්හාවෙහි ,
උපරිමය භුක්ති විඳීමට යම්කිසි තැනෙක අවස්ථාවක් ලැබෙන්නේ යැයි විශ්වාස කළ හොත් එකී
කාම තණ්හාව සම්පූර්ණ කරගනු වස් ඕනෑම අකුසල වූ ත්, අපරාධකාරි වූ ත් හැසිරීමකට පෙළඹේ.
වර්තමාන ත්‍රස්තවාදී කණ්ඩායම ද මූලිකව පිළිගන්නා සංකල්පයක් වනුයේ දෙවියන් සමඟ එක්
වී කන්‍යාවියන් පිරිවරා ගෙන කාමභෝගී ජීවිතයක් ගත කිරීමත්, අනෙක් ආගමිකයින් ඝාතනය
කොට දෙවියන් සමඟ එකතු වීමට සදාකාලික අවකාශයක් සැලසෙන බවයි. එම විශ්වාසයෙන් උමතු වූ
පසු ඕනෑම පාපයක් කිරීමට මිනිසා තුළ පෙළඹවීමක් සිදුවන බව පසුගියදා සිදු වු සිදුවීම්
අපට සනාථ කරයි.
ඊට අමතරව ද්වේශය ද මිනිසුන් ඕනෑම අපරාධයකට , අකුසලයකට පොළඹවන හේතුවකි. තමන්ගේ මතය
නොවන, තමන්ගේ විශ්වාසය නොවන අනුන් වෙත ඇති කරනු ලබන අකැමැත්ත ක්‍රම ක්‍රමයෙන්
එකිනෙකා නුරුස්සන වෛරය හෝ ක්‍රෝධය බවට පරිවර්තනය වන මානසික තත්ත්ව මනුෂ්‍යයා තුළ
ඇති කරයි. දෙවියන් වෙනුවෙන්, මනුෂ්‍යයන් වෙනුවෙන් කවර නරකක් කළ ද ඊට සාපේක්ෂව නරක
විපාකයන් පැමිණෙන්නේ නැත යන මිථ්‍යාදෘෂ්ඨිය නිසා යමෙකු අවිද්‍යාවෙන්, මෝහයෙන් අඳුරු
වුණොත් එම පුද්ගලයා කෙරෙන් ද අපරාධකාරි හැසිරීම් දැක ගත හැකි වනු ඇත. ඒ අනුව බුදු
දහම පුද්ගලයෙකු ගේ හෝ සමාජයක අයහපත් තත්ත්වයක් විග්‍රහ කරන්නේ එකී පුද්ගලයාගේ
සන්තානයෙහි පවතින අකුසල හේතුඵල ප්‍රතිඵලයන් ලෙස ය. ඒ අනුව මිනිසාගේ යහපත් චර්යාවන්
අපේක්ෂා කරන්නේ නම් අනිවාර්යයෙන් ම ඔවුන්ගේ මනස තුළ පවතින විකෘති මනෝ භාවයන්ගෙන්
ඔවුන් මුදවාලීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතු ම ය. ඊට අමතරව මෙවැනි තත්ත්වයන් ඇති
වීමෙහි ලා බලපෑම් කරන සමාජයීය හේතු ද පවතී. ඒ අතර රාජ්‍යයෙහි දුබලකම්, පරිපාලන
නිලධාරීන්ගේ දුබලකම් ,පාලකයින් ගේ දුබලකම් ද හඳුනාගත යුතු ය. යම්කිසි සමාජයක
මනුෂ්‍යයන්ගේ හැසිරීම්, ක්‍රියාකාරීත්වය සම්බන්ධව ආරක්ෂක අංශ විසින් ගැඹුරු සොයා
බැලීමක් නොකෙරුණ විට එම නිදහස ඉහත දක්වන ලද අපරාධකාරි චෛතසික වර්ධනය වීමට ප්‍රබල
හේතුවක් වනු ඇත. සාමාන්‍ය සමාජය ප්‍රඥාව, නුවණ, දියුණු කිරීමෙන් ම තමන්ගේ හැසිරීම්
යහපත් තත්ත්වයට පත්කරගන්නට සමත් නැත. එබැවින් නීතිය, විමර්ශනය ආදි ලෞකික
ක්‍රියාකාරකම් ද මිනිස් සමාජයක් තුළින් අයහපත් ප්‍රතිඵල වළකාලීමට කෙටිකාලීන උපාය
මාර්ග ලෙස භාවිත කළ යුතුම ය. භාග්‍යවතුන් වහන්සේ රජ කෙනකු විසින් ජනතාවට සිදු කළ
යුතු යුතුකම් අතර ප්‍රධාන යුතුකමක් ලෙස ආරක්ෂාව, රැකවරණය සැලසීම පෙන්වා දී ඇත. මේ
ආකාරයට විවිධත්වයකින් යුක්ත වූ සමාජයෙහි උපදින ගැටලු නිරාකරණය කිරීමේදී ඒවායේ
අභ්‍යන්තරික හේතු මෙන්ම සමාජීය හේතු පිළිබඳව ගැඹුරු අවධානයක් යොමු කරමින් එම හේතු
නැති කිරීමට කටයුතු කළ යුතු අතර එකී හේතු නැති කළහොත් පමණක් අලුතින් ප්‍රශ්න, ගැටලු
ඇතිවීම වළකාලනු හැකි ය. |