Print this Article


පත කුඩාවෙද හිත තිබේනම්...

පත කුඩාවෙද හිත තිබේනම්...

උතුම් බෝසත් උපත සිදු වූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි. ලෝසත වෙත පතළ මහා කරුණාවෙන්, මහා මායා මව්කුසින් මනුලොව උපත ලද මොහොතේ එදා ලුම්බිනි සාල වනයේ සුපිපි සල්මල් තුරු හිස් සෙවණේ සත් පියුම් පිපුණේ බෝසත් කුමරුගේ පාද පද්ම පිළිගන්නටයි.

සියක්පෙති පිරී ගත් සත් පියුම් වෙතින් හමා ආ පින්බර සුගන්ධයෙන් එදා ලුම්බිනි සාල වනයම පිරී ඉතිරී යන්නට ඇත. බුදුගුණ, බුදු සුවඳ හඳුනන පින්වත් බොදු දනන්ගේ හදවත් ඒ සුගන්ධයෙන් අදත් විනිවිද යනු සේ දැනෙනවාට නම් සැකයක් නොවේ ම ය.

ගොහොරු මඩ බිමෙක වුව, මඩෙහි නොගැටී උඩට මතුවී, උදා හිරුකිරණින් සුපිපී බුදු පුදට සැරසෙන සියපත් සිතකට ගෙන එන සැනසිල්ල කොතරම්ද?

මිහිරි සුගන්ධයෙන් බුදු හිමි පාමුල මිලින වී යන සියපත ජීවිතයේ අනියත බව පසක් කරනා අපූරුව. එපමණක් ම ද? මඩෙහි උපන්න ද සියපතට නම් එහි වගක් නැති සැටි, තමන්ගේ යුතුකම ලොවට ඉටු කරන්නට.

උපන්තැන වග කුමට සොයනු ද? නෙළුමක් වගේ වෙන්නට සැබැවින් ම නොහැකිවෙද අපට?

නොහඳුනන හොඳ නරක, සියොළඟම විස පිරුණු කුරිරු නොමිනිසුන් මැද, සියලු බැමි බිඳ දමා යහපත ම දකින්නට, සැබෑ මිනිසෙක් ලෙසින් යුතුකම් ඉටු කරන්නට නොහැකි වේ ම ද? පත කුඩා වෙද හිත තිබේනම් ඇවැසි අදිටන පමණි.

නොපසුබස්නා විරිය, සැබෑ ඕනෑකම ද බිහි කරනු ඇත ලෝකයට මිනිසෙක්, මනුසත් දම් සුරකින. උතුම් සම්බුදු දහම ඊට මග කියනු ඇත.