Print this Article


බෝසත් දරුවන්ට: උතුම් බුද්ධ පූජාව

උතුම් බුද්ධ පූජාව

පින්වත් දරුවනේ, අද වෙසක් පුන් පොහෝ දිනයයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන අද දවසේ බුදුරජාණන් වහන්සේට කරන හොඳම පූජාව තමයි තමන්ගේ සිත දමනය කර ගැනීම. හිත දමනය කර ගන්න විතරක් නොවෙයි. අපේ ජීවිතයට හමුවන බොහෝ අය දමනය කරගන්න බුදුහාමුදුරුවෝ උපදෙස් දී තිබෙනවා.

සමහර මව්පියන්ට දරුවන් දමනය කර ගන්නට නොහැකි යි. ගුරුවරුන්ට ශිෂ්‍යයන්, රාජ්‍ය පාලනය කරන අයට රටවාසීන් දමනය කර ගන්නට නොහැකි යි. අනාගතේ රට බාරගන්නට ඉන්නේ මේ දූ පුතුන් නේ. එනිසා සිත දමනය කරගන්නා ආකාරය පිළිබඳ ව දැන් සිටම දැන ගැනීම වැදගත්.

දවසක් බුදුරජාණන් වහන්සේ විවේකීව වැඩ සිටින මොහොතක කේශී නම් පරිබ්‍රාජකයා උන්වහන්සේ හමුවීමට ආවා. කේශී කියන්නේ අසුන් හීලෑ කරන කෙනෙක්. පාරම්පරිකව අශ්වයන් දමනය කරන, අශ්වයන් පරිපාලනය කරන සුවිශේෂී පුද්ගලයෙක්. කේශී බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙක වාඩිවුණා. බුදුරජාණන් වහන්සේ සමඟ සතුටු සාමීචියේ යෙදුණා.

“කේශී ඔබ අසුන් දමනය කරන කෙනෙක් ලෙස මේ දඹදිව හරිම ප්‍රසිද්ධයි. ඒ නිසා ම ඔබට ‘අශ්ව දම්ම සාරථී’ කියලා කියනවා. කේශී ඇත්තට ම ඔබ කොහොමද දමනය කරන්නට බැරි දරුණු අශ්වයන් දමනය කරන්නේ”

බුදුරජාණන් වහන්සේ කේශීගෙන් විමසුවා. ‘අශ්ව දම්ම සාරථී’ කියන්නේ නො දැමුණු අසුන් දමනයට සමත් බව යි.

“බුදුරජාණන් වහන්ස, මම අශ්වයන් දමනය කරන ක්‍රම හතරක් තිබෙනවා. මුලින් ම හොඳින් කියනවා. ආහාර දීලා, නහවලා, ලොම් පීරලා, හිස අතගාලා හොඳින් සලකා දමනය කරනවා.” කේශී පැහැදිලි කළා.

“හොඳයි කේශී, හොඳින් සලකලා දමනය කරන්න බැරි වුණොත් ගන්නා පියවර කුමක් ද?”

“භාග්‍යවතුන් වහන්ස, එතකොට මම ටිකක් දරුණු වෙනවා. සැරෙන් ඉඳලා ආහාර අඩු කරලා දඬුවම් දීලා දමනය කරනවා.” “ හොඳයි කේශී, හොඳින් නරකින් දෙකෙන් ම බැරි වුණොත් මොකද කරන්නේ?”

“ස්වාමීන් වහන්ස, එවිට මම ටිකක් හොඳින් කියනවා. ඊට පසුව ටිකක් සැර කරනවා. ඒ කියන්නේ නහවනවා. පිස දමන්නේ නෑ. කෑම දෙනවා. වතුªර දෙන්නේ නෑ.

“මේ ක්‍රම තුනේම අසුන් දමනය කළ නොහැකි වුණොත්?”

“බුදුරජාණන් වහන්ස, එතකොට නම් මම ඒ අශ්වයා මරා දමනවා. ඇයි දන්නවා ද? එකක් මට හොඳ නෑ. අනෙක මගේ පරම්පරාවට හොඳ නෑ. මගේ රාජකාරියට හොඳ නෑ. ඒ විතරක් නොවෙයි. මට අනෙක් අසුන් හසුරුවා ගන්නටත් බෑ. ඒ නිසා අකැමැත්තෙන් හරි මරා දමනවා.” කේශී පිළිතුරු දුන්නා. ඉන්පසුව කේශී බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අසනවා.

“බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ කීර්ති නාමය මුළු දඹදිව පුරාම පැතිරී තිබෙනවා. ඔබ වහන්සේ ‘පුරිස දම්ම සාරථී’ යනුවෙන් හඳුන්වනවා. මම නම් දමනය කරන්නේ සතුන්. සතුන් දමනයට වඩා මිනිසුන් දමනය කිරීම අපහසුයි. ඔබ වහන්සේ කෙසේද දරුණු මිනිසුන් දමනය කරන්නේ.”

“කේශිය, මම ද ඔබ වගේම ක්‍රම හතරකට මිනිසුන් දමනය කරනවා. මුලින් ම හොඳින් කියලා බලනවා. බැරි වුණොත් නරකින් කියනවා. එහෙම බැරි වුණොත් හොඳින් නරකින් දෙකෙන් ම කියනවා. එහෙමත් බැරි වුණොත් මරා දමනවා.” බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. කේශී කලබල වුණා. බුදු හිමි දෙසූ කිසිම දෙයක් කේශීට තේරුණේ නෑ.

“බුදු හිමියනි, මට තව ටිකක් පැහැදිලි කර දෙනු මැනවි.”

“කේශී, මම මුලින්ම සිත, කය, වචනය යන තුන්දොර ආරක්ෂා කර ගැනීමේ ආනිශංස කියලා දෙනවා. ඒ අසා බොහෝ අය දමනය වෙනවා. අපට කර්ම රැස්වෙන්නේ ඔය කියන තුන්දොර නිසයි. සිත හදා ගතහොත්, ඒ හදාගත් සිත සැප ගෙන දෙනවා. සිත දියුණු කරගෙන නිවන කරාම යන්න පුළුවන්. සිතට එන්නේ සිතිවිලි විතරයි. ඒවා තෝරා බේරා ගෙන නිවැරැදි දේ ම සිතුවොත් යහපත් වෙනවා. ඒ වගේමයි වචනය සහ ශරීරය සංවර කර ගැනීමේ ඇති වටිනාකම ගැන, ඒ තුළින් විවිධ සම්පත් ලබන ආකාරය ගැන කියලා දෙන කොට බොහෝ පුද්ගලයන් දමනය වෙනවා.”

“බුදුරජාණන් වහන්ස.ආනිශංස ගැන අහලත් දමනය නො වුණොත් ඔබ වහන්සේ ඊළඟට මොනවද කරන්නේ?”

“කේශී, එවිට මා සිත, කය, වචනය නිසා වන අකුසල් ගැන දරුණු ලෙස පැහැදිලි කරනවා.” බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දරුවනේ, දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ පන්සිය නමක් පිරිවරාගෙන ලැව් ගින්නක් ඇති වූ මහා වනාන්තරයක් සමීපයෙන් වඩිනවා. භික්ෂූන් වහන්සේලාට ඒ දෙස පෙන්වා බුදුරජාණන් වහන්සේ මෙලෙස විමසනවා.

“මහණෙනි, මේ ගිනිදැල් වැළඳ ගැනීමද වඩාත් හොඳ? එහෙම නැතිනම් සුරූපී ලස්සන කාන්තාවක් වැළඳ ගැනීම ද හොඳ?

දරුවන් දන්නවාද භික්ෂූන් වහන්සේලා දුන්න පිළිතුර කුමක්ද කියලා.

“බුදුරජාණන් වහන්ස, ගිනිදැල් වැළඳ ගත්තොත් පිච්චෙනවා. සිරුර දැවෙනවා. සමහරවිට මිය යනවා. ඊට වඩා හොඳයි සුරූපී කාන්තාවක් වැළඳ ගැනීම. භික්ෂූන් වහන්සේ පිළිතුරු දුන්නා.

බුදුරජාණන් වහන්සේ ඒ පිළිතුරට එකඟ වුණා ද? වෙසක් අව අටවක පෝදා බුදුසරණින් අපි ඒ ගැන දැන ගනිමු.