Print this Article


මඟඵලලාභී උතුමන්ගේ පින්බර ජීවිත

මඟඵලලාභී උතුමන්ගේ පින්බර ජීවිත

සෝවාන් ඵලයට පත් වූ අයෙක් නැවත උප්පත්තිය ලබන්නේ උපරිම වශයෙන් ආත්ම හතක් තුළ බව බුදුපියාණන් වහන්සේ වදාළා. ඒ ආත්ම හත තුළ උපත ලබන පුද්ගලයන් මෙලොව දී අපේ ඤාති, හිත මිතුරන් ඉපදී අපට ඇසුරු කරන්නට ලැබෙනවා ද? එවන් අය හඳුනා ගන්නේ කොහොම ද? ඔවුන්ගේ ගති ලක්ෂණ කෙසේද? කියා ඔබට සිතෙනවා ඇති.

සෝවාන් වූ කෙනෙක් අප අතරේ සිටින්න පුළුවන් ද? බැරි ද? සිටින්න පුළුවන්. ඔහු මේ භවයේ හෝ පෙර භවවල සෝවාන් වූ කෙනෙක් වෙන්න පුළුවන්. පෙර ආත්මයක සෝවාන් වී මේ ආත්මයේ ඉපදෙන අයට කියනවා ජාත සෝතාපන්න කියා. ජාත කියන්නේ ඉපදීමට යි. ජාත සෝතාපන්න කියන්නේ ඔවුන් ඉපදෙන්නේ සෝවාන් ඵලයට පත්වෙලාම යි. සෝවාන් වූ අයෙක් මේ සංසාරයේ ගමන් කරන උපරිම කාල සීමාව ආත්ම හතක්නේ. ඒක ධර්ම නියාමයක්. ඒ ආත්ම භව හත ඇතුළත සෝවාන් වූ පුද්ගලයා සකෘදාගාමී වී ඉන්පසු අනාගාමී වී එයින් අනතුරුව අරහත් භාවයට පත්වෙනවා. එසේ ආත්ම භව හත ගෙවා රහත් වෙන උතුමන්ට ‘සත්තක්කත්තුප්පරම’ කියා කියනවා. සත්තක්කත්තුප්පරම කියන්නේ හත්වෙනි ආත්මය දක්වා ම ඉපදිලා ඒ හත්වෙනි ආත්මයේ රහත් ඵලයට පත් වී පිරිනිවන් පාන උතුමන්ට යි.

ඒ වගේම ‘කෝලංකෝල’ කියා තව පිරිසක් සිටිනවා. කෝලංකෝල කියන්නේ විටින් විට මගඵල ලබාගන්නා අයට යි. පිරිසක් හෝ කෙනෙක් මේ භවයේ සෝවාන් වූවා යැයි සිතමු. ඔහු “මම සතර අපායෙන් මිදුන කෙනෙක්” යැයි සිතා අප්‍රමාදී වෙනවා. සෝවාන් වූ පුද්ගලයා සතර අපායේ නූපදින බව ඔහු දන්නවා. එනිසා මේ පුද්ගලයාගේ අපාය බය අඩු වෙනවා. අපාය බය අඩු නිසා තරමක් සැහැල්ලුවෙන් හිතනවා. අරහත්වයට අප්‍රමාදි වෙනවා.

එවැනි පුද්ගලයින් මේ ආත්මයේ සෝවාන් වී ඊළඟ භවයේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස අප අතර ඉපදෙන්න පුළුවන්. ඒ ආත්ම භවයේ දී ඔහු බොහෝම සැහැල්ලුවෙන් ජීවත්වෙලා ඊළඟ භවයේ දී නැවත සුගති උපතකට යනවා. එහිදීත් සැහැල්ලුවෙන් ගතකරලා මරණින් මතු ඊළඟ භවයේ දී අනාගාමී වෙනවා කියා සිතනවා. එලෙස විටින් විට මගඵල ලබාගෙන අවසන් ඉලක්කය වන රහත් භාවයට පැමිණෙන්නාට කොලංකෝල කියා හඳුන්වනවා.

ඒ වාගේ ම ’ඒකබීජ’ කියා හැඳින්වෙන තවත් විශේෂ පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා උපදින්නේ තවත් එක් සැරයක් පමණයි. මේ ආත්ම භවයේ සෝවාන් වෙනවා. ඊළඟ භවයේ දී සකෘදාගාමී , අනාගාමී අරහත් යන ඵල ලබා ගන්නවා.

පෙර ආත්මයේ සෝවන් වූ අයෙක් මේ භවයේ අප අතරම ඉපදිලා සිටියත් බැලූ බැල්මට අඳුනාගන්න පුළුවන් වෙනස් ශාරීරික ලක්ෂණ ඇතිව උපදින්නේ නැහැ. සෝවන් වූ අයත් සාමාන්‍ය අප වගේම යි. අඳුනා ගන්න විශේෂ ලක්ෂණ නැහැ. ඔවුන් ගැන ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රකාශයක් කළ හැක්කේ බුදුපියාණන් වහන්සේ වන් උතුමෙකුට පමණ යි. උන් වහන්සේට නම් කෙනෙකු දුටු විගස සෝවාන් වූ කෙනෙක් ද, මගඵල ලැබූ කෙනෙක් ද, කියා අඳුනාගන්න පුළුවන්.

සෝවාන් වූ අයෙක් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්ම තුනක් නැති කළ උතුමෝ බව ඔබ දන්නවා නේ. මේ සංයෝජන ධර්ම තුනම නියෝජනය කරන ප්‍රධාන අංගයක් තිබෙනවා. ඒ සෝවාන් වූ කෙනෙක් “මම” කියන පුද්ගලයා ඉස්මතු කරන්න වෙහෙසෙන්නේ නැහැ. ඒ පුද්ගලයාගේ ප්‍රධාන විශේෂත්වය එය යි. සක්කාය දිට්ඨිය නැති කළා කියන්නේත් මමත්වය හෙවත් ආත්ම දෘෂ්ටිය නැති කර ගැනීමට යි.

ඊළඟට විචිකිච්ඡාව පදනම්වෙලා තියෙන්නේ කුමක් මත ද? විචිකිච්ඡාව ඇතිවන්නේ මම පදනම් කරගෙන යි. විචිකිච්ඡාව කියන්නේ බුද්ධාදී අට තැන ගැන ඇතිකරගන්න සැකය යි. නමුත් මූලිකව ම සැකය ඇතිවන්නේ මම පදනම් කරගෙන යි. මම කියා කෙනෙක් අතීතයේ හිටියා ද, හිටියානම් ඒ කවුරු වෙලා ද, කොහොම ද? හිටියේ , මොන විදිහට ද ආවේ. ඒ අතීතයේ හිටිය මම ම ද දැනුත් ඉන්නේ. ඊටපස්සේ මෙතැනින් යන්නේ මම ම ද, ආදී වශයෙන් මම මුල්කර ගත් සැකය විචිකිච්ඡාව යි.

ඊළඟට සීලබ්බත කියන්නේ වැරැදි සිල් ව්‍රත කියලයි අපි අසා තිබෙන්නේ. බොහෝම වෙලාවට අපි හිතන්නේ ගෝ ව්‍රත , සුනඛ ව්‍රත ආදි නොයෙක් වැරැදි ව්‍රත සීලබ්බත ලෙස හැඳින්වෙනවා කියල යි. එයත් ව්‍රතයක් තමයි. නමුත් මෙතැන දී සීලබ්බත පරාමාසයට ඇතැම් විට ඔබ ඔය රකින සීලයත් අසුවෙන්න පුළුවනි. ඔබ රකින සීලය ආරක්ෂා කරන්නේ ”මම” පෝෂණය කර ගැනීම පිණිස නම් එයත් සීලබ්බත පරාමාසයක් වෙනවා. එය ඔබේ සසරෙහි යහ පැවැත්මට උපකාරි වූවත් සසරින් මිදීට උපකාරයක් වන්නේ නැහැ.

දැන් මම පවත්වා ගන්න සිල් රකින්නේ කොහොම ද? එය නිවැරැදිව විමසුවොත් සිල් සමාදන් වෙනවිට අපි කරන වැඩ දෙකක් තිබෙනවා. ඒ හොඳ දේ කිරීම සහ නරක දෙයින් වැළකීම යි. ඇයි නරක දෙයින් වළකින්නේ කියා මම ඇසුවොත් ඔබ කියයි මම අපායේ යන්න බයයි කියා. ඇයි ඔබ හොඳ දේ කරන්නේ කියලා මම ඇහුවොත්, ස්වාමිනි යන තැනකට වැඩක් කරගන්නනේ කියා ඔබ කියන්න පුළුවන්. දැන් ඒ වැඩක් කරගන්නේ කාට ද? මේ නරකින් වැළකීම සහ හොඳ දේ කිරීම තුළ “මම ඉන්නවා ද? නැද්ද? ඉන්නවා. මම ඉන්න තැන දුක තියෙනවා. එහෙම නම් මගෙන් මිදෙන්නේ නැති තාක් කල් දුකෙන් මිදෙන්න බැහැ කියා තේරුම් ගන්න ඕනෑ. එසේ “තමන්” පෝෂණය කරන ආකාරයට ඔබ සීලය රකිනවා නම් ඒ සීලය භවය දිග් ගැස්සීමට උපකාරි වන සීලයක් පමණ යි. එය හොඳ ආකාරයට භවය දිගු වෙනවා. නමුත් ඒවාත් සීලබ්බත පරාමාසය යි. එහෙනම් ඔබ දැන් මේ සිල් රකින්නේ කුමක් සඳහාද කියන අරමුණ ඔබට තිබෙන්නට ඕනෑ. මොකටද අප සිල් රකින්නේ? සීලය කුමක් සඳහාද කියලා මම ඔබෙන් ඇසුවොත් ඔබට දීමට තිබෙන ප්‍රධාන පිළිතුර නම් සීලය, රාග විනය සඳහා බව යි. රාග විනය කියන්නේ රාගය නැති කිරීමට යි. රාගය කියන්නේ කැමැත්තට යි. ඔබ සීලයක් සමාදන් වියයුත්තේ මාව පවත්වාගෙන යන්න ඇති කැමැත්ත නැති කිරීමට යි. එසේ රකින සීලය සීලබ්බත පරාමාස කියන සංයෝජනය ප්‍රහාණය කිරීමට උපකාරි වෙනවා. එසේ සංයෝජන ප්‍රහාණයට හේතුවෙන ලෙස සිල් රැකිය හැක්කේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා යන සංයෝජන දෙකක් ප්‍රහාණය වෙන ආකාරයට කටයුතු කිරීම තුළිනු යි.

ඔබ මමත්වය අඩුකරගෙන කටයුතු කරන කෙනෙක් නම් සෝවාන් ඵලයට සමීපව සිටින්නෙක් ලෙස තේරුම් ගැනීමට අපට පුළුවන්. ඒ වගේ ම සෝවාන් වූ තැනැත්තාගේ තවත් ප්‍රධාන ලක්ෂණ කීපයක් තිබෙනවා. ඔහු බුදුරජාණන් වහන්සේගේ ගුණ දැන, ඇති කරගත් අචල ප්‍රසාදයෙන් යුක්ත යි. ගුණ දන්නා පුද්ගලයාගේ පැහැදීම, ප්‍රසාදය අචල යි. බාහිර බලවේගයන්, බාහිර ස්වභාවයන් නිසා ඒ අයගේ පැහැදීම කලකිරීමක් බවට පත්වෙන්නේ නැහැ. ධර්මය දන්න පුද්ගලයා පැහැදෙන්නේ ධර්මය කෙරෙහි යි. සංඝයාගේ සඟ ගුණ දන්න පුද්ගලයා ඒ ගුණයන්ට පැහැදෙනවා. ගුණයට පැහැදුන පුද්ගලයා පුද්ගල මූලික පැහැදීමකට ලක්වන්නේ නැහැ. නමුත් එවන් ගුණ නො දත් අය පැහැදෙන්නේ පුද්ගලයාට යි. ඔවුන්ගේ පැහැදීම ඇත්තේ ඒ ඒ පුද්ගලයන්ගේ බාහිර ස්වභාවයන්ට සහ ස්වරූපයන්ට යි.

ඒ වාගේ ම ක්ෂණිකව පැහැදෙන අය අපේ සමාජයේ ඉන්නවා. ක්ෂණිකව කළකිරෙන අයත් සිටිනවා. එසේ සෝවාන් වූ පුද්ගලයා ලෙහෙසියෙන් කළකිරෙන්නේ නැහැ. එවන් කෙනෙක් බුදුපියාණන් වහන්සේ පිළිබඳව තිබෙන ප්‍රසාදය කිසිදු ලෙසකින් පළුදු කරගන්නේත් නැහැ.

ඒ පුද්ගලයා නියත වශයෙන්ම අවබෝධය කරා යන්නෙක් බවට පත් වෙනවා. මේ කාරණා සෝවාන් පුද්ගලයාගේ ගති ලක්ෂණ ලෙස හඳුනාගෙන ඒ ලක්ෂණ අනුව අපට අනුමාන වශයෙන් කෙනෙක් සෝවාන් වී ඇත්දැයි සිතාගත හැකියි. එසේ නැතිව පුද්ගල චරිත ලක්ෂණ, රූප ස්වභාවයෙන් ඇවතුම් පැවතුම් දෙස බලා, එසේ නිශ්චිතව නිගමනයකට ඒමට පුළුවන්කමක් නැහැ.