Print this Article


සේල සූත්‍රය ඇසුරෙනි: සාරවත් පැවිද්ද ඇත්තේ සම්බුදු සසුනේ ම පමණ යි

සේල සූත්‍රය ඇසුරෙනි:

සාරවත් පැවිද්ද ඇත්තේ සම්බුදු සසුනේ ම පමණ යි

අමා මෑණී බුදු පියාණන් වහන්සේගේ වෙසක් තෙමඟුල සමරන සමය යි මේ. අපගේ ස්වාමී වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙලොවට පහළව අබිනික්මන් කොට දුෂ්කර ක්‍රියා කිරීමෙන් අනතුරුව සම්මා සම්බුදු බවට පත් ව, ලෝකය පුරා ධර්ම සන්නිවේදනයේ යෙදී තුන් ලොවට ම අමාදම් වැසි වස්සවා නොයෙකුත් සිය දහස් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අමා මහා නිවන් මඟ පෙන්වා දී පිරිනිවන් පා වදාළ සේක.

දිනක් සේල නමැති බ්‍රාහ්මණයා පිළිබඳව ඒ උතුම් බුදුරජාණන් වහන්සේ මෙසේ වර්ණනා කළේ ය.

පරිපූර්ණ ශරීරයකින් යුතු, සොඳුරු සිවියක් හිමි මහෝත්තමයාණෙනි, මනා උපතකින් යුක්ත, සොඳුරු රූපයක් ඇති උතුමාණෙනි, ස්වර්ණ වර්ණ සිරුරකින් යුක්ත ඉතා සුන්දර වූ, සුදුවන් වූ දත් පෙළකින් යුක්ත මහා පුණ්‍යවන්තයාණෙනි, මහා වීර්යවන්තයාණෙනි, භගවත් බුදුරජාණෙනි, සුන්දර උපතක් ලැබුණු භගවතාණන්ගේ පරිපූර්ණ සිරුරෙහි මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකක් ඇතැ’යි මට සිතෙනවා. ඔබවහන්සේ පහන් වී ගිය නෙතින් යුක්ත යි. සඳක් සේ සොමි ගුණයෙන් යුක්ත යි. භගවතාණන් වහන්සේ මනා උස මහතින් යුක්ත වූ, දැඩි වූ මහා බ්‍රහ්මයා මෙන් සිරුරක් ද , ඍජු කයක් ද ඇති, පින්වත් ඔබ වහන්සේ ශ්‍රමණයන් කැළ මැද බැබළෙන්නේ තරු පිරිවරා දිලෙන හිරු මඬලක් ලෙස යි. සොඳුරු දැක්මෙන් යුක්ත පින්වත් ශ්‍රමණයාණෙනි, සමේ පැහැය ද ඔබ වහන්සේගේ කංචන වර්ණයෙන් සමන්විත යි. ස්වර්ණ වර්ණයෙන් සමන්විත යි. මේ ලෙසින් උත්තම වූ සුන්දර පැහැයකින් යුක්ත ඔබ වහන්සේගේ ශ්‍රමණ භාවය කුමක් පිණිස ද? නුඹ වහන්සේගේ පැවිදි ජීවිතය කුමක් සඳහා කැප කළ දෙයක් දැ’යි මම විමසා සිටින්නට කැමැත්තෙමි. මුලු දඹදිවටම ඉසුරුමත් ව, සතර මහා සාගරය ද ජය ගෙන ඔබ වහන්සේ සුදුසු වන්නේ චක්‍ර වර්ති රජෙකු වීමට ම යි. මෙලෙස සේල බ්‍රාහ්මණයා විසින් අපගේ ශාස්තෘන් වහන්සේ දැක බලාගෙන, හඳුනාගෙන යම්කිසි සැකයකින් සැබවින් ම බුදු කෙනෙක් ම දැ’යි සිතුවා. අපේ ආචාර්ය, ප්‍රාචාර්යන් වහන්සේලා අපට පවසා තියෙන්නේ උත්තම වූ බුදු කෙනෙක් නම්, මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකක් පිහිටන බව යි. මට එය සැක හැර දැන ගත යුතු නිසා මම මේ පැන විමසුවෙමි’යි සිතා, සේල බ්‍රාහ්මණයා විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ පැනයන්ට මෙලෙස පිළිතුරු දී වදාළා.

පින්වත් සේලය, මා මේ තුන් ලෝකයට ම රජෙක් තම යි. අනුත්තර වූ ධර්ම රාජ කියන්නේ මා හට යි. කිසිවෙකුට කළ නො හැකි ධර්ම චක්‍රය මා විසින් ප්‍රවර්තණය කරනවා. කිසිවෙකුට දේශනා කළ නො හැකි චතුරාර්ය සත්‍ය මා විසින් ස්වයං වූ ඥානයෙන් අවබෝධ කොට තුන් ලොවට වදාරනවා. මෙලෙස බුදුරජාණන් වහන්සේ ගාථාවකින් දේශනා කරද්දී සේල බ්‍රාහ්මණයා නැවත මෙසේ පැනයක් විමසුවා. සම්බුදුරජාණන් වහන්ස, අනුත්තර වූ ධර්ම රාජයන් වහන්සේ ඔබ වහන්සේ බව අපට පිලිණ කරනවා. සදහම තුළින් ධර්ම චක්‍රය කරකවන බවත් ඔබ වහන්සේ අපට පවසා සිටිනවා. ගෞතමයාණෙනි, ශාස්තෘ වූ ඔබ වහන්සේගේ ඒ ධර්ම රාජ්‍ය තුළ ඔබ වහන්සේ රජෙක් නම්, ධර්ම රාජ නම්, ඔබ වහන්සේගේ ධර්ම සේනාධිපතියා කවුුද? ඔබ වහන්සේ පවත්වන ධර්ම චක්‍රයට අනුව ම ඒ ධර්ම චක්‍රය අනුවර්තන කරන ධර්ම සේනාධිපති කවුුද? එවිට, බුදුරජාණන් වහන්සේ මෙලෙස පිළිතුරු දී වදාළා.

සේලයෙනි, මා විසින් ප්‍රවර්තනය කරන ලද අනුත්තර වූ ධර්ම චක්‍රය මාගේ අනුජාත පුත්‍ර වූ ශාරිපුත්තයන් මා විලසම පවත්වාගෙන යන්නේ. එමනිසා මාගේ ධර්ම සේනාධිපති බවට පත් වන්නේ මහා ප්‍රඥාවන්ත , මා විලසම ධර්ම චක්‍රය ප්‍රවර්ථනය කරන අනුජාත වූ සාරිපුත්ත තෙරුන් වහන්සේ යි. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා.

‘මම අවබෝධ කළ යුතු සියලු දේ අවබෝධ කර ගත්තා. මම වැඩිය යුතු සියලු දේ වඩා නිම කර ගත්තා. මම ප්‍රහාණය කළ යුතු සියල්ල ප්‍රහාණය කළා. ඒ නිසා බමුණ, මා හට බුදු කෙනෙක් ය කියා පවසනවා. බමුණ මා කෙරෙහි පවතින සියලු සැක දුරු කර ගන්න. නිබඳව ම බුදු කෙනෙක් දකිනවා කියන එක අතිශය දුර්ලභ කාරණයක්. උපත ලැබුවාට පසුව සම්බුදු කෙනෙක්, නිතර දැක ගන්නට ලැබෙන්නේ නැහැ. කලාතුරකින් සිද්ධ වන මේ දුර්ලභ දේ ඔබ දැක ගන්න. බ්‍රාහ්මණය, මා තමයි අනුත්තර වූ ශල්‍ය වෛද්‍යවරයාණන් වන උතුම් බුදුරජාණන් වහන්සේ. උත්තම භාවයට පත් වූ බව, දුක් ඉක්මවා ගිය බව උපමාවකින් පෙන්වාලිය නො හැකි ඒ මහෝත්තමයා මම යි. මාර සෙනඟ ඔද තෙද බිඳ පසඟ කොට හැම සතුරන් පහ කොට, දස බිම්බර මාර සේනා පරාජයට පත් කොට, කිසි ලෙසකින්වත් බියක් තැති ගැනීමක් නැති ඒ බුදුරජාණන් වහන්සේ මම වෙමි.’

ඉන්පසු ව සේල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ගැන මෙලෙස පැවසුවා. පින්වතාණෙනි, මෙය අසා ගනු මැන. සදහම් ඇස් ඇති මහා මුනිඳුන්ගේ මේ ප්‍රකාශන , ශල්‍ය වෛද්‍යවරයාණන් වූ මහා වීර්යයන් වහන්සේගේ මේ වදන් වනයෙහි නද දෙන සිංහ නාදයක් ලෙස යි මට සිතෙන්නේ. උත්තම භාවයට පත් වූ සියලු භව දුක් ඉක්මවා ගිය , උපමාවකින් පෙන්වා ලිය නො හැකි , මාර සෙනඟ වැඩ සිටින සම්බුදුරදුන් දුටු විට , හීන ගති ඇති අය පවා පහදිනවා ම යි. නොපහදින්නේ කුමන හේතුවක් නිසා ද? යමෙක් රිසි සේ වෙත් නම්, මා පසුපසින් එත්වා! යමෙක් නොකැමැති නම්, නැවත හැරී යත්වා! දිලෙනා උතුම් බුදු නුවණෙහි, සම්බුදු රදුන්ගේ සසුනෙහි මෙහි ම මම අද ම පැවිදිවන්නෙමි’ යි සේල බ්‍රාහ්මණයා තමා සමඟ පැමිණි තවත් බමුණෝ තුන්සියයට පැවසූ විට, තම අනුගාමික ශිෂ්‍ය බමුණු පිරිසත් මෙලෙස පැවසූහ. භගවතාණන්ට රුචි නම්, සම්බුදු සසුන බුදුරදුන්ගේ , ගිලෙනා උතුම් නුවණින් බුදුරදුන්ගේ සසුනෙහි පැවිදි වන්නෙමු ඔබ සමඟ අපි. ඔබ වහන්සේ අපට පවසනවා නම් අප ද කැමැති ‘යි මේ ශාසනය තුළ ශ්‍රමණ භාවයට පත් වන්න. ඉන්පසුව සේල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් ආයාචනා කරනවා, පින්වත් භගවතාණෙනි, මේ සියලු ම දෙනා ම ශ්‍රමණයෝ බවට පත් වන්නට කැමැත්තෙන් සිටින බව යි. එවිට බුදුන් වහන්සේ මෙලෙස වදාළා.

ලොවේ සසුනක සාරවත් වූ පැවිද්දක් තිබෙනවා නම්, ඒ උතුම් බඹසර බුද්ධ ශාසනයේ පමණ ම යි තිබෙන්නේ. මෙලොව දී ම දැකගත හැකි උතුම් ධර්මයේ සන්දිට්ඨික බව, මේ ශාසනය තුළ පවතිනවා. ඒ නිසා අප්‍රමාදීව සසුන් බඹසරයෙහි හැසිරෙන්න. පැවිදි ජීවිතය හිස් එකක් වන්නේ නැහැ. ‘අප්‍රමාදීව හික්මෙන්න. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ උත්තම භාවයට පත් වෙන්න’ පිරිස සහිත වූ සේල බ්‍රාහ්මණයා බුදුන් වහන්සේ සමීපයේ පැවිදි බව ලැබුවා. උපසම්පදාව ලැබුවා. ඒ අයත් උතුම් රහතන් වහන්සේලා බවට පත් වුණා.

සේල බ්‍රාහ්මණයා ඇතුළු තමන්ගේ ශිෂ්‍ය පිරිස උත්තම භාවයට පත් වුණ සේල සූත්‍රය ඛුද්දක නිකායට අයත් සුත්ත නිපාතයෙහි දැක්වෙයි. මේ ගැන දැනගෙන, සිත් පහන් කරගෙන උතුම් බුදුරජාණන් වහන්සේ, නිර්මල ශ්‍රී සද්ධර්මය, ශ්‍රාවක උත්තමයන් වහන්සේලා ගැනත් පහන් සිත් ඇතිකරගෙන වෙසක් තෙමඟුල සමරන මෙවැනි සමයක සෑම දෙනාටම තුනුරුවන්ගේ ආලෝකය, ආශිර්වාදය, පිහිට ලබාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා!