Print this Article


බොදු දනට කරුණාවෙනි: අනුසය ධර්ම

අනුසය ධර්ම

අංගුත්තර නිකායේ සප්තක නිපාතයේ පඨම පන්නාසකයේ අනුසය වර්ගයට අයත් අනුසය සූත්‍ර දේශනාව ආශ්‍රය කරගෙන ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.

“සත්‍ය මේ භික්ඛවේ අනුසයා
පඨමේ සත්ථ කාමරාගානුසයා
පටිඝානුසයා, විචිකිච්ඡානුසයා
මානානුසයා, භවරාගානුසයා, අවිජ්ජානුසයා”

අනුසය නම් බලවත් ලෙස සිත්හි යටපත් ව පවතින කෙලෙස් ය. මේ කෙලෙස් අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයන් හා සමඟ භවයපුරා ම ගමන් කරනවා.

ඉන් අදහස් වන්නේ කුමක් ද? සියලු කෙලෙසුන් නො නැසූ පුද්ගලයෙක් නම් චුතියෙන් අනතුරුව පටිසන්ධියක් ලබනවා. ඒ පටිසන්ධිය ලැබීම හඳුන්වන්නේ ගන්ධබ්බයාගේ පැමිණීම ලෙසයි. එසේ නැතිනම් පටිසන්ධි විඤ්ඤාණයේ පහළවීම ලෙසයි. මේ පටිසන්ධි විඤ්ඤාණය අලුත් ස්කන්ධ පංචකයක් හෝ පුංජයක් සකස් කිරීමට මූලාරම්භ වෙනවා. උපතක් හැටියට හඳුන්වන්නේ එයයි.

මෙන්න මේ පටිසන්ධි විඤ්ඤාණය නැවත උපතක් ලබාදීමට හේතුවෙන අතර ඒ හා සමඟින් ම මේ අනුසය ධර්මයන්ගේ පැවැත්මක් එහි පවතිනවා. බලවත් ලෙස යටපත් වී තිබෙන මේ කෙලෙස් හඳුන්වන්නේ නිදිගත් කෙලෙස් හැටියටයි. ඉන් අදහස් කරන්නේ කුමක් ද? බලවත් ලෙස කෙලෙස් යටපත් වී පවතින නිසා සම්මතය අනුව යම් කෙනෙක් යහපත් වූ පුද්ගලයෙක් හැටියට හැසිරිය හැකියි. එනමුත් අර අනුසය ධර්ම නම් වූ කෙලෙස් බලවත් ලෙස යටපත්ව සිතෙහි පැවතිය හැකියි.

එය නිදසුනකින් දක්වන්නේ නම්, විලක රොන්මඬ වගෙයි. උඩින් බැලූවිට පත්ල පෙනෙනා සේ, ඒ ජලාශය පිරිසුදුයි. යම් කෙනෙකුට පැන් දෝතක් පානය කළ හැකි තරමට ම ඒ ජලාශය පිරිසුදුයි. එනමුත් යට මඩ කැටිගැසී පවතිනවා. යම් කෙනෙක් විසින් කෝටුවකින් හෝ යමකින්, කැළඹුවොත් සුළඟකින් කැළඹුණොත් අර මඩ කැලැතී උඩට පැමිණ මුළු ජලාශය ම අපවිත්‍ර විය හැකියි.

එමෙන් ම සසර ගමනේ පටන් පැමිණ, සිතෙහි යටපත්ව පවත්නා මේ කෙලෙස් ඇවිස්සිය හැකියි. ඒ කෙසේ ද? අභාවිත සිත් පවතින යම් වූ ද අයෙකුට ඇසට රූප, කනට ශබ්ද, නාසයට ආඝ්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතිවිලි වශයෙන් අරමුණු ගොදුරුවීමේ දී ඒ වායේ බලවත් ලෙස උපාදානයක් සකස් වූවොත් අර යටපත් ව තිබෙන කෙලෙස් සෙලවිය හැකියි. විසිරිය හැකියි. උඩට මතු විය හැකියි. පැහැදිලි කරන්නේ නම් එය මෙසේයි.

අභාවිත සිතක් ඇති අයෙක් නම් සියලු සංඛත, සංඛාර වස්තු අනිත්‍ය, දුක්ඛ. අනත්ත නම් වූ ත්‍රිලක්ඛණ ධර්මයට යටත් කොට දැක ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් සංසිඳවන්නට පුරුදු නොකළ සිතයි. සංඛත නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ නම් වූ සතර මහා ධාතූන්ගෙන් සකස් වුණා වූ සවිඤ්ඤාණක හා අවිඤ්ඤාණක වූ සියලු වස්තූන් ය. පඨවි ආදී හේතූන් පත්‍ය කරගෙන හටගෙන ඒ පඨවි ආදී ප්‍රත්‍යයන්ගේ භංගත්වය හෙවත් විසිරී යෑම නිසා යම් වූ ද ඵලයක්, විපාකයක් නැතිව යන්නේ ද?, ඒ සියල්ල සංඛතයි. මේ සියලු සංඛත වස්තු අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛණයට යටත් කොට දැක ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් සංසිඳවීමට පුරුදු නොකරන ලද සිතක් ඇත්තා හඳුන්වන්නේ අභාවිත සිත් ඇත්තෙක් හැටියටයි.

මෙවැනි සිත් ඇත්තෙකුගේ සිත මනාව සෙවිලි නොකරන ලද ගෙයක් ස්වල්ප වූ වැස්සකට පවා තෙමෙන්නා සේ ඉක්මනින් ම කාමයන්හි බැඳෙන්න පුළුවන්. ද්වේෂයෙන් ගැටෙන්න පුළුවන්. ඒ වගේ ම විචිකිච්ඡාව නම් වූ සැකයට හසු ව නිවැරැදි මාර්ගය පිළිබඳව ගැටලු මතුවෙන්නටත් පුළුවන්. මානය මතුවෙන්නට පුළුවන්. නැවත නැවතත් ඉපදෙමින් කාම සැප සම්පත් ලබන්නට සිතිවිලි පහළ වෙන්න පුළුවන්. අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව අවබෝධයක් නැතිකම නම් වූ මුලාව ඇතිවෙන්නට පුළුවන්. මේ අභාවිත සිතක් නිසා ඇතිවන ප්‍රතිඵලයයි.

අභාවිත සිත නිසා රූපාරම්මණයක් සකස් වූවොත්, එය බලවත් ලෙස ගැටීමක් හැටියට උපාදානය වූවොත්, බලවත් ලෙස යටපත් ව පවතින රාග නම් වූ රාගානුසය උඩට මතුවිය හැකියි. ඒ වගේ ම යම් අරමුණක් සමඟ අකැමැත්තෙන් ගැටීම සිද්ධ වූවොත් පටිඝානුසය නම් වූ ද්වේෂය මතුවිය හැකියි. අභාවිත සිත් ඇත්තාට අස නම් වූ චක්ඛුප්‍රසාදය පිළිබඳව හෝ තවත් ආකාරයකින් සඳහන් කරන්නේ නම්, චක්ඛායතන පිළිබඳව පරමාර්ථ වශයෙන් දැක ගැනීමක් පවතින්නේ නැහැ. එනම් මේ ආදී ධාතූන්ගෙන් සකස් වුණ මසැසත් සිහියට හසුකරගන්නා වූ ඇසත් , එය හඳුන්වන්නේ දහම් ඇස හැටියටයි. එම ඇසත් හේතූන් නිසා හට අරගෙන හේතූන්ගේ විසිර යෑමෙන් නැතිවෙන ඇසක් ය; නම් වූ අවබෝධයෙන් කිසිදු වර්ණ සටහනක් නම් රූපයක් කෙරෙහි නො ඇලීමයි. නො බැඳීමයි. නොගැටීමයි.

නමුත් අභාවිත සිතක් ඇති අයට ඒ පිළිබඳව අවබෝධයක් හෝ පුරුද්දක් නැතිකම නිසා කැමැති අරමුණෙහි තදින් ඇලෙනවා. අකැමැති අරමුණෙහි තදින් ම ගැටෙනවා. මෙවැනි අවස්ථාවක අනුසය ධර්ම මතු වී උපකාර කරන්නට පටන් ගන්නවා. “දරණුව ගසාගෙන ඉන්නා සර්පයෙක් කරදරයක් නැතිව සිටින තාක්කල් සර්පයා තම පාඩුවේ සිටිනවා. එහෙත් කෝටු කැබැල්ලකින් හෝ යම් ආකාරයකින් පහරක් වැදුණොත් සර්පයා නැගිටින්නට පටන් ගන්නවා.” අනුසය ධර්මයන් ද ඒ වගෙයි.

රහත්වනතෙක් ම මේ අනුසය ධර්ම භවය පුරාම පවතිනවා. මේ නිසා ඇසට රූප, කනට ශබ්ද ආදී වශයෙන් ආරම්මණ ලබන විට හෝ, පරිහරණය කරන විට නිමිති, අනු නිමිති වශයෙන් තදින්ගෙන සිතෙහි කම්පන අවස්ථාවක් ඇති කර ගැනීම අර සංසුන්ව නිදාගෙන සිටින සර්පයාට පහරදීමක් හෝ ගැටීමක් බඳු ය. ඒ ආරම්මණයන් කෙරෙහි මමය මාගේය කියන දෘෂ්ඨීන් ඇලීම, බැඳීම, ගැටීම ආදී වශයෙන් සකස්වීම අනුසය අවස්ථාව මතුවීමට හේතුවක් වෙනවා.

එවැනි අය දකින දකින දේ කෙරෙහි තදින් ඇලීමත්, එය හොඳ හෝ නරක හෝ වේවා නම් වූ අරමුණකින් තොරව තමාගේ කැමැත්ත ඉටුකර ගැනීමට උත්සාහ දරනවා. අකැමැති අරමුණක් සකස් වුණොත් එතැන දී උපකාරයට එන්නේ පටිඝානුසයයි. තදින් ඇලුණ දෙයට රාගානුසය උපකාර කරනවා වගේ ම ගැටුන දෙයට උපකාර කරන්නේ පටිඝානුසයයි. ඔබට වැටහෙන ආකාරයෙන් සරල ලෙස සඳහන් කළොත් ස්වල්ප වූ බැල්මකින්, හඬකින් ආඝ්‍රහණයකින් ආදී වශයෙන් බරපතල ලෙස කාමරාගයට මුසු සිතිවිලි පහළ වී බලවත් වූ විපතක් ඇතිවිය හැකියි. අභාවිත සිත් ඇත්තාට ඇසෙහි, රූපයෙහි, චක්ඛුවිඤ්ඤාණයෙහි, ස්පර්ශයෙහි සැපදුක් මධ්‍යස්ථ නම් වූ විඳීම් හි පවත්නා වූ අස්ථිර ස්වභාවය, වෙනස්වන ස්වභාවය තේරුම් ගත නොහැකියි. ඒ සිත පුරුදු නොකරන ලද බැවිනි. අභාවිත සිත් ඇති අයට දැනෙන්නේ ඇසත් මම ය, මාගේ ය. රුවත් මම ය, මාගේ ය. චක්ඛුවිඤ්ඤාණයත් එනම් සිතන සිතත් මමය, මාගේ ය. එමඟින් සකස්වෙන ස්පර්ශයත් මම ය මාගේ ය. එ මඟින් ලබන්නා වූ සැප හෝ වේවා දුක් හෝ වේවා මධ්‍යස්ථ වූ හෝ වේවා යම් සැපතක් වේද? එයත් මමය, මාගේ ය යන හැඟීමයි. මේ හැඟීමෙන් සැප නම් එය ප්‍රබල ලෙස තමා සතුකර ගන්න උත්සාහ කිරීමත්, දුක්ඛ නම් අකැමැතිනම් ප්‍රබල ලෙස ඉවත් කරන්නට, එනම් ගැටෙන්නට අවස්ථාව සලසා ගැනීමයි.

අභාවිත සිත් ඇති පුද්ගලයාට සිතෙහි බලවත් ලෙස යටපත්ව පවතින නිදිගෙන සිටින කෙලෙස් මතු වී තමන් සොයන අරමුණ ඉටුකරන්නට උදව් දෙනවා. උපකාර වෙනවා. මේ අවස්ථාව අභාවිත සිත් ඇත්තාට තේරුම් ගන්න නො හැකියි. සමහර විටක මේ යටපත් ව පවතින අනුසය නම් වූ කෙලෙස් ධර්මයක් යහපත් වූ සිතක්, සිතිවිල්ලක් හැටියටත් මේ අභාවිත සිත් ඇති පුද්ගලයා සලකන්නට පුළුවනි.

නිදසුනක් හැටියට දැක්වූවොත් දැඩි ආශාව, ලෝභය, කාමය, රතිය, කරුණාවත්, මෛත්‍රියත්, පරිත්‍යාගයත්, පරෝපකාරයත්, හැටියට සිතිය හැකියි. ඒ නිසා ම ඒවා වැඩෙන්නට ඉඩදිය හැකියි. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ එය තමාට ම මහා විපතක් සිදුවීමත්, ඒ නිසා අන් අයට බලවත් ලෙස විපතක් සිදුවීමත් ය.