සසර තරණය
13:
චිත්ත සමාධියට...
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,
ශාස්ත්‍රපති,
රාජකීය පණ්ඩිත
කොත්මලේ
කුමාර කස්සප හිමි
සතිපට්ඨානය අගට පෙන්වන එක සතිපට්ඨාන භාවනා, එහෙමත් නැතිනම්, ‘සමුදය ධම්මානු පස්සී
වා, වය ධම්මානු පස්සී වා, සමුදය වය ධම්මානු පස්සී වා’ කියන පැත්තෙන් ප්‍රඥාව
බලාපොරොත්තු වෙනවා, විදර්ශනාව කියන කොටස බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ප්‍රතිපදාව
අංග සම්පූර්ණ වෙන්නේ මෙන්න මේ විදිහට අවබෝධයක් ලැබුණහම.
ඒ ටික අවබෝධ නොවුණොත් අපට මොකද වෙන්නේ? අප සමථය හරියට තේරුම් ගත්තේ නැතිවුණොත්, අප
සමහර විට මේ ශාසනයේ ඇතැම් දේ අප ප්‍රතික්ෂේප කරන්නටත් යනවා. වර්තමාන සමාජය තුළ සමහර
වේලාවට අපට ඒ වගේ කාරණා දකින්න තියෙනවා. මේ කාරණා හරියට අවබෝධ කර නොගැනීම මත, යම්
යම් ධර්මයන්ට අර්ථ කථන සැපයීම පිළිබඳ අපට දකින්න තියෙනවා.
දැන්, ආනාපාන සතිය ගත්තහම, කායානුපස්සනාවේ මුලටම පෙන්වනවා, ආනාපාන සතිය. සමහර විට
කෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි, ‘අස්ස පස්ස’ කියන මේ අස්කරනවා, පස් කරනවා කියන එකට
අර්ථ කථනයක් සපයනවා, අහනවා, හුළං දිහා බලන් ඉඳලා නිවන් දකින්න පුළුවන්ද? හුළං දිහා
බලා ඉඳලා නිවන් දකින්න බැහැ. එහෙමනම්, ආනාපාන සතිය වඩනවා කියලා, හුළං දිහා හුළං
භාවනා කරලා නිවන් දකින්න පුළුවන් ද? නිවන් දකින්න බැහැ. එහෙමනම්, බුදුරජාණන් වහන්සේ
දේශනා කළේ, අස් පස් කරන්න කියලා, දේශනා කළේ හුළං දිහා බලන් ඉන්න කියලා නෙවෙයි, ඒකට
වෙනම අර්ථ කථනයක් සපයනවා.
ඇත්තටම මේ කාරණාව විමසලා බැලුවොත්, ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, නිවන්
දකින්න නෙවෙයි, ඒක දේශනා කළේ, චිත්ත ඒකග්‍රතාවය සඳහා , චිත්ත සමාධිය සඳහා. ඒක සමථය
පිණිස වැටෙන දෙයක්. ඒක සමථයට අයිති දෙයක්. සමථය කියන දෙයින් බලාපොරොත්තු වන්නේ
විදර්ශනාව නෙවෙයි. ඒ නිසා ඒක සමථය, ඒක වැඩුවේ අශ්වාස, ප්‍රශ්වාසයට හිත තියලා තමයි,
ඒකට අලුත් අර්ථ කථනයක් දීලා, ඒක අවශ්‍ය වන්නේ නැහැ, ඒ තුළ විදර්ශනා ප්‍රතිපදාව
පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට තමයි, උදය , වැය ඥාන දර්ශනයක් පෙන්නුවේ.
‘අනිච්ඡානු පස්සී වා, නිරෝධානු පස්සී වා , විරාගානු පස්සී වා , නිරෝධානු පස්සීවා’
කියලා පෙන්නලා, ඊට පසුව ‘සමුදය ධම්මානු පස්සී වා, වය ධම්මානු පස්සී වා’ යනුවෙන්
නැවත පෙන්වූයේ කුමක් නිසා ද? විදර්ශනා පැත්ත නැවත ප්‍රකට කරන්න ඕන නිසා. ඒ නිසා
අමුතුවෙන් අර්ථ කථන සපයන්න අවශ්‍යතාවයක් නැහැ.
නමුත්, සමථය තේරුම් නොගත්තකම නිසා, මේ සමථය පසකින් තබා කෙනෙක්, මේකට වැරැදි අර්ථ
කථනයක් ඇතැම් වේලාවට සපයනවා. කෙස්, ලොම්, නිය දිහා බලන් ඉදලා නිවන් දකින්න පුළුවන්ද
කියලා අහනවා? කෙස්, ලොම්, නිය දිහා බලන් ඉදලා නිවන් දකින්න පුළුවන් ද? බැහැ. එතකොට
කියනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, කේසා කිව්වේ හෘදයට ආශා කරන්න එපා කියලා. ලෝමා
කිව්වේ ලොව අමාවක් සේ ගන්න එපා කියලා, නඛා කිව්වේ නරක දේට ආසා කරන්න එපා කියලා ,
දන්තා කිව්වේ දු අන්තා , අන්ත දෙක දුරු කරන්න කියලා. මෙන්න මේ විදිහට වැරැදි අර්ථ
කථන නොයෙක් ක්‍රම කරන්න උත්සාහවත් වෙනවා. ඇයි? ඔවුන් අවබෝධ කරගන්නේ නැහැ,
බුදුරජාණන් වහන්සේ, කේසා, ලෝමා, නඛා, දන්තා කියලා දේශනා කළේ නිවන් දකින්න නෙවෙයි,
ඒක දේශනා කළේ සතිපට්ඨානයක් විදිහට, සිහිය පිහිටුවා ගන්න තැනක් විදිහට, චිත්ත
ඒකග්‍රතාවයට. හිත එකඟ කරගන්න අවශ්‍ය නිසා. එතනින් අදහස් කළේ මේ මනුස්සයෙක් ඉන්නවා,
සත්ත්ව පුද්ගල ඉන්නවා කියලා, හිතාගෙන ඉන්න මේ ඝණ සංඥාව දුරු කරලා, යම් ඒකත්වයකට හිත
ගන්න , නානත්වයට හිත තියෙනවා නම්, කථා කරපු ගැඹුරු ධර්ම කාරණාවක් අවබෝධ කරගන්න
පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපට සිද්ධ වෙනවා, ඒකත්වයකට හිත ගන්න. ඒ නිසා තමයි,
කෙස්, ලොම්, නිය, දත් , සම් , මස් , නහර ආදී බලන්න කියලා කියන්නේ. එතකොට මේ
මනුස්සයෝ, සත්ත්වයෝ, පුද්ගලයෝ ඉන්නවා කියලා පෙන්නන තැන අපට පේනවා, කෙස් කියන එක,
අනාත්ම ධර්මතාවයක්. සත්ත්ව , පුද්ගල නොවන ස්වභාවයකින් යුක්ත දෙයක්. ‘මම’ වූ කෙස් තව
කෙනෙකුගේ කෙස් කියලා ස්වභාවයක් ඇත්තේ නැහැ කියලා අපට මේ ඒකත්වයකට හිත තියන්න
පුළුවන්කමක් තියෙනවා. ඒකට තමයි, බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පෙන්නුවේ. ඒ කාරණාව
අයින් කරලා, අපි බලාපොරොත්තු වුණොත් එහෙම වෙනත්, අර්ථ කථනයක් සපයන්න, ඒක සාර්ථක
වන්නේ නැහැ. ඒ නිසා මේ සමථ සහ විපස්සනා කියලා පෙන්නපු දේ සමථයෙන් අදහස් කරපු අර්ථය
තමයි, චිත්ත ඒකග්‍රතාවය ඇති කර ගැනීම. විපස්සනාවෙන් අදහස් කරපු දේ තමයි, යථාර්ථය
පෙන්නීම කියන කාරණය.
එතකොට නිවන් දකින කෙනෙක්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන කෙනෙක් විසින්, ඔන්න , ඔය
ධර්මතා ටික හොඳට නුවණින් අවබෝධ කරගන්නට ඕනේ. ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ. නැතිනම්, තමා
තුළ වැඩෙන බව පේන්න තියෙන්නට ඕනේ. ඒ කෙනා පංච උපාදානස්ඛන්ධය පිළිබඳ සාක්ෂාත් කරනවා,
හරියට ධර්ම මාර්ගය වැඩෙන කෙනා, එතකොට එයා ස්කන්ධ උපාදානස්ඛන්ධ නොදැනගෙන ඉන්න
විදිහක් ඇත්තේ නැහැ.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |