Print this Article


උපදේශාත්මක බණ කතා සාහිත්‍යය: ආදර්ශවත් වූ වෙස්සා මිත්තා

ආදර්ශවත් වූ වෙස්සා මිත්තා

මෙම ලිපියෙහි පළමු කොටස අප්‍රේල් 12 වනදා පත්‍රයේ පළවිය

රජතුමනි, මාගේ ආදරණීය ස්වාමිපුරුෂයා යුදබිමේ දී දිවි පුදා ස්වර්ග ලෝකයට යාමට පිටත් විය. මෙතෙක් කල් එතුමා මා දැඩි ලෙස ආරක්ෂා කළේය. පෝෂණය කළේය. සැප ගෙනදුන්නේය. දැන් මට එතුමා සිහිපත් වන්නේ ය.

මගේ සිත, කය, දෙකම වියෝග ශෝක නමැති ගින්නෙන් දැවෙන්නේය. සොළොස් දහසකට අගමෙහෙසිය වී ඔබතුමාගේ අග්‍රදේවිය ලෙස අභිෂේක ලැබුව හොත් කිසියම් අවස්ථාවක ඔබතුමාත් මෙබඳුම ව්‍යසනයක් පැමිණි කල මම එම දුකෙන් කෙසේ නම් මිදෙම් ද? එසේ නම්, මම එම තනතුරට පත්වීමට අකැමැති වෙමියි කීවා ය. එම දුක දැනෙන කවරෙක් නම් කවර නම් නුවණැති පුරුෂයෙකු ඇවිළෙන ගින්නට පිදුරු දමන්නයැයි වැඩිදුරටත් පැවසුවා ය. ඇගේ එම අදහස සද්ධර්මාලංකාර කතුවරයා දක්වා ඇත්තේ මෙපරිද්දෙනි. රජ්ජුරුවන් වහන්සේ මට අභිෂේක මඟුල් කොට සොළොස් දහසක් බිසෝවරුන් නායක වූ අගබිසව තනතුරට පමුණුවා මා තමන් වහන්සේගේ ළයක් සේ සිතා මෙතෙක් කල් මුළුල්ලෙහි ජීවිතයක් සේ රක්ෂා කළ සේක.

දැන් උන්වහන්සේ පි‍්‍රයකරන්නා වූ මගේ කය සිත දෙක වියෝග ශෝක නමැති ගිනිගෙන දවන්නේය. ඉදින් දේවයන් වහන්ස, දැන් මම අන් රජෙක් හට අග්‍ර මහේසිකාව වී නම්, ඒ රජ හටත් මෙබඳුම ව්‍යසනයක් පැමිණි කල්හි නැවතත් ඒ දුකින් කෙසේ නම් මිදෙම්ද? එසේ හෙයින් අගමෙහෙසුන් තනතුර නොකැමැත්තෙමි. දැන් මම වනාහි වියෝග ශෝක නමැති ගිනිගෙන දිළිසෙන්නාවූ ශරීර ඇති හෙයින් දැන් එම ශෝකය කෙසේ නම්, දුරු කෙරෙහිද? එබැවින් ගිනි නිවනු කැමැත්තා වූ කවර නම් නුවණැති පුරුෂයෙක් ඇවිලෙන ගින්නෙහි පිදුරු බහාලන්නෙහිදැයි කී ය. බිසොවුන්ගේ බස ඇසූ රජතුමා ක්‍රෝධයෙන් පිපිරී පිපිරී යම් ආකාරයකින් අභිෂේක කිරීමට අකැමැති වුවහොත් ඇවිලෙන ගින්නට දමා වදකොට මරවමියි සිතා මහත් වූ දරසෑයක් බඳවා දෙපැත්තෙන් ගිනි තබා දෙගිනි හා වෙන කල්හිත් වෙස්සා මිත්තාට මෙසේ කී ය. එම්බල කාලකන්නි තැනැත්තිය, තිගේ මැරුණ ස්වාමියා පිළිබඳව කල්පනා කරන මේ අවස්ථාවේ ගින්නට පනින ලෙස අණ කළේය. එවිට වෙස්සා මිත්තා මෙසේ අවිහිංසාවම, ප්‍රකාශ කළා ය. පින්වත් රජතුමනි, දෝෂයක් නැති නිරපරාදී කෙනෙක් මෙසේ ඇවිළෙන ගින්නට දමා මැරවීම ඒකාන්තයෙන්ම අකුසලයකි. මෙලොව පරලොව දෙකටම මහත් අකුසලයක් බව වැඩිදුරටත් සඳහන් කළා ය. පැරැණි රජවරු එවැනි නිවැරැදි කරුවන් වධ බන්ධනය කොට නොමැරූ බව කළකිරීමෙන් යුක්තව කීවාය. වෙස්සා මිත්තාගේ එම ප්‍රකාශය ගත්කතුවරයාගේ භාෂාවෙන් මෙසේය.

තවද, දේවයන් වහන්ස පුරාතනයේ රජ දරුවන් විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයෝය. මව්පිය දෙදෙනා ය. බාල දරුවෝ ය. රෝගාදියෙන් පීඩාවට පැමිණි සත්ත්වයෝ ය. ස්ත්‍රීහු ය. යන මේ සත් වැදෑරුම් වූ මනුෂ්‍යයාගේ විෂයෙහි වධ බන්ධන කිරීම හෙවත්, ලැබීම පසස්නා ලද්දේ නොවෙයි. නීති ශාස්ත්‍රඥයන් කීහ. එබැවින් මම වධ විඳීමට සුදුස්සෙකු නොවෙමී කීහ. වෙස්සා මිත්තා මෙසේ තමන්ගේ නිර්දෝෂී බව කියද්දීත් ක්‍රෝධයෙන් මිරිකී ගිය රජ මේ කෙල්ලගේ දෙඅත්, දෙපය මිරිකා අල්ලාගෙන ගිනිමැලයට දමවයි රාජ පුරුෂයන්ට අණ කළෝ ය. එවිට රාජපුරුෂයෝ එම සිවුමැලි බිසව මල්මාලයක් මෙන් මිරිකා ගිනි දෙවියාට පුදනු බිල්ලක් සේ බුර බුරා නැගෙන ගින්නට දැමූහ. ත්‍රිවිධ රත්නය කෙරෙහි බලවත් ශ්‍රද්ධාවෙන් වෙළී සිටි වෙස්සා මිත්තා අන් කිසිවකුගේ පිහිටක් නොලදත් තෙරුවන්ගේ ම පිහිට පැතුවා ය. තෙරුවන්ගේ ආනුභාව බලයෙන් බුර බුරා නැගෙන ගිනිදැල්ලෙන් බිසවගේ රෝම කූපයක් පවා රත්වීමට අවකාශ නොවී ය.