Print this Article


බොදු දනට කරුණාවෙනි: උපෝසථය සුරැකීම

උපෝසථය සුරැකීම

උපෝසථ දිනයක් මුල් කරගෙන සැබෑ උපෝසථයක් ලෙස සීලය ආරක්ෂා කිරීම ඒ සීලයෙන් සමාධියට, සම්‍යක් ප්‍රඥාවට පැමිණීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පෙළ අපි නැවතත් සාකච්ඡා කරමු.

“විශාඛාවෙනි, යම් පරිදි අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වංග, කුරු, පංචාල, මච්ච, සුරසේන, අස්සක, අවන්ති, ගන්ධාර, කාම්භෝජ බඳු අප්‍රමාණ වූ සත් රුවනින් පිරි සොළොස් මහා ජනපදයන්ගෙන්, ආශ්චර්යයෙන්, ආධිපත්‍යය ඇති රාජ්‍යයක් යම් කෙනෙක් පාලනය කරනවා යැයි සිතමු. එහෙත් අංග අටකින් යුතු සිල්පද ආරක්ෂා කිරීමෙන් (අෂ්ඨාංග සමන්නාගත උපෝසථය) ඇතිකර ගත්තා වූ උපෝසථය තුළින් ආනිසංසය, අර ඉතා ආශ්චර්යෙන් යුතු ජනපදයක් පාලනය කිරීමෙන්, ඒවා දහසය වතාවකට බෙදා එක් කොටසකට තරම්වත් මේ උපෝසථයෙන් ලබන ඵලය, ආනිසංසය තරම් වටින්නේ නැහැ. මින් අදහස් වන්නේ පිළිවෙත් පූජාව මත, ප්‍රතිපත්තිය තරම් ලෞකික ලෝකයේ ලබන වස්තූන් එතරම් නොවටිනා බවයි.

එයට හේතුව ලෞකික වස්තු සියල්ලම තාවකාලිකයි. සිතින් ඇතිකරගත් යමක් පමණක්ම යි. එහෙත් උපෝසථයෙන් හඳුන්වා දුන් සීලමය ප්‍රතිපදාව සමාධිය හා සම්‍යක් ප්‍රඥාව ඔස්සේ දීර්ඝ සංසාර ගමනෙන් අත්මිදෙන්න මග සැකසීම ඉතාම අගනා බවයි, මේ දහම් පෙළෙන් පෙන්වා දුන්නේ. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඉහත සඳහන් කළ සොළොස් මහා ජනපදවල ආධිපත්‍ය ලබාගෙන රාජ්‍යය කළත් ඒවා තාවකාලිකයි. මිනිස් ආයුෂ කෙටියි. ඒ වගේ ම ඕනෑම මොහොතක් ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ අවසානය විය හැකියි. එවිට අර සියලු සැප සම්පත් එතැනින් නිමාවට පත්වෙනවා. එපමණක් නොවෙයි. එසේ රාජ්‍යයක් කිරීමේ දී ධර්ම මාර්ගය තුළ නො හැසිරීමෙන් සිත තුළ ඇතිවන ලෝභ, ද්වේෂ, මෝහ නිසා කලුරිය කිරීමෙන් අනතුරුව රජෙක් වූවත්, රාජනියක් වූවත්, හරියට ඔසවාගෙන ගොස් බිමින් තබන්නා සේ සතර අපායේ තැනක ඉපිද අප්‍රමාණ කාලයක් දුක්විඳින්ට සිදුවිය හැකියි. උපෝසථය මනා කොට පැවැත්වීමෙන් ලෞකික වශයෙන් ලබන සුවය වගේ ම මරණින් මතු දිව්‍ය සුඛය පිණිසත් හේතුවෙනවා.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා විශාඛාවෙනි, මිනිසුන් සතු යම් පනස් වසක් වේ ද? එය චාතුම්මහාරාජිකයේ දෙවියන්ට එක් රාත්‍රියකි. දවාලකි. එනම් එක දවසකි. මනුෂ්‍යයන්ගේ අවුරුදු පනහක් චාතුම්මහාරාජිකයේ එක දවසකි. මාසයක් එක් රැයෙන් තිස් රැයක් වේ. අවුරුද්දක් එමඟින් දොළොස් මසක් ම වේ. ඒ අවුරුද්දෙන් පන්සිය වසක් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයු ප්‍රමාණය වේ. කෙටියෙන් සඳහන් කළොත් චාතුම්මහාරාජික දෙවියන්ගේ කාලය අවුරුදු පන්සියයකි. ඉන් අදහස් කළේ මිනිසුන් සතු යම් පනස්වසක් වේ ද? චාතුම්මහාරාජික දෙවියන්ට එක දවසකි. මසක් ඒ රැයෙන් තිස් රැයක් බවට පත්වෙනවා. අවුරුද්දක් එමඟින් දොළොස් මාස වෙනවා. එවැනි අවුරුදු පන්සියයක කාලයක් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය වෙනවා.

විශාඛාවෙනි, යම් හෙයකින් මෙලොව කිසියම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, අෂ්ඨාංග සමන්නාගත වූ පෙහෙවස මැනවින් ආරක්ෂා කොට මරණින් පසු චාතුම්මහාරාජික දෙවියන් හා සමඟ වාසයට පැමිණෙනවා නම් එය ඒකාන්තයෙන් ම එසේ සිද්ධ වෙනවා.

විශාඛාවෙනි, දිව්‍ය සම්පත් ලැබීම පිණිස මනුෂ්‍යයන් විසින් පාලනය කරන රාජ්‍ය ගැළපෙන්නේ හෝ උදව්වක් වෙන්නේ නැහැ. නමුත් මනා කොට ආරක්ෂා කරන ලද උපෝසථ සීලය එයට හේතුවක් වෙනවා. මෙහි දී අප තේරුම් ගත යුතු කරුණක් තිබෙනවා. එනම් උපෝසථ සීලය ආරක්ෂා කරන්නේ දිව්‍ය ලෝක සම්පතක් ලබනවා කියන අදහසකින් නොවේ. නමුත් උපෝසථ සීලය මැනවින් ආරක්ෂා කිරීමෙන් නිවන අරමුණු කරමින් කටයුතු කරනවා. එනමුත් දිව්‍ය සැප සම්පත් ලැබීමට ද එය හේතුවක් වෙනවා.

විශාඛාවෙනි, මිනිසුන් සතු යම් වර්ෂ සියයක් වේ ද? තවුතිසා වැසි දෙවියන්ට එය එක් රැයකි. දවාලකි. එනම් එක දවසකි. එක් රැයෙන් තිස් රැයක් මසෙකි. එමඟින් දොළොස් මාස වූයේ අවුරුද්දකි. එවැනි අවුරුදුවලින් දිව්‍ය වර්ෂ සහශ්‍රයක් තව්තිසා වැසි දෙවියන්ගේ ආයුෂ පමණ වේ.

විශාඛාවෙනි, යම් හෙයකින් මෙලොව යම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, අංග අටකින් යුත් පෙහෙවස සමාදන්ව මැනවින් ආරක්ෂා කොට මරණින් පසු තාවතිංස වැසි දෙවියන් සමඟ එකතුවෙනවා. එය හැබෑවට ම සිද්ධ වෙනවා. මේ දිව්‍ය සුඛය පිණිස මිනිස් ලෝකයේ පවත්නා රාජ්‍ය කිරීමක් හේතුවන්නේ නැහැ.

විශාඛාවෙනි, මනුෂ්‍යයන් පිළිබඳව යම් දෙසීය අවුරුද්දක් වේ ද? යාම දෙවියන්ට එක් රැය දවාලයි. එනම් එක දවසකි. එය රැයෙන් තිස් රැයක් මාසයකි. ඒ මසින් දොළොස් මාසයක් අවුරුද්දකි. එවැනි අවුරුදුවලින් දිව්‍ය වූ දිසහශ්‍ර වර්ෂය යාම දෙවියන්ගේ ආයු ප්‍රමාණය වේ.

විශාඛාවෙනි, යම් හෙයකින් මෙලොවෙහි ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, අංග අටකින් යුත් පෙහෙවස් රැස මරණින් මතු යාම දෙවියන් සමඟ එකතුවීමක් සිද්ධ කර ගන්නවා. මේ දිව්‍ය සැප ලැබීම සඳහා මනුෂ්‍ය ලෝකයේ කරන රජයක් හෝ රාජ්‍ය ආධිපත්‍යයක් හේතුවෙන්නේ නැහැ.

විශාඛාවෙනි, මිනිසුන්ගේ යම් හාරසිය වර්ෂයක් වෙනවා ද? එය තුසිත දෙවියන්ගේ එක් රැයක් හා දවාලකි. එනම් මනුෂ්‍යයන්ගේ දින හාරසියයක් දිව්‍ය ලෝකයේ දෙවියන්ට එක දවසකි. ඒ රැයවලින් තිස් රැයක් මාසයකි. එමඟින් දොළොස් මාසයක් අවුරුද්දකි. එවැනි අවුරුදුවලින් දිව්‍ය වූ හාරදහස් වශයෙන් තුසිත දෙවියන්ගේ ආයු ප්‍රමාණය වේ. එවැනි අවුරුදු හාර දහසක් තුසිත දෙවියන්ට ආයුෂ පවතිනවා.

විශාඛාවෙනි, යම් හෙයකින් මෙලොව කිසියම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා අංග අටකින් යුත් පෙහෙවස සමාදන්ව මැනවින් ආරක්ෂා කොට මරණින් මතු තුසිත දෙවියන් සමඟ එකතුවෙනවා. එනම් තුසිත දිව්‍ය ලෝකයේ උපදිනවා. විශාඛාවෙනි, මේ වෙනුවෙන් මිනිස් ලෝකයේ කරන රාජ්‍යයක් හෝ එහි ආධිපත්‍යයක් හේතුවෙන්නෙ නැහැ.

විශාඛාවෙනි, මිනිස් ලෝකයේ යම් අටසිය වර්ෂයක් වෙනවා ද? එය නිම්මානරතියේ දෙවියන්ට එක් රැයකි. දවාලකි. එනම් එක දවසකි. ඒ රැයෙන් තිස් රැයක් මාසයකි. ඒ මාසවලින් දොළොස් මාසයක් අවුරුද්දකි. එවැනි අවුරුදු දිව්‍ය වර්ෂවලින් අෂ්ට වර්ෂ සහශ්‍රයකි. එනම් අටදහසක් නිම්මානරතියේ දෙවියන්ගේ ආයු ප්‍රමාණය වේ.

විශාඛාවෙනි, යම් හෙයකින් මෙලොව ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, අංග අටකින් යුත් පෙහෙවස මැනවින් ආරක්ෂා කොට මරණින් මතු නිම්මානරති දෙවියන්ගේ එකතුවට සම්බන්ධ වෙනවා. එනම් නිම්මානරති දිව්‍ය ලෝකයේ උපදිනවා. විශාඛාවෙනි, මේ සඳහා මේ දිව්‍ය සම්පත් ලැබීම පිණිස මිනිසුන් ලෝකයේ කරන රාජ්‍ය හේතුවක් වෙන්නේ නැහැ.

විශාඛාවෙනි, මිනිසුන් පිළිබඳ යම් සොළොස් සියවසෙක් වේ ද, දහසය සියවසක් වේ ද, පරනිම්මිතවසවර්ති දෙවියන්ට එක රැය දවාලකි. එනම් එක දවසකි. ඒ රැයවලින් තිස් රැයක් මාසයකි. ඒ මාසවලින් දොළොස් මසක් වූයේ අවුරුද්දකි. එවැනි අවුරුදුවලින් දිව්‍ය වූ දහසය දහසක් පරනිම්මිතවසවර්ති දෙවියන්ගේ ආයු ප්‍රමාණය වෙනවා.

විශාඛාවෙනි, මෙලොව යම් හෙයකින් කිසි ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, අංග අටකින් යුත් පෙහෙවස සමාදන්ව මැනවින් ආරක්ෂාකොට මරණින් මතු පරනිම්මිතවසවර්ති දෙවියන් සමඟ එකතුවෙනවා. එය උපෝසථ සීලයෙන් සිදුවන දෙයක්. නමුත් දිව්‍ය සම්පත් පිණිස මේ මිනිස් ලෝකයේ කරන රාජ්‍යයක්, ආධිපත්‍යයක් එසේ හේතුවෙන්නේ නැහැ.