බුද්ධ භාෂිත ත්‍රිපිටකය
මහාචාර්ය
මුවඇටගම ඤාණානන්ද හිමි
බුදුරජාණන් වහන්සේට අග්‍රෝපස්ථායක වෙමින් පන් විසි වසක් කටයුතු කළ අනද මහ තෙරුන්
අර්හත්වය ලබා ප්‍රකාශිත පී‍්‍රති ගාථා අතර තමන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් ද
ක්‍රියා කරමින් ආරක්ෂා කරගත් බුද්ධ භාෂිතය නම් කවරේදැයි හෙළි කරමින් කළ සඳහනක්
ආනන්දථෙර ගාථාවෙහි ඇතුළත් වේ.
එහි දැක්වෙන පරිදි ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් දෙඅසූ දහසක්
ධර්මස්කන්ධය උගත් අතර භික්ෂූන් වහන්සේගෙන් ධර්මස්කන්ධ දෙදහසක් උගත්හ. ඒ අනුව සුවාසු
දහසක් ධර්මස්කන්ධයෝ ධර්මභාණ්ඩාරිකයන් වහන්සේ විසින් ප්‍රගුණ කරවනු ලැබූහ.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව කොපමණ ප්‍රමාණයක් ද යන පැනයට පිළිතුරු
ලබාගැනීමේ දී පෙළෙහි ඇතුළත් එම ප්‍රකාශය ඉතා වැදගත් සාක්ෂියකි. එමෙන් ම ප්‍රථම ධර්ම
මහාසංගීතිය පිළිබඳ තොරතුරු ඇතුළත් පැරැණිම ලේඛනය වන චුල්ලවග්ගපාලි පඤ්චසතිකඛන්ධයකට
අනුව අධර්මවාදී හා අවිනයවාදී පිරිස්වලින් ඛුද්ධ භාෂිතයට එල්ල වියහැකි තර්ජනවලින් එය
ආරක්ෂා කරගැනීම සඳහා කථිකාවක් ඇති කරගත් පන්සිය නමක් මහරහතන් වහන්සේලා තෙමසක් පුරා
උපාලි මහරහතන් වහන්සේගේ හා ආනන්ද මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් බුද්ධ භාෂිත වූ
ධර්ම විනය ද්වය සංගායනා කර එහි අනාගත ආරක්ෂාව සඳහා ද වැඩපිළිවෙලක් යෙදූහ. මේ පිළිබඳ
සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන සමන්තපාසාදිකා නම් විනයට්ඨකථා බාහිර නිදාන
වර්ණනාවත් සුමංගලවිලාසිනී නම් දීඝනිකායට්ඨකතා නිදාන කතාවත් ප්‍රථම ධර්ම මහා
සංගීතියේ දී සංගායනාවට භාජනය වූ ධර්ම විනය නම් කවර කොටස්වලින් යුක්ත වී ද, ඒවා
ආරක්ෂා කර ගැනීමේ වගකීම කවර සංඝ පරම්පරාවකට පවරන ලද්දේ ද යන වග පැහැදිලි කර තිබේ.
තවදුරටත් බුද්ධ භාෂිතයෙහි ගුණාත්මක හා ප්‍රමාණාත්මක ලක්ෂණ ප්‍රකට කෙරෙන එම වාර්තාව
ධර්ම විනය දෙක පිළිබඳව ශීර්ෂ හතක් යටතේ සිදු කළ වර්ගීකරණයක් පිළිබඳව ද තොරතුරු
ඉදිරිපත් කර තිබේ.
සමන්තපාසාදිකාවෙහි සඳහන් වන එකේ සිට අසූහාරදහස තෙක් ශීර්ෂ හතක් යටතේ කරනු ලබන සමස්ත
බුද්ධ භාෂිතය පිළිබඳ එම වර්ගීකරණයට අනුව බුද්ධ වචනය රස වශයෙන් එක් වැදෑරුම් වේ.
එනම් එය විමුක්ති රසයෙන් යුක්ත ය. තථාගත දේශනයෙහි අරමුණ නිර්වාණය සාක්ෂාත් කිරීම
හෙවත් භව චක්‍රයෙහි නිමාව සනිටුහන්කරන විමුක්තිය පසක් කර ගැනීම යි. බුද්ධ වචනය කවර
විභජනයකට ලක් කළත් එහි අන්තර්ගතයෙහි පරමාර්ථය නම් විමුක්තිය සාක්ෂාත් කිරීම වූ එම
අවසාන අරමුණ මුදුන්පත් කරගැනීම යි. මෙම එක් වැදෑරුම් වර්ගීකරණයට අනුව ප්‍රමාණාත්මකව
සමස්ත බුද්ධ භාෂිතය ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් වශයෙන් එකක් වන අතර
විමුක්තිය සාක්ෂාත් කිරීම අරමුණු කරගැනීම වශයෙන් එය ගුණාත්මකව ද එක් වැදෑරුම් ය.
බුද්ධවචනය වර්ගීකරණය කෙරුණු දෙවන ශීර්ෂය නම් ධර්මය හා විනය යන බෙදීම යි. බුද්ධ වචනය
සම්බන්ධයෙන් වූ මෙම වර්ගීකරණය බුද්ධ කාලයේ සිට ම පිළිගත් ඉතා ප්‍රකට බෙදීම කි.
බුදුරජාණන් වහන්සේ හා උපක නම් ආජීවකයා අතර ඇති වන සාකච්ඡාවේ දී උන්වහන්සේ ඔහුට
ප්‍රකාශ කළේ තමන් වහන්සේ ධර්ම චක්‍රය පැවැත්වීමට කසී රටට වඩින බව යි. ධම්ම චක්‍රය
යනුවෙන් උන්වහන්සේ අදහස් කළේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව
සිදුකිරීම පමණක් නොව තමන් වහන්සේ අවබෝධකරගත් සද්ධර්මය දේශනා කිරීම ඉසිපතනයෙන් ආරම්භ
කරන බව යි. අනතුරුව එළැඹෙන වසර විස්සක කාලය එනම් ප්‍රථම සම්බෝධි සමය ධර්මය ත් ඔවාද
ප්‍රාතිමෝක්ෂය ත් තුළින් භික්ෂු භික්ෂුණී ශාසනය පවත්වා ගත් විනය නීතිවල
අවශ්‍යතාවයක් පැන නොනැඟි සමය යි. එහෙත් භික්ෂු භික්ෂුණී දෙපිරිස ආසවට්ඨානීය ධර්මවලට
භාජනය වීම නිසා ආණා ප්‍රාතිමෝක්ෂ උද්දේසය සිදුකළ වියයුතු විය. ආණා ප්‍රාති මෝක්ෂ
දේශනය යනු භික්ෂු භික්ෂුණී දෙපිරිසගේ ආයති සංවරය සඳහා ප්‍රඥප්ති වශයෙන් දේශනා කළ
විනය නීති රීති පද්ධතිය යි. එම විනය දේශනාවත් සමග ධර්ම විනය වශයෙන් බුද්ධ දේශනාව
පැහැදිලිව කොටස් දෙකකට වෙන් කළ හැකි විය.
පිරිනිවන් මඤ්චකයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතමින් තමන්
වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව බුද්ධවචනය ශාස්තෘන් වහන්සේගෙන් තොරවූවක් ලෙස භික්ෂු
භික්ෂුණීන් විසින් සිතිය හැකි බැවින් ඔවුන් එසේ නොසිතා තමන් වහන්සේගේ ඇවෑමෙන් ධර්ම
විනය ශාස්තෘත්වයෙන් පිළිගත යුතු බවට ආනන්ද හිමියන්ට කළ අනුශාසනය මහාපරිනිබ්බාන
සූත්‍රයේ සඳහන්ව තිබේ. එහි දැක්වෙන පරිදි ධර්ම විනය දෙකෙහි එකිනෙකට වෙනස් අනන්‍යතාව
නම්, ධර්මය බුද්ධ දේශනාවක් හෙවත් අනුශාසනාවක් වශයෙන් සිදුකළ අතර විනය බුද්ධ
ප්‍රඥප්තියක් වශයෙන් සිදුකළ එකකි. බුද්ධ වචනයෙහි චිරස්ථිතිය හා චිරකාලීන පැවැත්ම
උදෙසා ප්‍රථම ධර්ම මහා සංගීතියේ දී සංගායනාවට භාජනය කරන ලද්දේ එම විනය දෙකයි. බුද්ධ
භාෂිතය පිළිබඳ මෙම ධර්ම විනය වර්ගීකරණයේ දී විනය පිටකය විනය වශයෙන් හඳුන්වා දෙනු
ලැබ ඇති අතර අවශේෂ බුද්ධ වචනය ධර්ම සංඛ්‍යාවට අන්තර්ගත කර තිබේ. ඒ අනුව ධර්ම විනය
යන විභේදනයෙහි ප්‍රමාණාත්මක ස්වරූපය නම් එය ද්විවිධ වීමයි. ගුණාත්මක තත්ත්වය නම්
දේශනාවක් හා ප්‍රඥප්තියක් වශයෙන් එය ඉදිරිපත් කර තිබීම යි.
බුද්ධ වචනය පිළිබඳ තෙවැදෑරුම් බෙදීම ශීර්ෂ දෙකක් යටතේ සඳහන් වේ. එනම් ප්‍රථම බුද්ධ
වචනය, මධ්‍යම බුද්ධ වචනය හා පශ්චිම බුද්ධ වචනය වශයෙන් එක් බෙදීමකුත් විනය පිටකය,
සුත්තන්න පිටකය හා අභිධර්ම පිටකය වශයෙන් තවත් බෙදීමකුත් ඒ යටතේ දැක්වේ. ප්‍රථම
බුද්ධ වචනය පිළිබඳ මත දෙකක් ඉදිරිපත් වී ඇත. එයින් එක් මතයකට අනුව ප්‍රථම බුද්ධ
වචනය නම් ධම්මපද පාලි ජරා වර්ගයෙහි ඇතුළත් ‘අනේක ජාති සංසාරං’ ආදී වශයෙන් දැක්වෙන
ගාථාවන් ය. එය ප්‍රථම උදානය වශයෙන් ප්‍රකට ගාථා රත්නය යි. ඒ පිළිබඳ අනෙක් මතය නම්,
මහාවග්ගපාලි මහක්ඛන්ධකයෙහි ඇතුළත් ‘යදා භවේ පාතුභවන්ති ධම්මා’ ආදී වශයෙන් දැක්වෙන
ගාථා රත්නය ප්‍රථම බුද්ධ වචනය බව යි. සමන්තපාසාදිකාවෙහි ඒ මතය බැහැර කරමින් එම ගාථා
රත්නය බුද්ධත්වයෙන් පසු දෙවන දිනයේ සබ්බඤ්ඤුත ඤාණාධිගමයෙන් ඇති වූ සොම්නස ප්‍රකාශ
කිරීම් වශයෙන් පළකළ උදානය යැයි දක්වා තිබේ. පශ්චිම බුද්ධ වචනය නම් පරිනිර්වාණ
අවස්ථාවේ දී “වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” ආදී වශයෙන් ප්‍රකාශිත බුද්ධ
වචනයයි. එම ප්‍රථම බුද්ධ වචනයත්, පශ්චිම බුද්ධ වචනයත් අතර බුදුරජාණන් වහන්සේ විසින්
දේශනා කරන ලද සියල්ල මධ්‍යම බුද්ධ වචනය නම් වේ. බුද්ධ භාෂිතය පිළිබඳ මේ තෙවැදෑරුම්
බෙදීම අතර ඉතා ප්‍රකට හා ජනපි‍්‍රය බෙදීම නම් ත්‍රිපිටක වර්ගීකරණය යි. ක්‍රිස්තු
පූර්ව තෙවන සියවස මැද භාගය හෙවත් තෘතීය ධර්ම මහා සංගායනාව සිදුවන කාලය වන විට බුද්ධ
භාෂිතය පිළිබඳ ඉදිරිපත් කළ එම ත්‍රිපිටක වර්ගීකරණය තහවුරුව පැවැති බවට
පුරාවිද්‍යාත්මක මෙන් ම සාහිත්‍යාංගත සාක්ෂි ලැබී තිබේ. ත්‍රිපිටක වර්ගීකරණයේ දී
විනය පිටකය හා සූත්‍ර පිටකය පිළිබඳ බරපතල ගැටලු පැන නොනැගුණත් විවාදාපන්න කාරණය නම්
අභිධර්ම පිටකයේ නිෂ්පත්තිය යි. ඒ පිළිබඳ බෞද්ධ සම්ප්‍රදාය තුළ පැන නැගුණ බොහෝ ගැටලු
සඳහා ධම්මසංගණීප්පකරණ අට්ඨකතාව වන අත්තසාලිනියෙහි පිළිතුරු සපයා තිබේ.
ධර්ම – විනය වර්ගීකරණයේ දී විනය පිටකය විනය වශයෙන් නම් කළ අතර අවශේෂ බුද්ධ වචනය
ධර්මය වශයෙන් වෙන් කෙරුණු බව සඳහන් වේ. ඒ අනුව ත්‍රිපිටක වර්ගීකරණයේ දී ධර්මය
සුත්තන්ත හා අභිධර්ම වශයෙන් පිටක දෙකකට වෙන්කර තිබේ. සුත්තන්ත පිටකය හැඳින්වීම සඳහා
වර්තමානයේ යෙදෙන සුලභ යෙදුම ‘සුත්තපිටකය’ යන්න යි. සමන්තපාසාදිකාවට අනුව විනය
පිටකයට අයත් ධර්ම කොට්ඨාස හඳුන්වා දීමේ දී ප්‍රථම ධර්ම සංගායනාවේ දී සංගායනා කළ හා
නොකළ විනය කොටස් ඊට ඇතුළත් විය යුතු බව සඳහන් කර ඇත. එයින් සනාථ වන ඉතා වැදගත්
කාරණයක් නම්, විනය පිටකය ද සංවර්ධනයට භාජනය වූ ධර්ම කොටස්වලින් යුක්තව
පරිපූර්ණත්වයට පත්ව ඇති බවයි. එම විස්තරයට අනුව විනය පිටකය උභය ප්‍රාතිමෝක්ෂය,
ද්විවිධ විභංග, දෙවිසි ඛන්ධක හා සොළස පරිවාර යන ධර්ම කොට්ඨාසවලින් සමන්විත ය.
භික්ෂු භික්ෂුණී උභය සංඝයා විසින් පිළිපැදිය යුතු මූලික ධර්ම විනය ශික්ෂාපද ඇතුළත්
උභය ප්‍රාතිමෝක්ෂය වර්තමානයේ දී සැලකේ. ද්විවිධ විභංගය පාරාජිකපාලි හා
පාචිත්තියපාලි නමින් කෘති දෙකක් වශයෙන් සකස්වී ඇති අතර පාචිත්තියපාලිය භික්ෂුවිභංගය
හා භික්ෂුණිවිභංගය වශයෙන් කොටස් දෙකකට වෙන් කර තිබේ. දෙවිසි ඛන්ධක පිළිවෙළින් ඛන්ධක
දහය හා දොළහ බැගින් ඇතුළත් කර මහාවග්ගපාලි හා චුල්ලවග්ගපාලි නමින් කෘති දෙකක්
වශයෙන් විනය පිටකයෙහි අන්තර්ගත ය. පරිවාරපාලියෙහි සොළස පරිවාර අන්තර්ගත වේ.
ත්‍රිපිටක වර්ගීකරණයෙහිලා සුත්තත්තපිටකය හඳුන්වා දෙමින් ඊට ධර්ම කොට්ඨාස පහක්
අන්තර්ගත බව සමන්තපාසාදිකාවෙහි දැක්වේ. ඒවා දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය,
සංයුත්තනිකාය, අංගුත්තරනිකාය හා ඛුද්දකනිකාය නමින් හඳුන්වා ඇත. මේ එකිනෙක නිකායෙහි
ඇතුළත් ධර්ම කොට්ඨාස කවරේද යන්නත් එහි දක්වා තිබේ. ඒ අනුව බ්‍රහ්මජාලාදි සූත්‍ර
සූතිසකින් දීඝනිකාය සමන්විත ය. මජ්ක්‍ධිමනිකායෙහි මූලපරියාදි සූත්‍ර එකසියපණස්
දෙකක් ඇතුළත් වේ. සංයුත්තනිකාය ඔඝතරණාදි සූත්‍ර සත්දහස් සත්සිය දෙසැටකින් යුක්ත ය.
අංගුත්තරනිකාය චිත්තපරියාදාන සූත්‍රාදි සූත්‍ර නවදහස් පන්සිය පනස්හතකින් පරිමිත වේ.
ඛුද්දකනිකාය වෙන් වෙන් කෘති පහළොවකින් සමන්විත ය. එම කෘති නම් ඛුද්දකපාඨ, ධම්මපද,
උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරීගාථා, ජාතක,
නිද්දෙස, පටිසම්භිදා, අපදාන, බුද්ධවංස, චරියාපිටක යනුයි. මේ අතර නිද්දේසය
මහානිද්දෙස හා චුල්ලනිද්දෙස යනුවෙන් කෘති දෙකකින් යුක්ත ය. වර්තමාන බුද්දකනිකායාගත
කෘති හඳුන්වා දීමේ දී සුත්තනිපාත හා පටිසම්භිදාමග්ග කෘති දෙක හැර ඉහත සඳහන් සෙසු
ග්‍රන්ථ සඳහා එම කෘතිවල අගට පෙළ යන අරුත් ඇති පාලි යන වචනය එක්කර බුද්දකපාඨපාලි ආදී
වශයෙන් නම් කරනු ලැබේ.
සමන්තපාසාදිකා බාහිරනිදාන වර්ණනාවෙහි අභිධර්මපිටකය හඳුන්වා දෙමින් ධම්මසංගනී,
විභංග, ධාතුකථා, පුග්ගලපඤ්ඤත්ති, කථාවත්ථු, යමක, පට්ඨාන යන ධර්ම කොට්ඨාසවලින් එය
සමන්විත බව පෙන්වා දෙයි. අභිධර්මපිටකාගත මෙම ධර්ම කොට්ඨාස වර්තමාන ත්‍රිපිටක
වර්ගීකරණය තුළ සප්තප්පකරණ ග්‍රන්ථ නමින් ප්‍රකට ය. බුද්ධ භාෂිතය වර්ගීකරණයේ මෙම
ත්‍රිවිධ බෙදීම දක්වා, අනතුරුව ඒ එක් එක් පිටකයෙහි අන්තර්ගත බුද්ධ දේශනාවන්හි
අනන්‍යතා ලක්ෂණ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් බාහිරනිදාන වර්ණනාවෙහි ඇතුළත් වේ.
පඤ්චවිධ බෙදීමෙහි නිකාය වශයෙන් සමස්ත බුද්ධ භාෂිතය කොටස් පහකට බෙදෙන බව
සමන්තපාසාදිකාවෙහි දක්වා තිබේ. එනම්, දීඝනිකායාදී සුත්තන්තපිටකයට ඇතුළත් ග්‍රන්ථ
සංඛ්‍යාව අනුව සිදුකළ බෙදීමයි. චුල්ලවග්ගපාලි පඤ්චසතිකඛන්ධකයෙහි ද මෙම පඤ්චවිධ
බෙදීම පිළිබඳ සංක්ෂිප්ත ව සඳහන් කරමින් ‘එතෙනෙව උපායෙන පඤ්චපි නිකායෙ පුච්ඡි’
යනුවෙන් දක්වා ඇත. එයින් ප්‍රකට වන්නේ නිකාය වශයෙන් බුද්ධ භාෂිතය වර්ගීකරණය කිරීම
ඉතා පැරැණි බෙදීමක් වශයෙන් පිළිගත් බවයි. එහෙත් එම නිකාය වර්ගීකරණය පිළිබඳ
සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන්නේ සමන්තපාසාදිකාවෙනි. ඒ අනුව එක් එක් නිකාය
ග්‍රන්ථයට ඇතුළත් ධර්ම කොට්ඨාසවල ප්‍රමාණාත්මක හා ගුණාත්මක ස්වරූපය ප්‍රකට කෙරේ.
නිදසුනක් වශයෙන් දීඝනිකාය හඳුන්වා දෙමින් දීර්ඝ ප්‍රමාණ සූත්‍රවලින් එය සමන්විත
බවත් සංඛ්‍යාත්මකව සූත්‍ර තිස්හතරකින් යුක්ත බවත් පෙන්වා දී තිබේ.
බුද්ධ භාෂිතය පිළිබඳ නව වැදෑරුම් වර්ගීකරණය නම්, නවංග සත්‍යථු සාසන නමින් ප්‍රකට
බෙදීමයි. එනම්, සුත්ත, ගෙය්‍ය, වෙද්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක,
අබ්භුතධම්ම, වෙදල්ල වශයෙන් දක්වන වර්ගීකරණයයි. මෙහි සුත්ත යනු උභතෝ විභංග, නිද්දෙස,
ඛන්ධක, පරිවාර යන විනය පිටකයට ඇතුළත් ධර්ම කොට්ඨාසයත් , සුත්තනිපාතාගත මංගලසුත්ත,
රතනසුත්ත, නාලකසුත්ත, තුවටකසුත්ත යන දේශනාත් සුත්ත යන නමින් තිබෙන අනෙකුත් තථාගත
දේශනාත් ඇතුළත් බව සැලකිය යුතු ය. සියලුම සගාථක (ගාථා සහිත) සූත්‍ර ගෙය්‍ය නම් වේ.
විශේෂයෙන් සංයුත්තනිකායේ සගාථක වර්ගය ඊට ඇතුළත් ය. වෙය්‍යාකරණ නම්, සමස්ත අභිධර්ම
පිටකයත් ගාථා රහිත සූත්‍රත් සෙසු අංග අටෙහි සංග්‍රහ නොවූ බුද්ධ වචනයත් වේ. ගාථා යනු
ධම්මපද, ථෙරගාථා, ථෙරීගාථා, සුත්තනිපාතයෙහි සුත්ත නාමය නොලැබූ සුද්ධික ගාථාත් ය.
උදාන යනු දෙඅසූවක් වන සොමනස්ස ඤාණමයික ගාථා පටිසංයුත්ත බුද්ධ දේශනා යි. ඉතිවුත්තක
නම් “භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන ලදී” (වුත්තං හෙතං භගවතා) යනුවෙන් සඳහන්
එකසිය දොළහක් පමණ දේශනායි. ජාතක යනු අපණ්නක ජාතකාදි පන්සිය පණසක් පමණ වන ජාතක
දේශනායි. අබ්භූතධම්ම යනු ආශ්චර්ය, අද්භූත ස්වභාවය ප්‍රකට කෙරෙමින් සිදුකළ
සූත්‍රාන්ත දේශනා යි. වෙදල්ල යනු චූලවෙදල්ල, මහාවෙදල්ල, සම්මාදිට්ඨී, සක්කපඤ්හ,
සංඛාරභාජනීය, පුණ්ණම සූත්‍රාදී සතුටත්, පී‍්‍රතියත් ලබා සිදුකළ දේශනා යි. නාවංග
වර්ගීකරණය පිළිබඳ දක්වන ලද විස්තරයට අනුව එහි අංග වැඩි ප්‍රමාණයක් වෙන් වී ඇත්තේ
බුද්දකනිකායාගත කෘතීන් හඳුන්වා දී ම සඳහා ය. සමස්තයක් වශයෙන් බුද්ධ භාෂිතය
වර්ගීකරණය කිරීමේ දී නවාංග බෙදීම තුළ සමස්ත බුද්ධ භාෂිතය නියෝජනය වී ඇති බවක්
නොපෙනේ.
බුද්ධ භාෂිතය ධර්මස්කන්ධය වශයෙන් සුවාසූදහසකි. සමන්තපාසාදිකාවෙහි ධර්මස්කන්ධයක් යනු
කොපමණ ප්‍රමාණයක් ද යන්න විස්තර කර තිබේ. බුද්ධ භාෂිතය සූත්‍ර, ගාථා පිටක ආදී
වශයෙන් වර්ගීකරණය කර ඇති බැවින් ධර්මස්කන්ධය වශයෙන් ගණනය කිරීමේ දී ඒ එකිනෙකට පවතින
වෙනස්කම් හඳුනාගෙන ධර්මස්කන්ධ සංඛ්‍යාව ගණනය කළ යුතු ය. සූත්‍ර සම්බන්ධයෙන් එක්
අනුසන්ධියක් එක් ධර්මස්කන්ධයකි. ගාථා අනුව ප්‍රශ්නය එක් ධර්මස්කන්ධයක් වන අතර
විසඳුම තවත් ධර්මස්කන්ධයකි. අභිධර්ම පිටකයට අනුව සංඛ්‍යාත්මකව දක්වනු ලබන එක් එක්
බෙදීමක් එක් එක් ධර්මස්කන්ධයකි. විනය පිටකයට අනුව වත්ථු, මාතිකා, පදභාජනීය
අන්තරාපත්ති, අනාපත්ති ආදී එක් එක් කොටස එක් එක් ධර්මස්කන්ධයකි.
සමන්තපාසාදිකා බාහිර නිදාන වර්ණනාව පෙන්වා දෙන පරිදි ප්‍රථම ධර්ම මහා සංගීතිකාරක
තෙරුන් වහන්සේලා බුද්ධ භාෂිතය සංග්‍රහ කිරීම කරුණු දෙකක් නිසා වැදගත් වේ. එකක් නම්
බුද්ධ භාෂිතය සම්බන්ධ සියලු ප්‍රභේද වෙන වෙනම එම ධර්ම සංග්‍රාහකයන් වහන්සේලාගේ
සාකච්ඡාවට භාජනය වීමයි. එහි දී තුන් පිටකයෙහි අන්තර්ගත ඉහත සඳහන් කළ වර්ගීකරණයන්ට
අමතරව උද්දාන සංග්‍රහ, වග්ග සංග්‍රහ, ජෙය්‍යාල සංග්‍රහ ආදී සියලු ප්‍රභේද වෙන් වෙන්
වශයෙන් සත් මසක් මුළුල්ලේ සංග්‍රහ කළ බව (තීසු පිටකෙසු සන්දිස්සමානං) විශේෂයෙන්
සඳහන් කර තිබේ. ත්‍රිපිටකයේ සැකැස්ම හෙවත් ආකෘතිකමය ලක්ෂණ අධ්‍යයනය කිරීමේදී
උන්වහන්සේලා විසින් ඉටුකරන ලද එම මහඟු කර්තව්‍යයෙහි මිල කළ නොහැකි වටිනාකමකින්
යුක්ත බව හඳුනාගත හැකි ය. |