මිය යන හැම ඥාතියාටම
දෙන පින් අනුමෝදන් වෙනවා ද?
කොළඹ බෞද්ධාලෝක මාවත
නාරද බෞද්ධ ධර්මායතනාධිපති
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ
චන්දකිත්ති හිමි
බෞද්ධ අප විසින් පරලොව සැපත් අපගේ ඤාතීන්ට පින්දීම බොහෝ කාලයක් සිට කරගෙන එන
පිළිවෙතකි. නමුත් එහි කිසිදු විද්‍යාත්මක නිවැරැදිතාවයක් නොමැති බව ඇතැම් අය කියති.
මියගිය ඥාතියාට පින් අනුමෝදන් කිරීමේ දී ඔහු ඒ පින අනුමෝදන් වෙනවා ද? අනුමෝදන් නො
වන්නේ නම් ඒ පිනට වන්නේ කුමක් ද? ආදී බොහෝ දේ සමහර පිරිස් අතර පවතින ප්‍රශ්නය. මේ
පිළිබඳව මෙසේ පැහැදිලි කර ගනිමු.
බුදුරජාණන් වහන්සේ ගේ දහම මුල මැද අග පිරිසුදු, නිරවුල්, නිවැරැදි දහමකි. ඒ බුදුදහම
විද්‍යාවත් සමඟ ගැළපීම කිසිසේත් ම කළ යුතු දෙයක් නොවෙයි. බුද්ධාගමට අනුව නූතන
විද්‍යාව නම් අවිද්‍යාව යි. නූතන විද්‍යාවෙන් සෑම දෙයක් ම සොයා ගන්නේ සත්ත්වයාගේ
පැවැත්ම සඳහා යි. නමුත් බුදු දහම අපට අනාවරණය කරන්නේ පැවැත්ම නොව, නැවැත්ම යි.
එමනිසා මෙම අන්ත දෙකෙන් සමන්විත නූතන විද්‍යාව සහ බුදුදහම සංසන්දනය කිරීමෙන් වැළකිය
යුතුයි. විද්‍යාව නිරන්තරයෙන් වෙනස්වීම්වලට ලක්වෙමින්, නව නිපයුම් සොයන, ඒවා තහවුරු
කරන ක්ෂේත්‍රයක් වෙනවා. එහෙම දෙයකට බුදු දහම සංසන්දනය කිරීමෙන් සිදුවන්නේ බුදු
දහමත් වෙනස් කිරීමට සිදුවීම යි. එනිසා බුදු දහමේ ඉගැන්වෙන ගමන් මඟ එකක්,
විද්‍යාවෙහි ඉලක්කය තව එකක් කියා අප වටහා ගන්න ඕනෑ.
අපේ පරලොව සැපත් ඥාතීන්ට පින්දීම පිළිබඳව මෙසේ තේරුම් ගන්න. අන්‍ය ආගමිකයෙක් තමන්ගේ
දෘෂ්ටිය පදනම් කරගෙන යම්කිසි ප්‍රකාශයක් කරනවා නම්, අපට කරන්න පුළුවන් ඒ ගැන
අනුකම්පා කිරීම පමණයි. ඒ ගැන අපට කළ හැකි වෙන දෙයක් නැහැ. මෙලොව සහ පරලොව තිබෙනවා
කියා බෞද්ධයන් වන අපට විශ්වාසයක් තියෙනවා. අපි එහෙම හිතුවත් මේක විශ්වාස නො කරන
පිරිසකුත් සිටිනවා. ඒ අය දෙවියෝ, භූතයෝ , පේ‍්‍රතයෝ ආදීන් ඉන්නවා කියා විශ්වාස
කරන්නේ නැහැ. එහෙම විශ්වාස නො කරන අයට යම් යම් කාරණා සහතික කරන්න කොතරම් මහන්සි
වුවත් එය කෙසේවත් කළ නො හැකියි. ඕනෑම දෙයක් පිළිගැනීමට ඒ පිළිබඳව ප්‍රාථමික මට්ටමක
හෝ විශ්වාසයක් අපට තිබෙන්නට ඕනෑ. සමහරු යමක් පිළිගන්නේ එය විද්‍යාත්මක නම් පමණයි. ඒ
වගේ අයට ලෙඩක් හැදුණා යැයි කියමුකෝ. දැන් මේ පුද්ගලයා දොස්තර මහත්මයා ළඟට යන්න ඕනෑ.
දොස්තර ලෙඩා බලා බෙහෙතක් නියම කරනවා. මේ ලෙඩා හැම දෙයක්ම පිළිගත්තේ විද්‍යාත්මක
පසුබිමක සිට නම් ඔහු අර බෙහෙත මුලින්ම පර්යේෂණාගාරයට ගෙන ගොස් ඒ බෙහෙත පිළිබඳව
පර්යේෂණයක් කරලා මේ වාගේ ලෙඩක් හැදුණු කෙනෙකුට ඒක පොවලා ඒකෙන් ලෙඩේ සනීප ද කියලා
බලා එයින් අත්දැකීමක් අරගෙන තමනුත් ඒ බෙහෙත බොන්න ඕනෑ. නමුත් ඔහු එසේ කරන්නේ නැහැ.
මේ වෛද්‍යවරයා දෙන බෙහෙතෙන් තමන්ගේ ලෙඩේ සුවවෙයි කියන විශ්වාසය ඒ පුද්ගලයා තුළ
තියෙනවා. ඒ විශ්වාසය නැත්නම් ඔහු ඒ බෙහෙත බොන්නේ නැහැ. එහෙම නොබිව්වා නම් ලෙඩේ සනීප
වෙයිද? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඕනෑම දෙයකට ප්‍රාථමික මට්ටමේ විශ්වාසයක් තිබිය
යුතු බව අපට තේරුම් ගන්න පුළුවන්. ඒවාගේ බුදු දහමේ කෙරෙන ඉගැන්වීම්, පිළිගැනීම සඳහා
අපට මූලික විශ්වාසයක් තියෙන්න ඕනෑ. එහෙම විශ්වාසයක් නැති පුද්ගලයාට කොතරම් කරුණු
කාරණා පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළත් ඒ තැනැත්තා තමන්ගේ මතයේ ම රැඳී සිටිනවා.
මරණින් මතු ජීවිතය ගැන විද්‍යාත්මකව ඔප්පු කරන ක්‍රමවේද දැන් සමාජයේ තියෙනවා.
මෝහනයට පත්කිරීමෙන් පසුව පෙර භවය ගැන කියන අය, පුනර්භවය ගැන කියන ළමයි, ඒ ළමයින්ගේ
පුනරුප්පත්ති කතා ගැන කරන පර්යේෂණ ආදී කරුණු අපට පෙනෙන්නට තිබෙනවා. නමුත් ඒවාත් එක්
එක් අය කියන, ලියන ඒවා පමණයි. මරණින් මතු උපතක් පිළිබඳව අප විශ්වාස කරන්නේ අප සතුව
ඇති පූර්ව නිගමනවලට අනුව මිස ප්‍රත්‍යක්ෂ සාධකවලට අනුව නොවෙයි. මැරිලා උපදිනවා
කියලා අපි පිළිගන්නේ අපි මැරිලා හින්දා ද? නැහැනේ.තාම ජීවත්වෙනවා. එතකොට ඕක තහවුරු
කරන්න නම් මැරෙන්න ම ඕනෑ. ඉතින් කාටද එහෙම එකක් කරන්න පුළුවන්? සියල්ල විද්‍යාත්මකව
ඔප්පු කරලා ඒ මොහොතේ ම පෙන්වීමට පුළුවන්කමක් නැහැ. නමුත් අපට ඕනෑ දෙයක් ධර්මයත් සමඟ
ගළපා ඒ තුළින් විශ්වාසයක් ගොඩනඟා ගෙන ඒ විශ්වාසය හරහා, ඒ විශ්වාසය මුල් කරගෙන මෙවන්
කාරණා පිළිගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ධර්මය විශ්වාස නො කරන්නාට මෙහෙම දෙයක්
ගැන කොහෙත්ම විශ්වාසයක් නැහැනේ. ඒක ස්වභාවයක්. ඒ ගැන අපට කළ හැකි දෙයක් නැහැ.
සමහර අයට ධර්මය පිළිබඳව සෑම කාරණාවක් ම අවිශ්වාස යි. ඒ අයට ධර්මය පිළිගන්න නම්, ඒ
හා සම්බන්ධ කාරණා සෑම එකක් ම විද්‍යාත්මකව ඔප්පු කරලාම පෙන්වන්න ඕනෑ. නමුත් දැන්
ඉතියෝපියාව කියලා රටක් තියෙනවාද? නැද්ද? කියලා මම ඇසුවොත් ඔබ දෙන පිළිතුරු මොකක්ද?
එහෙම රටක් තිබෙනවා. ඔබ ඒක දන්නේ කොහොම ද? එහි ගිහිල්ලා තියෙනවා ද? ගිහිල්ලා නැහැ.
එහෙම නම් පේ‍්‍රත ලෝකයත් තියෙනවා කියලා බණ පොතේ සඳහන් වෙනවානේ. දිව්‍ය ලෝකය ගැනත්
බණ පොතේ තියෙනවා. දැන් මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කර ඒ ලෝක ගැන
විස්තරත් කියලා තියෙන්නේ. එතකොට ඇයි ඒක පිළිගන්න බැරි? සමහරු හැම දෙයක්ම වැරැදියට
බලන්නේ. වැරැදියට දකින්න පුරුදු වෙලා ඉන්නේ. එහෙම අයට අපි කොයිතරම් කිව්වත් මේ
කාරණා වටහා ගන්න බැහැ.
නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව මරණින් මතු නැවත භවයක් තිබෙනවා. ඒ භවය
සුගතියක් වෙන්නත් පුළුවන්, දුගතියක් වෙන්නත් පුළුවන්. පේ‍්‍රත ලෝකය කියන්නේ ඒ දුගති
භවයන්ගෙන් එකක් වන අතර, ඒ පේ‍්‍රත ලෝකයේ විවිධ කොට්ඨාශ තිබෙනවා. පරදත්තූප ජීවි
කියන්නේ ඉන් එක් කොටසකට යි. එහි ඉපදී ඇති පේ‍්‍රතයන් නිරන්තරයෙන්ම තම සංසාරගත
ඤාතීන්ගෙන් පින් අපේක්ෂාවෙන් පසුවෙනවා. එහෙම පින් අපේක්ෂාවෙන් ඉන්න අය මෙහේ ඥාතීන්
පින් කර පින් අනුමෝදනා කරන විට එය දැක බලා සතුටු වී සාධු සාධු කියා ඒ පින් අනුමෝදන්
වෙනවා. ඒ අනුමෝදන්වීම ඒ අය විසින් කරගන්න පින්කමක්. ඒ පින්කමට අනුව ඒ අයගේ ජීවිත
සුවපත්වෙන බව බුදුදහමෙහි සඳහන් වෙනවා. නමුත් එහෙම බලාපොරොත්තුවක් නැති තැන පින්
අනුමෝදන් වෙන්න බැහැ.
දැන් ඔය රූපවාහිනී සංස්ථාවේ විකාශනාගාරවලින් කො තරම් රූප තරංග නිකුත් කළත්, නිවසේ
රූපවාහිනී යන්ත්‍රය විදුලියට සම්බන්ධ කරලා,අදාළ නාලිකාව රූපවාහිනිය ක්‍රියාත්මක කර
තිබුණේ නැත්නම් රූප පෙනෙන්නේ නැහැනේ. ඒවාගේ මෙහෙන් නිකුත් කරන චිත්ත තරංග ග්‍රහණය
කරන්න ඒ අය සූදානම් නැත්නම්, ඒ අයට පින් අනුමෝදන් වීමට බැහැ කියන එක තමයි අපට
කියන්න පුළුවන් වන්නේ. එහෙම තැනක් නැහැ කියලා කියන අයට ඒක තියෙනවා කියලා ඔප්පු කරලා
පෙන්වන්නත් අපට බැහැ.
- නයනා නිල්මිණී |