Print this Article


සතිපට්ඨාන භාවනාව 49: සමුදය සත්‍යය - නුවණින් වටහා ගතයුතු විඤ්ඤාණය

සමුදය සත්‍යය:

නුවණින් වටහා ගතයුතු විඤ්ඤාණය

සතිපට්ඨාන භාවනාවෙහි සමුදය සත්‍යය වශයෙන් තණ්හාව හැඳින්වූවා. එය කාම තණ්හා ආදී වශයෙන් තුනක් ද , රූප තණ්හා ආදී වශයෙන් හයක් ද, අතීත ආදී වශයෙන් තුනක් ද, අධ්‍යාත්මික , බාහිර වශයෙන් දෙකක් ද වශයෙන් වැඩිකළ විට තණ්හාව එකසිය අට වැදෑරුම් වෙයි.

මේ තෘෂ්ණාව සමුදය සත්‍යය යි. එය අවබෝධ කරගත යුතු යි. බොරුවක් නො වෙයි, සත්‍යවාදී දෙයක්. සත්‍යවාදී දහමට අනුව කටයුතු කරන විට තමන්ට ධර්මය අවබෝධ කරගන්න පහසු යි. අධ්‍යාත්මික ආයතන හය ඇස, කන, නාසය, දිව, සිරුර, සිත වෙයි. මේ නිසා තණ්හාව හට ගන්නා ක්‍රමය ද, රූප , ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය, ධම්ම ආදී බාහිර ආයතන වන අතර එයින් තණ්හාව හට ගන්නා ක්‍රමය ද පසුගිය ලිපි පෙළින් සඳහන් කළෙමු.

අද සඳහන් කරන්නේ විඤ්ඤාණ චක්කය යි. විඤ්ඤාණය යනු සිත යි. එසේනම්, ආයතන හයට විඤ්ඤාණ එකතු කළ විට විඤ්ඤාණ හයක් වෙයි. මේ විඤ්ඤාණ හයෙන් තණ්හාව හට ගනියි. චක්ඛු විඤ්ඤාණය ඇස සම්බන්ධ සිත නිසා තණ්හාව හට ගන්නවා. සිතක් නොමැතිව තණ්හාවක් හට ගන්නට බැහැ. ඇසින් දකින අරමුණ කෙරෙහි බලවත් ලෙස ගැනීමක් තිබෙන්නට අවශ්‍යය යි. එවිට යි, තණ්හාව හට ගන්නේ. ඇස තණ්හාව උපදින තැනක්. ඇසෙන් යම් දෙයක් දකින විට ඒ දසුනෙහි සිතක් පහළ වන අතර එය චක්ඛු විඤ්ඤාණය යි. කන සෝත නම් වෙයි. කනෙන් යම් දෙයක් අසන විට සිතක් පහළ වෙන අතර එය සෝත විඤ්ඤාණ නම් වෙයි. නාසිකාවෙන් ගඳ , සුවඳ දැනගන්නා අතර එයට සිතක් පහළ වෙන අතර එය ඝාන විඤ්ඤාණය නම් වෙයි. එසේම දිවෙන් රස, තිත්ත දැනගන්නා අතර එය ජිව්හා විඤ්ඤාණය යි. ස්පර්ශ දැනගන්නේ කාය විඤ්ඤාණයෙන්. ඉතිරි සියල්ල ම දැනෙන්නේ මමෝ විඤ්ඤාණයෙන්. මනෝ විඤ්ඤාණයට වැඩි කොටසක් අයත්වන අතර සිත් අසූ නවයෙන් චක්ඛු විඤ්ඤාණ සිත් දෙක යි. සෝත විඤ්ඤාණ සිත් දෙක යි, ඝාණ විඤ්ඤාණ සිත් දෙක යි, ජිව්හා විඤ්ඤාණ සිත් දෙක යි. කාය විඤ්ඤාණ සිත් තුන යි. ඉතිරි සියල්ලටම කියන්නේ මනෝ විඤ්ඤාණ කියල යි. මනෝ විඤ්ඤාණ චෛතසික සංඛ්‍යාව වැඩි එකෙනුත් තණ්හාව හට ගනියි. එසේනම්, පෙර ලිපියේ සේ ම විඤ්ඤාණ චක්ඛය ද මෙසේ භාවනාවට ගත යුතු යි.

චක්ඛු විඤ්ඤාණය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා චක්ඛු විඤ්ඤාණය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. සෝත විඤ්ඤාණය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා සෝත විඤ්ඤාණය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, ඝාන විඤ්ඤාණය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ඝාන විඤ්ඤාණය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ජිව්හා විඤ්ඤාණය මම නොවෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ජිව්හා විඤ්ඤාණය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. කාය විඤ්ඤාණය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා කාය විඤ්ඤාණය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මනෝ විඤ්ඤාණය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා මනෝ විඤ්ඤාණය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. විඤ්ඤාණ චක්ඛය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා විඤ්ඤාණ චක්කය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. එසේනම් විඤ්ඤාණ හය යි. එය යි චක්ඛය කියන්නේ.

තණ්හාව හට ගනු ලබන අරමුණුවලින් සිතට විඤ්ඤාණය යනුවෙන් සඳහන් කරයි. විඤ්ඤාණය නිස යි, තණ්හාව හට ගන්නේ. ඇසින් කොපමණ රූප දුටුව ද, සිත පහළ නොවුණොත් එයින් තණ්හාවක් හටගන්න බැහැ. අපට ඇතැම් විට ශබ්ද ඝෝෂා නො ඇසී යනවා, ඒ අරමුණ කෙරෙහි සිත පිහිටු වූයේ නැති නිස යි. එසේනම්, අරමුණෙහි සිත පිහිටෙව්වොත් පමණක් විඤ්ඤාණය පහළ වෙනවා. කෙනෙකුගේ විඤ්ඤාණය දැනගත හැක්කේ බුදු කෙනෙකුට පමණ යි. වෙනත් කිසිවකුට බැහැ. බුදුන් වහන්සේ නමක් සිත දෙස බලල යි, ධර්මය දේශනා කරන්නේ, භාවනාව කියලා දෙන්නේ.

ඒ නිසා කවුුරු වුණත් තම සිත හැකිතාක් දියුණුවෙන්, භාවනාවක් ප්‍රගුණ කර, අත් දැකීම් ලබාගෙන මේ ගමන ඉදිරියට යද්දී තමාට ලොකු බලයක්, ශක්තියක් ගොඩ නංවා ගන්නට පුළුවන්. එසේනම්, අපට මේ බුද්ධ ශාසනයෙන් ලබා ගත යුතු දැනුම හොඳින් ලබා ගන්න. මේ දැනුම වෙන කොහෙන්වත් ලබා ගන්න පුළුවන්කමක් නැහැ.

එක්තරා දවසක සච්චක නම් නිගණ්ඨවාදී තැනැත්තා බුදුන් වහන්සේ හමුවට පැමිණ , සුහද සාකච්ඡාවකින් අනතුරුව ඔබ වහන්සේ බණ කියනවා වැරැදි යැයි පැවසුවා. සච්චකය, කොහෙද වැරැදි යනුවෙන් බුදුන් වහන්සේ විමසුවා. ඔබ වහන්සේ නිබඳව ම බණ කියද්දී අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යනුවෙන් පද තුනක් කියනවා. ඇයි මේ අප යසට ඉන්නේ? මේ ලෝකයක් තියෙන්නේ? අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වෙන්නේ කෙලෙසදැයි සච්චක විමසුවා. එවිට බුදුන් වහන්සේ නැවත මෙලෙස අසනවා. සච්චකය, ඔබට පුළුවන්ද, වයසට යන්නේ නැතිව ඉන්න? සච්චක නැවත ප්‍රශ්නය බුදුන් වහන්සේගෙන් විමසනවා. මෙහි දී බුදුන් වහන්සේ නැවත වදාළේ, සච්චකය ඔබට පුළුවන් ද වයසට යන්නේ නැතිව ඉන්න. ‘බැහැ’ කිව්වා. මෙහි දී බුදුන් වහන්සේ වෙහෙසට පත් නො කරන්නැ’යි සක්‍රයා , යක්ෂයකු සේ පැමිණි දසුනින් සච්චක බියවී එපමණකින් ම කතාව නැවතුණා. එහි දී බුදුන් වහන්සේ මෙලෙස දේශනා කළා. “සච්චකය, ඔබ කිව්වානේ මා අනිත්‍ය , දුක්ඛ ,අනාත්ම කියනවා වැරැදි’යි කියලා. සච්චකය, වයසට යනවා යනු අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යි. කෙස් සුදු වෙනවා, දත් වැටෙනවා, සිරුර රැළි වැටෙනවා. ජරා ජීර්ණ වෙනවා, ඔත්පල වෙනවා, මිය යනවා. මිය යනවා කියන්නේ දුක්ඛ සත්‍යයේ ස්වභාවය යි. තණ්හාව සමුදය සත්‍යයේ ස්වභාවය යි. මේවා අවබෝධ කරගැනීමට නම්, නුවණ පාවිච්චි කර අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වටහා ගත යුතු යි. යථාර්ථය වැටහී ගිය සච්චක පසුදා ම බුදුන් වහන්සේට දන් පිරිනමා හොඳින් කටයුතු කර, මරණින් මතු දෙව් ලොව ද , නැවත ලක්දිව ද උපත ලබා ළමා කාලයේ දී මහණ වී රහත් ඵල ලැබුවා. කාල බුද්ධ මහ රහතන් වහන්සේ කියන්නේ සච්චකට යි.

එසේනම්, මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ දී ම දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට මෙහි සඳහන් කළ විඤ්ඤාණ හයත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. චක්ඛු විඤ්ඤාණය අනිත්‍ය යි, දුක්ඛ යි,අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ ද වටියි. තමන්ගේ විඤ්ඤාණය පිළිබඳව හොඳ වැටහීමකින් මෙනෙහි කර තණ්හාව ම නැති කරන්න. තණ්හාව දුරු වුණොත් නිවන් සම්පත් අවබෝධ කර ගන්න පුළුවන්.