Print this Article


අසමසම ගුණ මහිම: සුපතිට්ඨිත පාද මාතර මහින්ද හිමි

සුපතිට්ඨිත පාද

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයකි. නුවරවැසි ජනයා භාග්‍යවතුන් වහන්සේගේ අසූවක් අනු ව්‍යංජන, දිව්‍යමය ප්‍රභාව මෙන් ම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳව කතිකා කළහ. “භාග්‍යවතුන් වහන්සේගේ රූපය තව්තිසා දිව්‍ය ලෝකයේ පරසතු මලක් වැනිය”. “නෙළුම් මලින් පිරුණු වනයක් වැනි ය”. මේ ආදී ලෙසින් එක් එක් පුද්ගලයා බුදුරජාණන් වහන්සේගේ රූප ශ්‍රීය පිළිබඳව වර්ණනා කළහ.

ඒ ඒ වර්ණනා අතරතුර මෙවැනි අදහස් ද ඉදිරිපත් විය. “භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන් ට අනුව යමක් ලබන්න යම් කර්මයක් තමන් විසින් සිදු කළ යුතු ය. කුඩා ප්‍රමාණයකින් හෝ කැඳ දන් දුන්නා නම් යම් කර්මඵලයක් ලබන්න එය ද හේතුවන බව යි. ඉතා සුළු දෙයකින් පවා කර්මඵලයක් ලබන්න හේතුවන බව යි.

මේ අසා සිටි ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයට වැඩම කළ පසු උන්වහන්සේ වෙනුවෙන් සිදු කළ යුතු වත්පිළිවෙත් සිදු කර අවසානයේ තමන්ට අසන්නට ලැබුණු කතිකාවන් භාග්‍යවතුන් වහන්සේට සැළ කර සිටියහ.

ආනන්ද හාමුදුරුවෝ සැළ කර සිටි කරුණ මුල්කර ගනිමින්, ජේතවනාරාමයේ දී භික්ෂූන් වහන්සේ පිරිවරා භාග්‍යවතුන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ සඳහන් ලක්ඛණ සූත්‍රය දේශනා කළ සේක.

දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අද අපි “සුපතිට්ඨිත” පාද ලක්ෂණය පිළිබඳ විමසා බලමු. බෝසතාණන් වහන්සේ සම්බුදු පදවිය පතා සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට පාරමී දම් පිරූ සේක. ඒ අවධියේ දේව, බ්‍රහ්ම, තිරිසන් කුලවල උප්පත්ති ය ලැබූහ. ධර්මයේ සඳහන් වන ආකාරයට ඇතෙකුට වඩා විශාල සත්වයෙක් ලෙස ඉපදී නැත. වටුකරුල්ලෙකුට වඩා කුඩා සත්වයෙක් ලෙස ද උපත ලබා නැත. මේ ප්‍රමාණ දෙක අතර සියලුම ප්‍රමාණයේ සත්වයන් ලෙස උප්පත්තිය ලැබූහ. දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල උපත ලබන ලද ආත්මභාවයන්හි නොයෙක්, නොයෙක් ආකාරයේ කුසල කර්ම සිදු කරගත් බව ජාතක කතාවන්වල සඳහන් වේ.

සුපතිට්ඨිත පාද ලක්ෂණය ලබන්නට උන්වහන්සේ සිදු කළ කුසල කර්මය නම්, යම් කුසල කර්මයක් සිදු කරද්දී දැඩිව සමාදන්ව සිදු කිරීම ය. ඒ වගේ ම කුසල කර්මයක් සිදු කරන අවස්ථාවේ දී කිසිම පුද්ගලයෙකුට උන්වහන්සේට බාධා කළ නොහැකි ය. සසරේ බෝධිසත්වයන් වහන්සේ නමක් වශයෙන් කුසල් රැස් කරන විට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට පැමිණ උන්වහන්සේගේ කුසල් සිතට බාධාවක් කළ නොහැකි ය.

බෝධිසත්වයන් වහන්සේ යම් කුසලයක් සිදු කරන විට හැකිලී තිබෙන යම් දෙයක් දිග හැරෙන්නේ යම් සේ ද සිත එලෙස ක්‍රියාත්මක වන බව අට්ඨ කතාවේ උදාහරණයකින් සඳහන් ය. සිතින් සිදු කරන කුසල කර්මය එනම්, පින මේ ලෝකයේ කිසිවෙකුටත් වැළැක්විය නො හැකිය.

ලේන කුලයක උප්පත්තිය ලද බෝධිසත්වයන් වහන්සේ, මහ වැසි වසින විට ලේන කූඩුව කැඩී බිමට වැටී වැසි ජලයේ ගසාගෙන ගොස් මහ මුහුදට වැටුණි. බෝධිසත්වයන් වහන්සේ ලේන වලිගය තෙම තෙමා ගොඩට විත් වලිගය ගසා දැමූහ. දින හතක් පුරා දරණ එම උත්සාහය දෙස බලා සිටි ශක්‍ර දෙවියෝ, “ඔය කරන්නේ කුමක් ද? ඔය ක්‍රියාවෙන් නම් මුහුදු දිය හිස් කළ නොහැකිය” යැයි පැවසී ය. එවිට බෝධිසත්වයන් වහන්සේගේ පිළිතුර වූයේ “නුඹ වැනි කම්මැලියෙක් සමඟ මේ අවස්ථාවේ දී කතා කරන එකත් වටින්නේ නැහැ. මෙතැනින් ඉවතට යන්න. ඔබ මගේ වැඩේට පාඩුවකි” යන්න ය. මෙයින් පැහැදිලි වන්නේ බෝධිසත්වයන් වහන්සේගේ වීර්යයි. ඒ වගේ ම දෙවියෙකු පැමිණ කීවත් තමන් වහන්සේ කරන ක්‍රියාව නතර කරන්නේ නැහැ. ඒ වගේ ම මෙම උත්සාහය අනුවණ ක්‍රියාවක් නොවෙයි. මුහුදු ජලය හිස් කරන්න බැහැ. නමුත් කල්ප කෝටි ගණනක් ගෙවී හෝ හිස් කරන්න පුළුවන්නේ. කෙසේ නමුත් මෙම උදාහරණයෙන් පෙන්වා තිබෙන්නේ සිය දරු පැටවුන් බේරගන්න බෝධිසත්වයන් වහන්සේ ගත් වීර්යය ගැනයි.

“මහා ජනක” ජාතක කතාවේ දී බෝධිසත්වයන් වහන්සේ ජනක රජු වීමට කලින් දිනක රාජ්‍යත්වය ලබා ගැනීම පිණිස නැව් නැග මුහුදු මාර්ගයෙන් ගමන් ගන්නා අවස්ථාවේ දී නැව මුහුදු බත් විය. ඒ අවස්ථාවේ දී බෝධිසත්වයන් වහන්සේ මුහුදට බැස පීනන්නට පටන් ගත්හ. ඒ අවස්ථාවේ දී මුහුදට අධිගෘහිත මණිමේඛලා දිව්‍යාංගනාව පැමිණ මෙසේ විමසන්නී ය. “කොහේ ද මේ පීනන්නේ”?

“මම මේ පරතෙරට පීනනවා. මගේ පරම්පරාවෙන් ලැබෙන රාජ්‍යත්වය ලබා ගැනීම පිණිස. එසේ රාජ්‍යත්වය ලබාගෙන පින් කටයුතු කිරීමට හා දන් දෙන්නයි යන්නේ. බෝසතාණන් වහන්සේ පැවසූහ. එවිට, “ මේ මහා සාගරය ගැඹුරු යි. පැතිරිලා තිබෙන ප්‍රදේශය විශාල යි. කවදා මේ මහ මුහුද තරණය කරන්නේ ද?” යි දේවතාවිය විමසන්නී ය. බෝධිසත්වයන් වහන්සේගේ පිළිතුර වූයේ “නුඹට මේ මහා සමුද්‍රයක් සේ පෙනුණාට මගේ කැමැත්තත් සමඟ ගත් විට මේ මහා සමුද්‍රය හරියට මහා ජල කඳක පවතින දිය බිඳක් වැනි ය. මේ මහා සමුද්‍රය මට පුංචි වතුර වලක් වගේ ය. ඉතින් නුඹට මා දැක ගන්න ලැබෙයි මේ සමුද්‍රය තරණය කර අවසන් වූ පසුව“ යන්න ය. මහා ජ්‍යෙෂ්ඨයන් වහන්සේලොගේ සිතිවිලි කවදාවත් නතර කළ නොහැකි යැයි දේවතාවිය සිතී ය. මෙතැනදී ත් සඳහන් වන්නේ බෝධිසත්වයන් වහන්සේගේ උත්සාහය කිසිවෙකුට නතර කළ නොහැකි ය. එසේ සිතා දේවතාවිය බෝසතාණන් වහන්සේ තමන්ගේ දෝතටගෙන ගොස් අදාළ රාජ්‍යයෙහි තැබුවා ය. කෙසේ හෝ රාජ්‍යත්වය ලබා ගත් ජනක රජතුමා දවසකට ලක්ෂ හය බැගින් ස්ථාන හයකදී දන් දුන්නේ ය.

භාග්‍යවතුන් වහන්සේගේ මේ පළමු ලක්ෂණය ලබන්න කළ පුණ්‍ය කර්මය වන්නේ, දන් දෙන අවස්ථාවේ, සිල් ආරක්ෂා කරන අවස්ථාවේ, අම්මාට තාත්තාට උපස්ථාන කරන අවස්ථාවේ. ඒ වගේ ම ශ්‍රමණයන්, බ්‍රාහ්මණයන්ට උපස්ථාන කරන විට කුලයේ ජ්‍යෙෂ්ඨයන්ට, ගුරුවර වැඩිහිටියන්ට උදව් උපකාර කරමින් සිදු කරන කුසල කර්මයන් දැඩි අධිෂ්ඨාන ශක්තියකින් සිදු කිරීම ය. ඒ ඒ පින්කම් කිසිම කෙනෙකුට නවත්වන්න පූළුවන්කමක් ලැබෙන්නේ නැත. ඒවගේ ම බෝධිසත්වයන් වහන්සේ සසරේ දී සිය මවුපියන්ට සැලකීමේ පුණ්‍ය කර්මය බිරිඳ, දරුවන් හෝ වෙනයම් කිසිම කටයුත්තක් නිසාවත් අතපසු කළේ නැත. බෝධිසත්වයන් වහන්සේ සිදු කළ දානයක්, සිල්රැකීමක් වැනි කුසලයන්ට දෙවියෙකුට, ස්වාමීන් වහන්සේ නමකට, මාරයෙකුට බාධාවක් කළ නොහැකි ය. මෙම පුණ්‍ය කර්මය එක ආත්ම භවයක හෝ දෙකක සිදු කළ පුණ්‍ය කර්ම නොවේ. සාරා සංඛ්‍යෙ කල්ප ලක්ෂයක් පුරාවට ම කුසල්දම් වර්ධනය කර ඇත.

එය උදාහරණයක් ලෙස මෙලෙස වචන තුනකින් හැඳින්විය හැකි ය. කටත්ථා, උපචිතප්පා, උස්සන්නත්ථා යනුවෙනි. කටත්ථා, එක ගල් කැටයක් නම් එ ය කුඩා ය. උපචිතප්පා ගල් කැට දහයක් විතර එකතු කළ විට තරමක් විශාල වේ. උස්සන්නත්ථා සිතා ගන්න බැරි ප්‍රමාණයට ගල් කැට ගොඩක් ගැසුවොත් එතැන විශාල ගල් කන්දකි. මෙන්න මේ ලෙස බෝධිසත්වයන් වහන්සේ සාරා සංඛ්‍යෙ කල්ප ලක්ෂයක් පුරාවට ම දන් දීමේ දී කිසිම අවස්ථාවක උන්වහන්සේගේ දැඩි වීර්යයකින් වඩන ලද දාන සිත කිසිවෙකුට නතර කරන්නට නොහැකි විය.

මේ ආකාරයෙන් පින් කළ බෝධිසත්වයන් වහන්සේ දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබූහ. දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලද පසු එහි දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් අග්‍ර බවට පත්වූහ. දිව්‍යමය ආයුෂය, වර්ණය, සැපය, යසස ඒ කියන්නේ පිරිවර, ආධිපත්‍ය එනම් නිලතල, රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය මේ කරුණු සියල්ලක් අනෙක් දෙවිවරුන්ට වඩා වැඩිපුර ලැබූහ.

දිව්‍ය ලෝකයෙන් චුතව පුණ්‍ය කුසල් සහිතව මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලද පසු සුපතිට්ඨිත පාද නම් වූ මනා පාදය ලැබූහ. මෙම මනා පාදය කවර ආකාර ද? පාදය සමසේ භූමියේ තබන්නා හ. සමසේ ඔසවන්නා හ. සමව පාද තලය ම එකවර භූමිය ස්පර්ශ කරන්නා හ.

අට්ඨ කතාවේ මෙම පාද ලක්ෂණය ගැන මේ ආකාරයෙන් දැක්වේ. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී පාදය පොළවේ තබන විට පොළොව සම වේ. ඇඟිලි තුඩුවලින් හෝ විලුඹෙන් පොළොව ස්පර්ශ වීමක් වන්නේ නැතිව සම්පූර්ණයෙන් ම එකවර ශ්‍රී පතුල ම පොළොව ස්පර්ශ වේ. හරියට ඇතෙක් පාදය තබන්නේ යම් සේ ද එ ලෙස එකවර ම පොළොව මත පතිත වේ. එලෙසම පොළොව ස්පර්ශ කළ ශ්‍රී පතුල මේ ලෝකයේ කිසිවෙකුට සෙලවිය නොහැකි ය. උන්වහන්සේගේ ශ්‍රී පතුල සෙලවීමක්වත් සිදු කිරීමේ ශක්තියක් කිසිවෙකුට නොමැත. උන්වහන්සේ ශ්‍රී පතුල තබන ස්ථානයේ මිනිසුන් සියයක් තරම් ගැඹුරැති වලක් වූයේ නම්, ශ්‍රී පතුල ස්පර්ශවන මොහොතේ ම ඒ ගැඹුරු වල යට සිට උඩට පස්වලින් පිරී සමතලා භූමියක් බවට පත්වන්නේ ය. මේ කාරණය උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම්, බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක්ඛ මූලයේ දී තීර්ථකයන් දමනය කිරීමට යමා මහ පෙළහර පෑහ. ඒ අවස්ථාවේ දී උන්වහන්සේ අතීතයේ බුදුරජාණන් වහන්සේලා යමා මහ පෙළහර පා සිදු කළේ කුමක් දැයි විමසා බැලූහ. ඒ අවස්ථාවේ දී උන්වහන්සේ තව්තිසා දිව්‍යලෝකයට වැඩම කළ බව දුටුවහ.

මේ මනුෂ්‍ය ලෝකයේ ගන්ධබ්බ රුක්ඛ මූලයේ සිට භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කර ඇත්තේ පියවර දෙකකිනි. මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් හතළිස් දෙදහසක් උස යුගන්ධර පර්වතයට පළමු පියවර තබා ඇත. මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් අසූ හතර දාහක් උස මහාමේරු පර්වතයට දෙවන පියවර තබා ඇත. ශ්‍රී පතුල තබන අවස්ථාවේ දී සුපතිට්ඨිත පාද ලක්ෂණය හේතුවෙන් මෙම පර්වත දෙකම පහත් වූ බව සඳහන් ව ඇත.

කණුවක්, කටු අත්තක්, ගල් කැබැල්ලක්, බොරළු කැබැල්ලක්, හිස් කබලක්, මළ මුත්‍රා, කෙළසොටු වැනි යමක් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී පතුල තබන ස්ථානයේ රැඳෙන්නේ නැත. ශ්‍රී පතුල තබන විට ම ඒ සියල්ලක් ම පොළොව තුළට කිඳා බසී. භාග්‍යවතුන් වහන්සේගේ සීල තේජසින්, පුණ්‍ය තේජසින්, ධර්මයේ තේජසින්, පාරමිතාවේ ආනුභාවයෙන් මේ මහා පෘථිවිය සම්පූර්ණයෙන් ම ශ්‍රී පාද පද්මය තබන්නට පුළුවන් ආකාරයට සම භූමියක් බව පත්වේ.

මෙයයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ තිබෙන ලක්ෂණය, පවිත්‍රභාවය. එම ස්භාවය සුපතිට්ඨිත පාද යන පාද ලක්ෂණයෙන් සඳහන් වන්නේ ය.