Print this Article


ඒහි පස්සික 10:  සිත විඩාවට පත්කරන බාහිර අකුසල

සිත විඩාවට පත්කරන බාහිර අකුසල

බාහිර අකුසල වේගයන්ගෙන් සිත ආරක්ෂා කර ගන්නේ කුසල සිතිවිලි වර්ධනය කර ගැනීමෙනි. ප්‍රධාන අකුසල හතරකි. ඒ අකුසල හතරෙන් අප ආරක්ෂා විය යුතු ය. ඒ ප්‍රධාන වශයෙන් පැමිණෙන එම අකුසල අතර එක් කරුණක් තරහව. අනෙක් කරුණ කාමච්ඡන්දය යි.

අප අකුසලයට බර වන විට, තරහ ගතිය ඈත් කරන්නට නම් මෛත්‍රී සිතිවිලි උපදවා ගත යුතුයි. මෛත්‍රී සිතිවිලි පෝෂණය කර ගත යුතුයි. රාගාදී කෙලෙස් ධර්මයන් යටපත් කර ගත යුතුයි. හිත ප්‍රසාදයෙන් පෝෂණය කර ගත යුතුයි. එසේ පෝෂණය කර ගනිමින් සිත අකුසලයෙන් බැහැර කර ගත යුතුයි.

ඉතින් අනතුරුව මේ ගමන්මග ඉදිරියට යෑම සඳහා අප තුළ ශ්‍රද්ධා සිතිවිලි පහළවීමට පටන් ගනියි. ශ්‍රද්ධාව, අප්‍රමාදීබව ඇතිකරගත යුතුයි. ඒ සඳහා බුද්ධානුස්සතිය වර්ධනය කර ගත යුතුයි. කාමච්ඡන්දාදී හැඟීම් වර්ධනය සඳහා මරණානුස්සතිය වර්ධනය කර ගත යුතුයි. එය සතර කමටහන් ලෙස නම්කර ඇති අතර, අපේ සිත ඒකාග්‍රතාවට බාධා කරන, නිවනට බාධා කරන කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා යන පංච නීවරණ ධර්ම යටපත් කිරීමට හැකියාව පවතිනුයේ සතරකමටහන් වැඩීම මගිනි. භාවනාව හෙවත් ඒ සතර කමටහන් නම් මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති සහ බුද්ධානුස්සතියයි. මේ සතර කමටහන් හොඳින් වර්ධනය කරන තැනැත්තාට ඉතා ප්‍රබල මානසික තත්ත්වයක් ඇතිකර ගත හැකි වේ. පංච නීවරණය යටපත් කරගත හැකි වේ. සතර කමටහන් වැඩීම මගින් අපේ සිත ධ්‍යාන මට්ටමක් දක්වා වැඩිදියුණු කර ගත හැකි ය. ඊට හේතුව නම් පංච නීවරණ යටපත් කරගත හැකි තත්ත්වයට සිත පත් කර ගත හැකි හෙයිනි. ඒ කාමච්ඡන්දාදී පංචනීවරණයන් යටපත් කරගෙන, ඒවායෙන් අත මිදී, සිත පිරිසුදු කර ගැනීම සඳහන් කරනුයේ විස්කම්භන ප්‍රහාණය ලෙසිනි. එසේ විස්කම්භන ප්‍රහාණයට පත් වූ තැනැත්තෙකුට යම් කිසි අරමුණක් ඔස්සේ හිතේ ඒකාග්‍රතාව ඉතා හොඳින් වර්ධනය කර ගත හැකිව තිබේ. අප චිත්ත විසුද්ධියෙන් අපේක්ෂා කරනුයේ ද එයම වේ. චිත්ත විසුද්ධියෙන් සිත ඒකාග්‍රතාවයට පත්කර ගතහොත් පංචුපාදනස්ඛන්ධයේ යථා ස්වරූපය දැනගෙන ඒකාග්‍ර සිතකින් පංචුපාදානස්කන්ධයට සිත යොමු කර ගෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ගැලපීම් එකක් පිටුපස එකක් ගමන් කරන්නා වූ සංතති ලෙස හැඳින්වෙන රූප සංතතියට, වේදනා සංතතියට හිත එක දිගටම යොමු කරවා ගෙන වාසය කළහොත් පංචුපාදානස්කන්ධයේ සත්‍ය තත්වය අපට දකින්නට ලැබේ. පංචුපාදනස්කන්ධයේ සත්‍ය තත්වය දැක ගැනීමට නම්, ඉහත සඳහන් කළ අයුරෙන් අපේ සිත ඒකාග්‍රතාවයෙන් යුක්ත විය යුතු ය. මෙය අත්‍යවශ්‍ය කාරණයක් වන අතර මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, සහ බුද්ධානුස්සති යන සතර කමටහන් වඩා අපගේ ජීවිතයට අධ්‍යාත්මික වශයෙන් යම් දියුණුවක් ලබා ගන්නට හැකියාව ලැබේ.

මරණානුස්සතිය වැඩීමෙන් අපට විශේෂ ලාභයක් ලැබෙන බව බුද්ධිමත්ව කල්පනාවට ගත යුතුයි. චතුරාරක්ඛ භාවනාව වශයෙන් ධර්මයෙහි සඳහන් වන්නේ

“බුද්ධානුස්සති මෙත්තාච
අසුභං මරණානුස්සති
ඉති ඉමා චතුරාරක්ඛා
භික්ඛු භාවෙයිය සීලවා”

යනුවෙනි.

අපේ සිතට කෙලෙස් පැමිණීමෙන් වළක්වා ගනු ලබන්නේ චතුරාරක්ඛ භාවනාව මගිනි. ඉතින් සිල්වත් භික්ෂුව විසින් මේවා ආරක්ෂා කරගත යුතුව තිබේ. මරණ සතිය වඩන තැනැත්තාට ඉතා ප්‍රබලව අප්‍රමාදී ගතිය උදාවෙයි. මරණ සතිය වඩන්නෙකුට ථීනමිද්ධය පහසුවෙන් ම දුරුකර ගත හැකි වේ. ජීවිතය අස්ථිර බවත්, මරණය ස්ථිර බවත් මරණසතිය වඩන්නාට ප්‍රකටවීම ඊට හේතුවයි. ඒ සමඟ බොහෝ කෙලෙස් යටපත් වේ. ස්ථිරව යමක් පවත්වා ගැනීමට අමනෝඥ අයුරෙන් ක්‍රියා කරන තැනැත්තන්ට මැරෙනවා කියන කරුණ නිබඳව සිහියට පැමිණෙනවා නම්, බොහෝ වෙලාවට ශාන්ත ගති පැවතුම් කෙරෙහි යොමු වේ. මරණ සතිය වඩන්නාට නිබඳව මරණය සිහියට එන බැවින් ඒ මරණය සිහිපත්වීමත් සමඟ තම ජීවිතයේ ඇතිකර ගෙන තිබෙන ගුණ දහම් ප්‍රමාණයේ යම් අඩුවක් තිබේනම් , ඒ පිළිබඳ විශාල හැඟීමක් ඇති වේ. තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මරණය මෙනෙහි කළවිට අනිත්‍ය, දුක්ඛ ,අනාත්ම යන ලක්ෂණත්‍රය ම මරණය තුළ පවතී. ත්‍රිලක්ෂණ මතුවීමටද මරණ සතිය වැඩීම හේතුවක් වේ. මරණ සතිය පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතු වේ.

රාගාදී කෙලෙස් ධර්ම නිසා සිත බොහෝ විසිරීමට පත්වේ.