Print this Article


උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ

උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ

උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ මහා පිරිස් ඇති භික්ෂූන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ සේක. කස්සප යනු ගෝත්‍ර නාමය යි. උරුවෙල ජනපදයෙහි විසූ හෙයින් උරුවෙල කාශ්‍යප නමින් ප්‍රකට විය. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප නමින් ප්‍රසිද්ධ තුන් බෑයනුත්, ඔවුන්ගේ ශ්‍රාවකයොත් හැම දෙනා ම ජටිලයෝ වෙති.

උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ මෙයින් කල්ප අවුරුදු ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තරනම් බුදුන් වහන්සේ දවස හංසාවතී නුවර කුල ගෙයක ඉපිද තරුණ වියට පැමිණි සමයෙහි දිනක් අපමණ ශ්‍රද්ධාවෙන් යුක්තව බණ ඇසීමට වෙහෙරට ගියේ ය.ඒ අවස්ථාවෙහි දී බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මහ පිරිස් ඇති භික්ෂූන් අතුරෙහි අග්‍රස්ථානයට පත් කරනු දුටු උරුවෙල කාශ්‍යප කුල පුත්‍රයා තමන්ට ද, අනාගතයෙහි බුදු කෙනෙකුගෙන් එබඳු පදවියක් ලබනු කැමතිව සතියක් පුරාවට මෙත් සිතින් යුතුව නේකවිධ පින්දහම් සිදු කර, අනතුරුව ස්වකීය අභිප්‍රාය පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දැන්වී ය. බුදුරජාණන් වහන්සේ අනාගතය දෙස බලා එම ප්‍රාර්ථනාව සඵල වනු බව දැක කුල පුත්‍රය, මෙයින් කල්ප ලක්ෂයකට මත්තෙහි සම්බුද්ධත්වයට පත්වනු ලබන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දී තොපගේ ප්‍රාර්ථනාව සිද්ධවන්නේ යැයි විවරණ දුන් සේක.

ඔහු එතැන් පටන් දානාදී නේක විධ පින්කම් සිදු කර, සසර සැරිසරමින් ඇවිදින කල්හි ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේගේ බාල සහෝදරයා ව උපන්නේ ය. තවත් එබඳු සහෝදරවරුන් දෙදෙනෙකු සමඟ එම බුදුරජාණන් වහන්සේට තෙමසක් උපස්ථාන කළහ. ඉන් අනතුරුව අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට මදකට පෙර එකී සහෝදරවරු තිදෙනා බමුණු කුලයක ඉපිද ජටිල පැවිද්ද ලබා කල් ගත කළහ. උරුවෙල කාශ්‍යප ජටිල තෙමේ ස්වකීය මලණුවන් වන නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන දෙදෙනා සමඟ ජටිල පිරිස් පිරිවරා ගංගා නම් ගඟ අසබඩ ආශ්‍රම තනා වාසය කළහ. එ සමයෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් හැට නම අමතා ධර්ම ප්‍රචාරයෙහි යොදවා බුදුරජාණන් වහන්සේ උරුවෙල කාශ්‍යපගේ ආශ්‍රමයට වැඩම කළහ. අනතුරුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධානුභාවයෙන් නිමාවට ගිය මහත් ගෞරවයෙන් “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම ඔබ වහන්සේගේ ශ්‍රාවක බවට පැමිණෙන්නෙමි. පැවිදි උපසම්පදාව ද ලබනෙමියි” ප්‍රකාශ කළේ ය. ඒ අනුව ඔහුගේ පන්සියයක් ජටිල පිරිස ද, පැවිදිවීමට කැමැත්ත පළ කළහ. එ සමයෙහි ඔවුහු සියලු දෙනා හිස පැළඳි ජටා ගලවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පද්මය අභිමුවෙහි වැඳ වැටුණහ.

බුදුරජාණන් වහන්සේ “මහණෙනි, මෙහි එව්, ධර්මය තෙමේ ස්වාක්ඛාත ය. මනා කොට දුක් කෙළවර කරනු පිණිස බඹසර වස් පුරව්” යයි වදාළ සේක. එකෙණෙහි ම පන්සියයක් දෙනා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි ව සැට වයස් පිරුණු මහ තෙරුන්මෙන් බුදුරජාණන් වහන්සේ අභිමුවෙහි පෙනී සිටියහ. ඉන් ඉක්බිතිව නදී කාශ්‍යප ඇතුළු තුන් සියයක් ජටිල පිරිස ද, ගයා කාශ්‍යප ඇතුළු දෙසීයක් ජටිල පිරිස ද ඒහිභික්ෂු භාවයෙන් පැවිද්ද ලබා නොබෝ කලකින් ගයා ශීර්ෂයෙහි දී ආදිත්තපරියාය සූත්‍රයෙන් බණ අසා සියල්ලෝ ම උතුම් මහරහත් භාවයට පත්වූහ.

බුදුරජාණන් වහන්සේ උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන දහසක් පිරිවර භික්ෂූන් සමඟ බිම්බිසාර මහ රජුට දුන් පොරොන්දුවක් ඉටු කරනු සඳහා රජගහ නුවරට වැඩි කල්හි බිම්බිසාර රජතුමා බොහෝ පිරිස් සමඟ එහි පැමිණ බුදුරජාණන් වහන්සේ හමුවූහ. එකල්හි පිරිස අතර සිටි සමහර දෙනෙක් බුදුරජාණන් වහන්සේ උරුවෙල කාශ්‍යපගේ ශ්‍රාවකයෙක් ද, නැතහොත් උරුවෙල කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ද යනුවෙන් විමතියට පත්වුහ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ අදහස දැන කාශ්‍යපය, ජනයාගේ විමතිය දුරුකරව්’යි කී සේක. එකල්හි උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ හුනස්සෙන් නැගී සිට බුදුන් වැඳ “බුදුරජාණන් වහන්සේ මාගේ ශාස්තෘවරයා ය. මම උන්වහන්සේගේ ශ්‍රාවකයෙක්මි” යි පවසා සත් වතාවක් අහසට පැන නැගී ප්‍රාතිහාර්ය දක්වා නැවත ද බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් නැමද එකත්පසක වැඩ සිටි සේක. එකල්හි මහ පිරිස බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය ගැන සුපැහැදී බුදු ගුණ වර්ණනා කළහ. එකල්හි බුදුරජාණන් වහන්සේ පිරිස අමතා මෙම උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් නොවෙයි. මතු අතීතයේ දී ද මා නිසා මිත්‍යා දෘෂ්ඨිය අත්හැර යහ මගට පිළිපන් බව වදාරා මහා නාරද කාශ්‍යප ජාතකය වදාළ සේක.

කිසි විටෙකත් උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේගේ පිරිස අඩුවක් නොවී ය.එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙම කාරණය අරමුණු කොට ගෙන භික්ෂු සංඝයා මැද එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛූනං මහා පරිසානං යදිදං උරුවෙල කස්සපෝ යනුවෙන් වදාරා මහ පිරිස් ඇති භික්ෂූන් අතුරෙහි මේ උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ අග්‍ර වන්නේ යැයි අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක.