Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 24 : අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

ලෝකයේ ප්‍රථම වරට බුදු පිළිම නිර්මාණය වූයේ පුරාණ භාරත දේශයේ ගන්ධාර හා මථුරා යන පුදබිම ආශ්‍රයෙන් ක්‍රි.ව. 2 සියවසේ දී බව විද්වතුන් පිළිගත් පොදු සම්මතය කි.

ගන්ධාරයේ පුරුෂ පුරයෙහි (පුෂ්පපුර) පිහිටුවන ලද කුෂාන රාජධානියේ කණිෂ්ක රාජ යුගයේ දී ( ක්‍රි.ව. 2 සියවස) මහායාන බුදු සමයේ ප්‍රභාවය සිල්ක් රූට් (Silk Route) සේද මාවතේ බටහිර ඇෆ්ගනිස්ථානයේ බාමියන් නිම්නය හරහා මධ්‍ය ආසියාවට පැතිර ගියේ ය. අසෝක රජතුමාට (ක්‍රි.පූ. 273-232) පසුව බුදුදහම භාරත දේශයෙන් පිටත මහායාන බුද්ධාගම පැතිර ගියේ මෙම අවදියේ දී බව ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයින් පිළිගෙන ඇති කරුණකි.

මෞර්ය රාජ්‍යය ගොඩනැගීමට පෙර වයඹ දිග ඉන්දියාව ක්‍රි.පූ. 327 දී ආක්‍රමණය කළේ මැසිඩෝනියාවේ ප්‍රබල රජ කෙනෙකු වූ මහා ඇලෙක්සැන්ඩර් විසිනි. ඒ නිසා ඉන්දියාව බටහිරට අනාවරණය වූයේ ය. ඉන්පසුව පර්සියන්වරුන්, ඉන්දු ගී‍්‍රකයින් ද ගන්ධාරය පාලනය කළහ. මීට පසු කාලයේ දී එනම් අසෝක රාජ යුගයට පසුව එළඹි ක්‍රි.පූ. 185 දී මෞර්ය බලය පරදා ප්‍රථම පුෂ්‍ය මිත්‍ර ශුංග සිය බලය ලබා ගැනීමෙන් පසුව චීනයේ සිට තවත් ගෝත්‍ර හතරක් ම වයඹ දිග ඉන්දියාව ආක්‍රමණය කළහ. ඔවුන් යූඑච් නමින් හැඳින්වේ. එම යූඑච්වරුන් අතරේ කුෂාණ නමින් යුත් රාජවංශයක් වයඹ දිග ඉන්දියාව නූතන යුගයේ එනම්, පකිස්ථානයේ පුරුෂ පුරය හෙවත් පෙෂ්වාර්ගී හි ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානය පිහිට වූයේ ය.

මුල් කාලීන කුෂාන රාජවංශිකයන්ට පසුව ඉතා ප්‍රබල වූ රජකෙනෙක් කණිෂ්ක නමින් ගන්ධාරයේ රජ වූයේ ය. විදේශීය රටකින් පැමිණි රජකෙනෙකුට ප්‍රථම වරටත් භාරතයේ අධිරාජ්‍යයක් ගොඩ නැගූ කණිෂ්ක රජතුමා බුද්ධාගමේ (මහායාන) ආධාරකරුවෙකු ද වූයේ ය. අසෝක අධිරාජයාට (ක්‍රි.පූ. 273-232) පසුව ක්‍රි.ව. 120 දී පමණ රජවූ කණිෂ්ක රජුට භාරතය පුරා පමණක් නොව විදේශ රටවලට ද මධ්‍ය ආසියාව තෙක් මහායාන බුද්ධාගම පමණක් නොව ඒ ආශි‍්‍රත ගන්ධාර කලාවේ ප්‍රතිභාව ඇතිකිරීමට අවස්ථාව සැලසුණේ ය.

බුදුරජාණන් වහන්සේගේ රූපය ප්‍රථම වරට නිර්මාණය කරන ලද්දේ කණිෂ්ක රජතුමා විසින් නිකුත් කරන ලද රන් කාසියක ය. එහි ‘බුද්ධෝ’ යනුවෙන් ද, අනෙක් පැත්තේ කණිෂ්ක රජුගේ රූපය ද නිර්මාණය කළේ ය. ඒ රජුගේ කාලයේ දී ගන්ධාර කලාව හා මථුරා කලාව බිහි වූයේ ය.

මිහිඳු මහරහතන් වහන්සේ මහා විහාරය සඳහා සැපයූ සැලැස්මෙහි මහාථූපය හා මහාබෝධිය පිහිටුවීමට සුදුසු තැන නියම කරන ලද නමුදු පිළිම ගෙයක් සෑදීම ගැන නියම සඳහනක් නොවී ය. ක්‍රි.පූ. 3 වන සියවසේ දී අසෝක රාජ යුගයේ දී බුදු පිළිම නොතිබුණි. භාරුත් හා සාංචියෙහි පුරාණ මූර්ති කැටයම්වල බුදු පිළිම නෙළා නැත. බුදුපිළිමයක් තිබිය යුතු අවස්ථාවලදී පවා සිරිපා සටහනක්,ධර්මචක්‍රය,සේසත්,වජ්‍රාසනය වැනි සංකේත නිර්මාණය කර ඇත. භාරුත්හි මූර්ති කැටයමක අජාසත්ත රජු බුදු සිරිපා සටහනක් ඉදිරියේ දනගසා සිටිනු දැක්වේ. ‘අජාතසත භගවතො වන්දතෙ” යනුවෙන් බ්‍රාහ්මී අක්ෂර වලින් ද එහි ලියා ඇත.

දඹදිව බුදුපිළිම නිර්මාණයට හා වැඳීමට පටන් ගත්තේ අසෝක රාජ යුගයෙන් පසු බවට සාක්ෂි රැසකි. ඒ අනුව බුදු පිළිම වන්දනාව ඇරඹුණේ ක්‍රි.ව. පළමුවන සියවසේ දී හෝ ඊට පසුව ය.

ඉන්දියානු කලාව පිළිබඳ විමසා බලන විට මෞර්ය, සුංග, සාතවාහන යන යුගයන්ට අයත් බෞද්ධ කලාකරුවාගේ නෛසර්ගික කෞශල්‍යය විදහා පෙන්වයි. මේ යුගයේ දී ම දේශීය කලා සම්ප්‍රදායක් මථුරා බෞද්ධ කලා පුදබිම ඇසුරේ වර්ධනය විය.

කුෂාණ යුගය බුදු සමයෙහි ව්‍යාප්තිය පිළිබඳ ඉතා වැදගත් කාලවකවානුවකි. ථේරවාද බුදුසමය පතුරුවාලීමෙහිලා ධර්මාශෝක රජුගෙන් වූ සේවය යම් පමණකට වැදගත් වේද, මහායාන බුදු සමය පතුරුවාලීමෙහිලා, කණිෂ්ක රජුගේ සේවය ද එපමණට ම වැදගත් වේ. මහායාන බුදුසමය උතුරු ආසියාවේ හා මධ්‍යම ආසියාවේ පතළ වූයේ කණිෂ්ක රජුගේ එම සේවාව නිසා ය. බටහිර ලෝකයේ කලා සම්ප්‍රදායයන් නැගෙනහිර ලෝකයේ ආගමික සම්ප්‍රදායයන් හා සංකලනය කොට සමස්ත මධ්‍ය ආසියාවේ ම ඉතා තදින් බලපෑ බෞද්ධ කලා සම්ප්‍රදායක් ඇතිකිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක කණිෂ්ක රජතුමාගේ ආගමික හා ඒ ආශි‍්‍රත ගන්ධාර කලා සම්ප්‍රදාය බලපෑවේ ය. ඒ අනුව බටහිර හා නැගෙනහිර සම්බන්ධකරලීමේ සේතුව ( පාලම) වූයේ කුෂාන අධිරාජ්‍යයේ මෙම කණිෂ්ක රජතුමා ය.(දඹදිව බෞද්ධ කලාව - ආචාර්ය ආනන්ද ගුරුගේ – පි.49-51 1962) ඇෆ්ගනිස්ථානයෙහි බාමියන්හි විශාල බුදු පිළිම දෙකක් පිහිටි වැලි ගලෙහි නිර්මාණය කර තිබේ. මේවා ක්‍රි.ව. 3 හා 4 වන සියවස්වල දී ගන්ධාර බුදුපිළිම සම්ප්‍රදාය අනුව නිර්මාණය කරන ලදී. වැලිගල් විශාල කුහර තුළ තිබෙන ආකාරයෙන් නෙළා ඇති මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටි ප්‍රදේශය පුරා සැතපුමක පමණ ප්‍රදේශයේ විහාර ආරාම හා වෙනත් බෞද්ධ ගොඩනැගිලි තිබුණි. මේවා පසුකාලීන ගන්ධාර කලාකරුවන් විසින් කරවන ලදී. මෙම බුද්ධ ප්‍රතිමාවහන්සේලා හා එම බාමියන් පුදබිම ක්‍රි.ව. 7 වැනි සියවසේ දී චීන සංචාරක භික්ෂූන් වහන්සේ නමක් වූ හියුංෂාං හිමියන් දුටුබව උන්වහන්සේගේ වාර්තාවල ද සඳහන් කරයි. මෙවැනි මහා පරිමාණ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේ අරමුණ බුදුරජාණන්වහන්සේගේ මහාපුරුෂ ගුණය මූර්තිමත් කිරීම ය.

මෙයින් ගන්ධාර මූර්ති කලාවට බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය සඳහා ආදර්ශයට ගත හැකි වූයේ එවක ගී‍්‍රක – රෝම දෙවිවරුන්ගේ රූපවල ඇඳුම් පැළඳුම් ය. ඒ අනුව ගන්ධාර බුදු පිළිමවල සිවුර ගී‍්‍රක දෙවියෙකු වූ ඇපලෝ දෙවියාගේ ටෝගා නමැති ඇඳුමේ ආකාරයට නිර්මාණය කළේ ය. එමෙන්ම ගී‍්‍රක – සූර්ය දෙවියන්ගේ මූර්තිවල දක්නට ලැබෙන හිසකෙස් සකසා ඇති ආකාරයට ගන්ධාර බුදු පිළිමයේ කේශ ද මූර්තිමත් කර ඇති අන්දම ගන්ධාර බුදු පිළිම පිළිබඳ විමසා බලන විට මනාව පැහැදිලි වේ.

මෙම කුෂාණ රාජධානිය ක්‍රි.ව. 5 වන සියවස තෙක් පැවතුණි.මේ කාලයේදී ඇෆ්ගනිස්ථානයේ බාමින් නිම්නය ඔස්සේ මහායාන බෞද්ධ දර්ශනයට අයත් වූ ඉතා සුවිශාල වූ පුදබිමක් බිහි වූයේ ය.

ඓතිහාසික හා පුරාවිද්‍යාත්මකව මෙතෙක් විද්වතුන් විසින් සිදුකර ඇති අධ්‍යයනයන් අනුව කිසිසේත් ම අවුකන බුදුපිළිමය බාමියන් බුදුපිළිමවල අනුරුවක් නොවේ. ලංකාවේ බුදුපිළිම කලාව පිළිබඳ විමසා බලන විට බාමියන්හි ඇති බුදුපිළිමවල බලපෑම යනු ගන්ධාර බුදුපිළිම සම්ප්‍රදාය යි. එවන් වූ සාක්ෂියක් මෙතෙක් ලංකාවේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කෙරේ දක්නට නැත. එපමණක් ද නොවේ. බාමියන් බුදුපිළිමවල සිවුර ඒකාංශ නිරූපණ ක්‍රමයට නෙළා ඇත. එසේ නෙළා ඇති අවුකන බුදු පිළිම වහන්සේ කෙසේවත් බාමියන් බුදුපිළිම සම්ප්‍රදායට අයත් වන්නේ යැයි පැවසීම ශාස්ත්‍රීය වශයෙන් පිළිගැනීමට නොහැකි බව අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ.

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ

අනුරාධපුර යුගයේ දී අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැනි ඉතා විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම ධාතුසේන රජතුමාගේ අනුග්‍රහයෙන් ආරම්භ වූ බවට සාක්ෂි හමුවී ඇත. ඒ අනුව චෛත්‍යය මහා පරිමාණ වශයෙන් නිර්මාණය අභිබවා බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමට අනුරාධපුර රාජධානි සමයේ අවසාන භාගයේ දී ප්‍රවණතාවයක් ඇතිවී තිබේ. මේ බව අවුකන මෙන්ම මාළිගාවිල, රැස්වෙහෙර සහ බුදුරුවගල ආදී පුදබිම්වල නිර්මාණය කර ඇති සුවිශාල බුද්ධ ප්‍රතිමා වහන්සේලා තුළින් පැහැදිලි වේ.

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ කාල නිර්ණය ගැන විද්වතුන් ගේ විවිධ මත පවතී. මෙය දොළොස්වන සියවසේ දී මහා පරාක්‍රමබාහු රජ විසින් කරවන ලද්දක් බව බරෝස් මහතා විශ්වාස කරයි. වින්සන්ට් ස්මිත් මහතා ද එම නිගමනය පිළිගෙන ඇත. එහෙත් ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා පවසන්නේ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ දොළොස් වන ශත වර්ෂයේ අගභාගයට හෝ දහතුන් වන ශත වර්ෂයේ මුල් භාගයට අයත් වන බව යි. ආචාර්ය සෙනරත් පරණවිතාන පුරාවිද්‍යා කොමසාරිස්වරයා 1949 දී අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ ක්‍රි.ව. පස්වන සියවසේ අගභාගයට අයත් බව ප්‍රකාශ කර තිබිණි.ඊට පසුව 1952 දී හමු වූ ශිලා ලේඛනය ක්‍රි.ව. අටවන සියවසට අයත් බව ඔහු විසින් පිළිගෙන ඇත. මේ ශිලාලිපිය හමුවීමෙන් පසුව ද ඔහු අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ කාලය ක්‍රි.ව. පස්වන සියවසේ අග භාගයේ දී කරන ලද බවට වැඩිදුරටත් ප්‍රකාශ කරයි. එහිදී බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිමය සඳහා සාදන ලද පටිමාඝරය (පිළිමගෙය ) ක්‍රි.ව. අටවන සියවසට අයත් බව ආචාර්ය පරණවිතාන මහතා පිළිගනී.

බරෝස්, ස්මිත් සහ කුමාරස්වාමි යන ලේඛකයන් විසින් දැක්වූමත අවුකන පිළිම ගෙයින් හමුවූ අටවන සියවසට අයත් ශිලා ලිපියෙන් ප්‍රතික්ෂේප වේ. මේ පිළිබඳ විග්‍රහ මහාචාර්ය ටී.ජී.චන්ද්‍රා වික්‍රම ගමගේ මහතා සඳහන් කරන්නේ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේත්, පිළිම ගෙයත් ක්‍රි.ව. අටවන සියවසට අයත් වන බව ය.