Print this Article


බිය සතරක්

බිය සතරක්

පින්වත්නි, අද මා ඔබට පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ දෙවන කොටසේ චතුක්ක නිපාතයේ තුන්වන වර්ගයේ තුන්වන කොටසට අයත් උතුම් දේශනාවක්. ඒ උදක උදකෝරෝහ බය සූත්‍රය. දියට බැසීමේ බය ගැන වදාළ දේශනාව ය.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව දියට බසින පුද්ගලයා බිය හතරකට කැමැති විය යුතු යි. කුමක්ද ඒ බිය?

1. ඌමි බය හෙවත් රළ පහරට ඇතිවන බය

2. කුම්බීල බය හෙවත් කිඹුලන්ගෙන් ඇතිවන බය

3. ආවට්ට බය හෙවත් දිය සුළියෙන් වන බය

4. සුසුකා බය හෙවත් චණ්ඩ මත්ස්‍යයන්ගෙන් වන බය

දියට බසින පුද්ගලයා මෙන්ම ශ්‍රද්ධාවෙන් යුතුව ගිහිගෙයින් නික්ම මේ ධර්ම විනයේ පැවිදි වූ කුල පුත්‍රයෙක් මේ බය හතරටම කැමති විය යුතු බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

ඌමි බය යනු රළ වේගයෙන් ඇති වෙන බය කියල උන්වහන්සේ පෙන්වා දෙනවා. යම්කිසි කුල පුත්‍රයෙක් අනේ මම ජාති, ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්වලින් යුක්ත කෙනෙක්. දුකට පත් වූ කෙනෙක්. දුකින් පීඩනයට පත් වූ කෙනෙක්. මේ මුළු මහත් දුකෙන් අවසානයක් දකින්නට තියෙනවා නම් හොඳයිනේ යනුවෙන් ගිහිගෙය අතහැරල බුදු සසුනේ පැවිදි වෙනවා. එසේ පැවිදි වූ ඒ කුල පුත්‍රයාට සබ්බ්‍රහ්මචාරීන් වහන්සේලා අවවාද අනුශාසනා කරනවා. ඔබ ඉදිරියට යන්න ඕනේ මේ ආකාරයටයි. ආපස්සට එන්න ඕනේ මේ ආකාරයටයි, ඔබ අත් පා හැකිලිය යුත්තේ මේ ආකාරයටයි, ඔබ අත් පා දිග හැරිය යුත්තේ මේ ආකාරයටයි. ඔබ දෙපට සිවුර පාත්‍ර දැරිය යුත්තේ මේ ආකාරයටයි කියලා අවවාද කරනවා. එවිට ඒ කුල පුත්‍රයාට මෙලෙස සිතෙනවා.

මා ගිහි ගෙදර සිටින කාලයේ දී අන්‍යයන්ට අවවාද අනුශාසනා කළා. දැන් අපට උපදෙස් දෙන පිරිස අපේ දරුවන්, මුණුපුරන් වගෙයි. මේ වගේ පිරිස් අපට අවවාද අනුශාසනා කරනවාද හිතලා කෝපයට පත්වෙනවා. සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා මහණෙනි, මේ භික්ෂුව රළ වේග බය ඒ කියන්නේ ඌමි බය නිසා භීතියට පත්වෙලා ශික්ෂාව ප්‍රතික්ෂේප කරල හීන වූ ගිහි බවට පත්වෙනවා. මේ රළ වේග බය කියන්නේ ක්‍රෝධ උපායාසයට කියන තවත් නමක්.

ඊළඟට පින්වත් මහණෙනි, කුම්බීල බය යනු කිඹුලන්ගෙන් වන බයයි. එය උන්වහන්සේ උපමා කරන්නේ මේ ආකාරයටයි. ඇතැම් කුල පුත්‍රයෙක් අහෝ මා ඉපදීම, වයසට යාම, මරණය, ශෝකය, වැළපීම, දුක් දොම්නස්වලින් යුතු කෙනෙක්. දුකට පත් වූ කෙනෙක්. දුකින් මඩනා ලද කෙනෙක්. මේ දුක්ඛස්කන්ධයෙන් ම අවසානයක් දකින්නට ඇත්නම් හොඳයි කියල හිතිල ශ්‍රද්ධාවෙන් යුක්තව ගිහිගෙය අතහැර බුදු සසුනේ පැවිදි වෙනවා. එහිදී ඔහුට සබ්බ්‍රහ්මචාරීන් වහන්සේලා අවවාද අනුශාසනා කරනවා. ඔබ වැළඳිය යුත්තේ මේ ආහාරයයි. ඔබ ආහාර අනුභව කළ යුත්තේ මේ ආකාරයටයි. ඔබ මේ ආකාරයට ආහාර අනුභව නොකළ යුතු යි.

ඔබ රස විඳිය යුත්තේ මෙලෙසයි. ඔබ මෙලෙස රස නොවිඳිය යුතුයි. ඔබ මෙය පානය කළ යුතුයි. ඔබ මෙය පානය නොකළ යුතුයි. ඔබ විසින් කැප වූ දෙය අනුභව කළ යුතුයි. ඔබ විසින් අකැප දෙය අනුභව නොකළ යුතුයි. ඔබ විසින් කැප වූ දෙය රස විඳිය යුතුයි. ඔබ විසින් අකැප වූ දෙය රස නොවිඳිය යුතුයි. ඔබ විසින් කැප වූ දෙය පානය කළ යුතුයි. ඔබ විසින් අකැප වූ දෙය පානය නොකළ යුතුයි. ඔබ විසින් සුදුසු කාලයේ අනුභව කළ යුතුයි. විකාලයේ අනුභව නොකළ යුතුයි. ඔබ විසින් සුදුසු කාලයේ රස විඳිය යුතු යි. විකාලයේ රස නොවිඳිය යුතු යි. ඔබ විසින් සුදුසු කාලයේ පානය කළ යුතුයි. විකාලයේ පානය නොකළ යුතු යි. යනුවෙන් උපදෙස් ලබාදෙනවා.

එවිට ඔහුට මෙලෙස සිතෙනවා. අප මීට පෙර ගිහි ජීවිතය ගත කරද්දී යම් දෙයක් කැමති නම් එය අනුභව කළා. අකැමැති නම් අනුභව නොකර සිටියා. යම් දෙයක් කැමති නම් එහි රස වින්දා අකැමැති නම් එහි රස වින්දේ නැහැ. යම් දෙයක් කැමැති නම් එය පානය කළා. අකැමැති නම් පානය කළේ නැහැ. කැප දෙයත් අනුභව කළා. අකැප දෙයත් අනුභව කළා. කැප දෙයත් රස වින්දා. අකැප දෙයත් රස වින්දා. කැප දෙයත් පානය කළා. අකැප දෙයත් පානය කළා. කාලයේත් අනුභව කළා. විකාලයේත් අනුභව කළා. කාලයේත් රස වින්දා. විකාලයේත් රස වින්දා. කාලයේත් පානය කළා. විකාලයේත් පානය කළා. ඒ ශ්‍රද්ධාවන්ත ගෘහපතීන් අපට දවල් කාලයේත් දවල් විකාලයේත් ප්‍රණීත වූ කාද්‍ය භෝජ්‍යාදි වූ දේ දෙනවා. නමුත් මෙහිදී මේ පිරිස අපට මුකවාඩම් බැන්ද පරිද්දෙන් කටයුතු කරනවා. මෙසේ සිතා ඔහු කෝපයට පත්ව ශික්ෂාව ප්‍රතික්ෂේප කර නැවතත් හීන වූ ගිහි බවට පත්වෙනවා.

පින්වත් මහණෙනි, එක් කණ්ඩායමක් කිඹුලන්ගෙන් වන බයෙන් භිතියට පත්වෙලා ශික්ෂාව ප්‍රතික්ෂේප කර හීන වූ ගිහි බවට පත්වෙන්නේ මෙලෙසයි. කිඹුලන්ගෙන් වන බය යනු බොහෝ සෙයින් කෑම කන බඩජාරිකමට කියන තවත් නමකි.

ඉතිරි කොටස බක් අවඅටවක පෝදා (අප්‍රේල් 26 වැනිදා) පත්‍රයේ පළවේ.

- අයන්ති විතාන