නිවන්නට භව ගිමන්
සිඳීනු මැන පස් මරුන්
බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී,
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද,
අභිධර්මය
පිළිබඳ කථිකාචාර්ය,
ශාස්ත්‍රපති,
රාජකීය පණ්ඩිත,
බලංගොඩ රාධ හිමි
රූපෙ ඛො රාධ සති මාරො වා අස්ස මාරෙතා වා සො වා පන මීයති. තස්මා තිහත්වං රාධ රූපං
මාරොති පස්ස, මාරෙතාති පස්ස, මීයතීති පස්ස, රොගොති පස්ස, ගණ්ඩොති පස්ස, සල්ලන්ති
පස්ස, අඝන්ති පස්ස, අඝභූතන්ති. (මාර සූත්‍රය - රාධ සංයුක්තය - සංයුක්ත නිකාය)
රාධය, රූපය ඇති කල්හි මරු (මරණය) හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, ඒ
හෙයින් මෙහිලා තෙපි රූපය මරු යයි දකිවු, මැරිය යුත්තා යයි දකිවු, මැරෙන්නා යයි
දකිවු, රෝගය යි දකිවු, ගඩ යයි දකිවු, හුල යයි දකිවු, ව්‍යසනයයි දකිවු, ව්‍යසනයට
පැමිණියෙකැයි දකිවු.
ලෝකවිදූ යනු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හඳුන්වනු ලබන ගුණ නාමයකි. සත්ව ලෝකය,
සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යන සියල්ලම අවබෝධ කළ උතුමා යන්න එහි තේරුමයි. සත්ව ලෝකය
තුළ මසැසින් දැකිය නොහැකි විවිධ සත්වයන් ඇති බව වදාළ බුදුරජාණන් වහන්සේ ඔවුන් දක්නා
නුවණ උපදවා ගැනීම පිණිස ද මාර්ගය පෙන්වා වදාළහ. එම මග පෙන්වීම දිවිහිමියෙන් අනුගමනය
කළ බොහෝ අය බුදුරදුන් විසින් දක්නා ලද දෙවි බඹුන් සහිත ලෝකය එලෙසින් ම අවබෝධ කළහ.
සිව් පිළිසිඹියා ලාභී රහතන් වහන්සේලා යනු ඒ අය අතර අගතැන් පත් විරුවෝ ය.
විශුද්ධි දේව නමින් හඳුන්වන බුදු පසේබුදු මහා රහතන් වහන්සේලා ඒ උතුම් පදවි
ප්‍රාප්තිය උදෙසා අනාධිමත් සසරක පටන් කාමයන්ගෙන් වෙන්ව කෙලෙස් කුණු ධෝවනය කරමින්
සිත පිරිසුදු කළහ. එහෙත් චිත්ත පාරිශුද්ධිය වෙනුවෙන් පිළිවෙත් පුරණ උතුමන් විසින්
දුරු කළ යුත්තේ කෙලෙස් ධර්ම පමණක්ම නොවේ. මාර පාක්ෂික බලපෑම ද අභිභවනය කළ යුතු බව
බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල පෙන්වා වදාළහ. මෙකල වෙසෙන බොහෝ බෞද්ධයන් “මාර”
යනු හුදු සංකල්පයක් ලෙස අර්ථ දක්වනු ලැබේ. ඔවුහු තථාගත ධර්මය හරි හැටි නොදන්නාකම
නිසා එසේ ප්‍රකාශ කරති. නමුත් ධර්මානු ධර්ම පිළිවෙත් පුරමින්, මාර්ග ඵල ප්‍රතිවේදය
උදෙසා වෙර වඩන්නට එම ප්‍රතිපදාව අඩාල කරනු පිණිස මෙන්ම, මුළුමනින්ම ඉන් ඉවත් කරනු
පිණිස නොයෙක් අයුරින් බලපෑම් කරන “පාපිමා” නමින් හඳුන්වන දෙවියෙක් සහ ඔහුගේ
පිරිවරක් ද ඇති බව තථාගත ධර්මයේ මනාව සනිටුහන් වී තිබේ.
ක්ලේශ - අභිසංස්කාර - ස්කන්ධ - මච්චු - දේවපුත්‍ර යන පඤ්චවිධ මාරයන් ගැන ශ්‍රී
සද්ධර්මය තුළ සවිස්තරව කරුණු දැක්වේ. ඒ පිළිබඳ මනා අවබෝධයකින් පසුවීම දුර්ලභ බුදු
සසුනකින් පමණක් ලැබිය හැකි අමත මහා ශාන්තිය ලැබීමට මහෝපකාර වේ.
ක්ලේශ මාර නමින් හඳුන්වන්නේ නිවන් මග අවුරාලන ලෝභ දෝස මෝහ ආදී අකුසල ධර්මයෝ ය. ඒවා
පුද්ගල සන්තානයක හටගනිමින් සියලු යහපත වනසා දමා මෙලොව පරලොව උභයාර්ථය සමග
ධර්මාවබෝධය ද වළක්වයි. ලෝභ ද්වේශ පරවශ වූ පුද්ගලයෙකුට කළ නොහැකි පාපයක් නොමැත. ඒ
නිසා සියලු ක්ලේශයන් මාරයෙක් ලෙස වදාරා තිබේ.
අභිසංස්ඛාර මාර යනු කුසල - අකුසල චේතනාව ය. චේතනාව කර්මය වන බව වදාරණ භාග්‍යවතුන්
වහන්සේ අකුසල චේතනාව නැවත නැවත වැඩීම මගින් සතර අපා දොර විවර වන අයුරු පෙන්වා
වදාළහ. මගඵල ප්‍රතිවේදයට තුඩු දෙන අයුරින් පුරුදු කරන කුසල චේතනාව හැර සෙසු කුසල
චේතනා සසර ගමන තුළ සුගති සැප ලබාදෙන මුත්, වට්ට දුක්ඛයෙන් මිදීමට හේතු නොවේ. එනම්
කුසලමය වශයෙන් හා අකුසලමය වශයෙන් සසරට හේතුවන චේතනාව නැවත නැවත ජාති ජරා මරණ උපදවන
හෙයින් මාරයෙකි.
ස්කන්ධ මාර වශයෙන් දේශනා කරනු ලබන්නේ රූප - වේදනා - සංඥා - සංස්ඛාර - විඤ්ඤාණ යන
පඤ්ච ස්කන්ධයයි. සංයුක්ත නිකායේ රාධ සංයුක්තයේ ඒ බව සඳහන් වේ. එය උපාදාන සහිතව හෝ
රහිතව පරිහරණය කරන්නට සිදුවීම මහත්ම දුකක් බව නොකිව මනා ය. ජාති ආදී සකලවිධ දුක්ඛ
ධර්මයන් පඤ්චස්ඛන්ධය හා බැඳී පවතින බැවින් ස්කන්ධ මාරයෙක් ලෙස සියලුම සත්වයන්ට දුක්
පීඩා ඇති කරයි.
සියලු සත්වයන්ගේ ජීවිත අවසානය හෙවත් මරණය “මච්චු” මාර නම් වේ. ජාතිය යම් තැනක ද
මරණය ද ඒ සමඟ අනුයාත ය. එබැවින් විරාගී උතුමන්ට හැර සෙස්සන්ට සිතීම පවා බිය ගෙන දෙන
මරණය සන්තාපකර වූවකි. එබැවින් මච්චු මාර යනු ඔබට මට නුදුරු මොහොතේ උරුමවන මිනිස්
ජීවිතයේ අවසානය බව සිහිකළ මනා ය.
දේවපුත්ත මාරයා පිළිබඳව ද ඔහුගේ පිරිස සහ ක්‍රියාකාරකම් ගැන ගිහි පැවිදි සියලු
දෙනාගේ ම අවධානය යොමුවිය යුතු ය. “මාරොති වසවත්ති භූමියං අඤ්ඤතරො දාමරිකදෙවපුත්තො”
- මාරයා යනු පරනිම්මිත වසවත්ති දෙව්ලොව එක්තරා දාමරික දෙවියෙකි. තණ්හා, අධිපති,
අනතඥ (මරණයට පමුණුවන්නා), නමුචී (අකුසල් නොහරින්නා), පමත්ත බන්ධු (ප්‍රමාද වූවන් හට
ඤාතියා) යන නම් වලින් හඳුන්වා ඇත්තේ දේව පුත්‍ර මාරයා ය. පිරිවර සහිතව ඔහුගේ බලපෑම
නිසා මුලාවට පත්වී කෙලෙසුන්ගේ වසඟයට ගොස් අපායට යන්නෝ පමණ කළ නොහැකි වෙති.
දාන සීල භාවනා ආදී පින් රැස් කරමින් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්ෂා පුරවමින්
නිවන් පිණිස වැර වෑයම් කරන ගිහි පැවිදි දෙපිරිසටම බලපෑම් කරනු ලබන පාපී මාරයා සහ
ඔහුගේ පිරිස ඒ සඳහා අනුගමනය කරන ක්‍රමෝපාය බුදු නුවණින් ම අවබෝධ කළ යුත්තකි.
කදිරංගාර ජාතකයේ දී පසේ බුදුන්ට දන් පුදන අප මහා බෝසතුන්ගේ දාන පාරමිතාව වළකනු
පිණිස කිහිරි අඟුරු වලක් මැවීම මෙහිලා භවාන්තර ගත උදාහරණයකි. “මෙසේ ගිනි අඟුරු වලක්
මැවූ ඔබ කවරෙක්දැ”යි ඇසූ විට “මම මාරයා වෙමි”යි ප්‍රකාශ කළේ ය. “ඔබ වැනි දහසකටවත්
මාගේ මේ දාන පාරමිතාව වැළැක්විය නොහැක”යැයි වදාළ ගිනි අඟුරු වල සිසිල් කරමින් මැවී
ගියේ නෙලුම් මලකි. ඒ මත සිරිපා පිහිටුවා දන් පුදමින් මාර බලය විධමනය කළහ.
කාමාවචර භූමියෙහි ඉහළම ස්ථානය වන පරනිම්මිත වසවත්තී දෙව්ලොව අධිපති භාවය හොබවමින්
දෙවි මිනිසුන්ට මෙන්ම රූපාවචර ප්‍රථම ධ්‍යාන බඹ තලයෙහි බ්‍රහ්මයන්ටද බලපෑම් කිරීමේ
හැකියාවක් මාරයාට ඇත. ඒ ශක්තිය ලබාගැනීම පිණිස මාරයා විසින් පූර්ව භවයන්හි බොහෝ
කාමාවචර දාන සීලාදී පින්කම් සිදුකරන ලදී. එහෙත් ඔහු දෙවි මිනිසුන් තම වසඟයේ සිටිය
යුතු පිරිසක් ලෙස කල්පනා කරයි. අකුසලයෙන් නැහැවී ගිය සත්වයන් දකින පාපී මාරයා සතුටු
වන අතර සුගතිගාමී කුසලයන් සිදු කරන උදවියට ද බාධා පමුණුවයි. විශේෂයෙන් ඔහුගේ බලපෑම
එල්ල වන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පිළිවෙත් පුරන පින්වතුන් වෙතයි.
සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ විසි නව හැවිරිදි වියේ දී ගිහි ජීවිතයෙන් නික්ම යාමට
සූදානම් වූ මොහොතේ පාපී මාරයා අහසේ පෙනී සිටියේය. පෙනී සිටිමින් මේ පහත අදහස
ප්‍රකාශ කළේ ය.
“මා නික්ඛම මහා වීර ඉතො තෙ සත්තමේ දිනේ දිබ්බන්තු චක්ක රතනං අද්ධා පාතු භවිස්සති.”
- මහා වීරයන් වහන්ස, ගිහි ගෙදර හැර දා නොයන්න. තව දින සතක් ගිය පසු ඔබට චක්‍රවර්තී
රජකම හිමි වේ.”
එහෙත් ඉන්ද්‍රඛීලයක් සදිසි අකම්ප්‍ය චිත්ත බලයක් හිමි මහා බෝසතාණන් වහන්සේ එම
අපරාජිත ගමන වැඩම කළහ. පාපී මාරයා ද පදානුපදිකව බෝසතුන් පසු පස ගමන්ගත් අතර බුද්ධ
රාජ්‍යට පත්වූ දිනයේ දස බිම්බරක් මාර සෙනග සමඟ වජ්‍රාසන භූමියට දිව ගියේ, නව මහා
වැස්සක් මවා බෝසතුන් පලවා හැරීමට කළහැකි සෑම ක්‍රියාවක් ම කළෝ ය. එහෙත් බුද්ධ
භූමියට පත්වීම වැළැක්විය නොහැකි විය. බුදු බව ලැබූ පසු ද පුරා වර්ෂයක් තථාගතයන්
පසුපසින් ගමන් ගත්තේ අවකාශයක් ලැබුණ පසු තම වසගයට ගනිමියි යන අදහසිනි. අනතුරුව
තථාගතයන් වහන්සේගේ පිරිපුන් සිහි නුවණ ගැන පහත ප්‍රකාශ කොට අඩුපාඩු සෙවීම නතර කළේ
ය.
සත්ත වස්සානි භගවන්තං
අනුබන්ධිං පදා පදං
ඔතාරං නාධිගච්ඡිස්ස
සම්බුද්ධස්ස සතීමතො
“මම පුරා සත් වසක් භාග්‍යවතුන් වහන්සේ පිටුපසින් ගියෙමි. එහෙත් සිහි ඇති
බුදුරදුන්ගේ කිසිදු දෝසයක් නුදුටුවෙමි” ඉන් පසුද නොයෙක් අවස්ථාවන් හි මාර දෙවි පුතු
බුදුරදුන් වෙත මෙන්ම රහතන් වහන්සේලා වෙත පැමිණ බාධා පැමිණවීමට උත්සාහ දරා ඇත. වරෙක
මුගලන් මහා රහතන් වහන්සේගේ කුසට ඇතුළු වී බඩවැලක් හිර කර වේදනාවක් ඇති කළේ ය. සෝමා
රහත් තෙරණිය වෙත අවුත්, ගැහැනුන් හට අර්හත්වයක් නැතැයි කීවේ ය. එහෙත් ඒ සියලු
අවස්ථාවන්හි දී අරිහත් බල මහිමය ඉදිරියේ ඔහු පලා ගියේය. තණ්හා - රති - රඟා යනු පාපී
මාරයාගේ දූවරුන් ය. ඔවුන් වරෙක තථාගතයන් වහන්සේ වෙත අවුත් නොයෙක් නර්තන දක්වා අවසන
වෙහෙසට පත්ව තම පියා වෙත ගියහ. අනතුරුව පාපී මාරයා ප්‍රකාශ කළේ “මෝඩ ගැහැනුනි,
නුඹලා යකඩයක් දත් වලින් සැපීමට වෙර දරම්ද? පර්වතයක් නියපොත්තෙන් සෑරීමට සිතනවාද?”
යනුවෙනි.
පව් කරන්නන්ට පාපී මාරයාගෙන් හා පිරිසගෙන් කිසිදු බාධාවක් නොවන අතර ඊට අනුග්‍රහ
දැක්වීම ද සිදුකරනු ලබති. වරෙක මිගලණ්ඩික නම් ශ්‍රමණ වේශධාරියා භික්ෂු පිරිසකගේ හිස
සිඳ කඩුව සේදීමට ගොස් තමා අතින් පාපයක් සිදුවී ඇතැයි පසුතැවුනි. ඒ මොහොතේ ජල තලය
මතින් ඇවිද ආ මාර පාක්ෂික දෙවියෙක් ප්‍රකාශ කළේ ජීවිතය එපාවූ යම් ශ්‍රමණයකුගේ ගෙල
සින්දේ නම් එය නුඹට පිනක් වන අතර තව දුරටත් එලෙසින්ම පිළිපදින්න යනුවෙනි.
සංයුක්ත නිකායේ මාර සංයුක්තයට අනුව පාපී මාරයාගේ හැසිරීම අවබෝධ කරගත හැකි ය. එක්
දිනක් දෙව්රම් විහාරයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ නිර්වාණ ප්‍රතිසංයුක්ත
ධර්මානුශාසනයකින් භික්ෂූන් වෙත කරුණු දැක්වූහ. මොහොතකින් ධර්මාවබෝධය ලබන බව දුටු
මාරයා ගොවියෙකුගේ වෙසක් මවා අවුත් මාගේ ගවයන් දුටුවේදැයි ඇසුවේ ය. එවිට තථාගතයන්
වහන්සේ මාරය, නුඹට ගවයන්ගෙන් කිමදැයි ඇසූ විට ඔහු පළා ගියේය. තථාගතයන් වහන්සේ
බුද්ධත්වයට පත්වූ දිනයේ පටන්ම අවස්ථා ගණනාවකම පිරිනිවන්පානා ලෙස ආරාධනා කළේ මේ පාපී
මාරයා ම ය. ලෝ සතුන්ට බුදුබණ අසන්නට ලැබීම ඔහුට මහත් හිසරදයක් බව එමගින් මනාව
පැහැදිලි වේ.
මෙකල ද මාර බලය මිනිස් ලොව පුරා පැතිර පවතී. භික්ෂූන්ගේ සිල් ගුණ පිරිහෙළීම මේ අතර
ප්‍රධාන වේ. ලාභ සත්කාර එළවමින් කෙලෙස් උපදවා එමගින් පැවිදි රසය අතුරුදන් කරවන පාපී
මාරයා අනතුරුව නොයෙක් පව්කම් වලට භික්ෂූන් යොමු කරයි. ගිහි ඇත්තන් සම්බන්ධයෙන් ද
කිව යුත්තේ එය ම ය. අධිෂ්ඨානයෙන් යුතුව තිසරණයෙහි පිහිටා දිවි හිමියෙන් සිල්
රකිමින් තථාගත ධර්මය නිවැරැදිවම අසා දරා පිළිපදින්නෙකුට හැර මේ මාර බලවේගයෙන් මිදිය
නොහැක. මර්ධනයට අපහසු බලයන් අතර මාර බලය තරම් වූවක් බුදු ඇසට ද නොපෙනෙන බව තථාගතයන්
වහන්සේ විසින් වදාරන ලදී. එහෙත් සතිපට්ඨානය වැඩීම මගින් ඒ සියලු මාර බලයන් මුලසුන්
කළ හැකි බව ද පෙන්වා වදාළහ.
ලෝකවිදූ ගුණයෙන් යුතු බුදුරදුන් විසින් පෙන්වා වදාළ ක්ලේශාදී මාරයන් ද, දේවපුත්ත
මාරයා සහ මාර පිරිසගේ ස්වභාවය දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුත්තකි. එහෙත් ආර්ය අෂ්ටාංගික
මාර්ගයේ ගමන් කරන සියල්ලන්ම පාහේ අඩු වැඩි වශයෙන් මාරයාගේ පහර කෑමට ලක්වීම
බලාපොරොත්තු විය යුතු ය. සති සමාධි ප්‍රඥා යන ගුණ මුවහත් කර ගත් තරමට පඤ්ච මාර බලය
දුරු කිරීම පහසු වන බව සිහි තබා ධර්මානුධර්ම පිළිවෙත දිවි හිමියෙන් අනුගමනය කොට
උතුම් ධර්මාවබෝධය ලබන්නට සියලු දෙනාටම වාසනාව ලැබේවා. |