Print this Article


පමාවට සමාවක් නැත

පමාවට සමාවක් නැත

" අලුත් අවුරුද්දක් පටන් ගන්නා අවස්ථාවක ඒ අවුරුද්ද පුරා කරනු ලබන වැදගත් කාර්යයන් මුලදී ම සැලසුම් කර ගැනීම ඉතා වැදගත්. ඒ හා සම්බන්ධව මාසිකව, සතිපතා, දිනපතා කළයුතු දේ කුමක්දැයි සැලසුම් සකස් කරගත යුතු යි."

සැවැත්නුවර ජේතවනාරාමය ආසන්නයේ සිටි යහළුවෝ තිස් දෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදී බණ අහන්න ජේතවනාරාමයට ගියා. දහම් අසද්දී මේ අයට හිතුණ, ඉක්මණින් ම මේ සසර දුකින් නිදහස්වෙන්න මහණ වුණොත් හොඳයි කියලා. ධර්ම දේශනාවෙන් පස්සේ බුදුරදුන් ළඟට ගිහිල්ලා වැඳලා අපට පැවිදිවීමට අවශ්‍යයි කියා ඉල්ලා සිටියා.

ඒ අනුව මේ තිස්දෙනාට ම පැවිද්දත්, උපසම්පදාවත් ලැබුණා. මුන්වහන්සේලා භාවනාවට අවශ්‍ය කර්මස්ථාන ලබාගෙන භාවනා කිරීම සඳහා ඈත ගමකට වැඩම කළා. මේ භික්ෂූන් තිස්නම අතර කුටුම්බියපුත්ත තිස්ස නමැති භික්ෂුවක් සිටියා. උන්වහන්සේ හරිම කම්මැලි යි. කුසීත යි. රසවත් කෑමට ගිජු යි. භාවනා කරන්නට කැලේට ගියොත් හරියට කෑමත් නො ලැබේ යැයි සිතා කුටුම්බියපුත්ත තිස්ස භික්ෂුව සැවැත්නුවර ම නතර වුණා. අනිත් හාමුදුරුවරු විසිනව දෙනා කෙසොල් රටට ගොස් එහි ගමක වස් වසා, වස් කාලය තුළ ම විදර්ශනා වඩා රහත් ඵලයට පත් වුණා. වස් කාලය අවසන් වුණාට පසු ඒ භික්ෂූන් විසිනව දෙනා තමන් රහත් වූ බව දන්වන්නටත්, බුදුරදුන් හමුවීමටත් සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළා. බුදුරදුහු ඒ භික්ෂූන්ට වීර්යවන්තව කටයුතු කරමින් සියලු කෙලෙස් ප්‍රහීන කර රහත් ඵලයට පත්වීම ගැන සතුට ප්‍රකාශ කළා.

මෙය ඇසූ කුටුම්බියපුත්ත තිස්ස හිමි තමා කුසීතව, කම්මැලි ව සිටීම නිසා විමුක්තිය ලබන්නට අවස්ථාව නො ලැබුණු බව සිතා වීර්යවන්ත නො නිදා භාවනා කරන්නට පටන් ගත්තා. නින්දක් නැතිව සක්මන් භාවනාවේ යෙදී සිටින විට බිමවැටීමෙන් මේ භික්ෂුවගේ උකුළු ඇටය කැඩුණා. පසුදා උදෑසන කුටුම්බියපුත්ත තිස්ස තෙරුන් දුටු බුදුහාමුදුරුවෝ, ඇයි ඔබ වහන්සේ කොසොල් රටට යන්න අවසර ගත්තා නේද? ඇයි එහි නො ගියේ? කියා ඇසුවා. එහිදී අනෙකුත් භික්ෂූහු, කොසොල් රටට යන්න කුටුම්බියපුත්ත තෙරුන් සූදානමින් සිටියත්, ඊයේ රාත්‍රී නිදිවරා භාවනා කරන්නට ගොස් බිම ඇද වැටී උකුල් ඇටය කැඩුණු බවත්, ඒ නිසා ම කොසොල් රටට නො වැඩිය බවත් බුදුරදුන්ට දන්වා සිටියා. ‘අද පමණක් නොව ඉස්සරත් මේ කුටුම්බියපුත්ත තිස්ස භික්ෂුව මුලින් කම්මැලිව කුසීතව සිට පසුව ඉක්මණින් කටයුතු කරන්නට ගොස් අන්අයගේ ගමන් බිමන්වලට බාධා ඇති කළා’ යැයි බුදුරදුහු මෙසේ පෙන්වා දුන්නා.

පෙර මහ බෝසතාණන් වහන්සේ එක් ආත්මයක දිසාපාමොක් ඇදුරුව සිට පන්සීයයක් මානවකයින්ට ඉගැන්වීම් කටයුතු සිදුකළා. එක දවසක් මේ මානවක පිරිස දර ගෙනඒමට කැලයට ගියා. මේ පිරිස අතර සිටි කුසීත, කම්මැළි මානවකයෙක් විශාල ලුණුවරණ ගසක් දැක මේ ගසේ දර හොඳයි කියා සිතා දරගෙන ඒමට කැලය තුළට නො ගොස් ඔහු මේ ලුණුවරණ ගහමුල නිදා ගත්තා. අනිත් අය කැලේ පුරා ඇවිද දර සොයාගෙන එන විටත් මේ කම්මැළියා අර ගහමුල නිදි. ළඟට ඇවිදින් කතාකර ඔහු නැගිට්ටෙව්වා. ඉක්මණින් ම නැගිටගත් මේ මානවකයා අර ලුණුවරණ ගහේ අතු ටිකක් කඩාගෙන ගොස් අනිත් මානවකයින් ගෙනත් දමා තිබූ දරගොඩ උඩට දැම්මා. මහබෝසතුන් උදෑසනම ගමනක් යන්නට ඇති නිසා පාන්දරින් ම නැගිට කැඳ සූදානම් කරන ලෙස කලින් දින දක්වා තිබුණා. අර දරගොඩේ උඩින්ම තිබුණේ ලුණුවරණ දර. ඒවායින් ගිනි පත්තු කරගන්න කාටවත් පුළුවන් වුණේ නැහැ. මේ නිසා ම වෙලාවට කැඳ හදාගන්න පුළුවන් වුණේ නැහැ. ඒ අනුව බෝසතාණන්ට එදා නියමිත ගමන යන්න බැරිවුණා.

මේ කතා පුවත අපට වැදගත් පාඩමක් කියාදෙනවා. අපේ සමාජයේ බොහෝ දෙනා නිසි වෙලාවට වැඩ කරන්නේ නැහැ. බොහෝ විට පසුවට කල් තබනවා. අලසව, කම්මැළිව, පස්සෙ කරන්න පුළුවන් කියා වැඩකල් දැමීම අප අතර සාමාන්‍ය පුරුද්දක් බවට පත් ව තිබෙනවා.

ඉගෙනීමෙහි නියුක්ත ළමා ලෝකය දෙස බලනවිට ඉහත සිදුවීම් ඉතා වැදගත්. අදට නියමිත පාඩම්, පැවැරුම්, අභ්‍යාස ගෙදර දී කළයුතු වැඩ සියල්ලම එදිනෙදා අවසන් කිරීම හොඳ ප්‍රතිඵල පෙන්නුම් කිරීමට අත්‍යවශ්‍යම සාධකයක් වෙනවා. සමහර අය විභාගයට ඔන්න මෙන්න කියා පාඩම් කරන්න සූදානම් වෙනවා. එවැනි අයගේ ප්‍රතිඵල බොහෝ විට අසතුටුදායක විය හැකියි.

ගෙදර දොර, කාර්යාල, වතුපිටි, ව්‍යාපාර මේ ආදී වශයෙන් ඔබ කළයුතු කාර්යයන් එදිනෙදාම ප්‍රමාද නොවී ඉටු කරන්නේ නම් එය නිවැරැදි ගමනකට, නිවැරදි දැක්මකට, ඉලක්කට යන ඵලදායි ගමනකට මහත් ශක්තියක් වන බව අමුතුවෙන් කිවයුතු නෑ.

අලුත් අවුරුද්දක් පටන් ගන්නා අවස්ථාවක ඒ අවුරුද්ද පුරා කරනු ලබන වැදගත් කාර්යයන් මුලදී ම සැලසුම් කර ගැනීම ඉතා වැදගත්. ඒ හා සම්බන්ධව මාසිකව, සතිපතා, දිනපතා කළයුතු දේ කුමක්දැයි සැලසුම් සකස් කරගත යුතු යි. මීට අමතර ව එදිනෙදා කළයුතු අමතර කාර්යයන් ද සිතා මතා නිවැරැදිව සකස්කර එදිනෙදා ම එහි ප්‍රගතිය දකින්නට උත්සාහ කරන්න. අුද්ගලයෙක් ගත්තත්, ව්‍යාපාරයක් ගත්තත්, රටක් ගත්තත් දියුණුවේ මූලික පදනම මේ සැලසුම් සහගත ක්‍රියාවලිය යි.

දවස වැඩදායී අයුරින් සැලසුම් කරගන්නා සේ ම ජීවිතය ද තමන්ටත්, අනුන්ටත්, සමාජයටත් ප්‍රයෝජනවත් අයුරින් සකස් කරගන්නා ආකාරය ගැන ද සිතන්න.

කම්මාරාමතා, භස්සාරාමතා, ගණසංඝනිකා රාමතා නිද්දාරාමතා යන මේ වචන හතර තුළින් භික්ෂු ජීවිතයට මෙන්ම, ගිහි ජීවිතයටද වටිනා උපදෙස් කිහිපයක් ලබා දෙයි. ‘කම්මාරාමතා’ යනු නොයෙක් කාර්යයන්හි නියුක්තවීමයි. සරලව කියනවානම් වැඩ වැඩිකර ගැනීම යි.

වැඩ වැඩිවන විට ඒවායේ පිළිවෙළක් නැත. නිවැරැදි බවක් නැත. බොහෝ විට ඒ වැඩ අසාර්ථක ය. සමහර අය ඉක්මණින් ධනවත්වන්නට සිතා බොහෝ ව්‍යාපාර අරඹති. එකකට එකක් සම්බන්ධ නැති වැඩ පටලවා ගනිති. ලාභ ලබමියි සිතා පාඩු විඳිති. අවසානයේ සියල්ල අවුල් ජාලයක් වී අසාර්ථක කර ගනිති. වැඩක් අරඹා අවසන්වනතුරු ඒ පිළිබඳව සොයා බැලීම, අඩුපාඩු සැකසීම, කාලය කැපකිරීම, මහන්සිවීම අත්‍යවශ්‍ය ය. අවුල් වූ මනසකින් එවැනි වගකීමක් දැරිය නො හැකි ය. සිත සැහැල්ලුවන්නට විවේකය ද අවශ්‍ය ය. පලතුරු ගොඩක් දැක ආසාවෙන් ඒ සියල්ල දෑතට ගන්නට කළ උත්සාහයක් සිහිපත් කරන්න. සමබර බව ගිලිහී සියල්ල බිම විසිරී ගිය සැටි ඔබගේ මතකයට නැගෙනු ඇත. දෝතට ගතයුතු වන්නේ ඊට හසුවන ප්‍රමාණයට මිස වැඩිවන තරමට නොවේ.

‘භස්සාරාමතා’ යනු නිතර කථාවේ ඇලීම යි. වැඩි කතාව කාලය කා දැමීමකි. ‘මිතභාණී’ යනු ප්‍රමාණවත් කතාවයි. තමන්ටත් අනුන්ටත් වැඩ ඇති, යහපත් ඵලදායී දේ පමණක් කතා කළ යුතුව ඇත. අනවශ්‍ය දෙතිස් කතාවෙන් කල් ගෙවීම වටිනා කාලය විනාශ කර දැමීමකි. තමන්ගේ නියමිත කාර්යයන්ට බාධාවකි. එක් අවස්ථාවක මාධ්‍යවේදියෙක් ජපන් ජාතිකයෙකුගෙන් “ඔබගේ රට මෙතරම් ඉක්මනින් දියුණුවූයේ කෙසේදැයි” ප්‍රශ්න කළ විට ඔහු දුන් පිළිතුර වූයේ කරුණු තුනකි. මගේ රටේ මිනිසුන් රටට ආදරය කරනවා. වෙලාවට වැඩ කරනවා. වැඩ කරන වෙලාවට වැඩ කරනවා. අනවශ්‍ය කතා කරන්නේ නැහැ කියා පවසා සිටියා.

‘නිද්දාරාමතා’ නිතරම නින්දට හුරු පුරුදුවීම යි. උදෑසන අට, නවය, වනතුරු නිදාගන්නා අය මොනතරම් සිටිනවා ද? මේ යන ගමන පරිහානියට මිස දියුණුවට නො වන බව තේරුම් ගන්නා විට ඔවුන්ට තමන් විසින් විනාශ කරන ලද කාලය ඇතුන්ලවාවත් අද්දවා ගත නොහැකි ය. දිනකට පැය හත අටක් නින්ද නිරෝගී ජීවිතයකට ප්‍රමාණවත් ය. නින්දට වැඩි කාලයක් ගත කරන්නේ නම්, ඔබගේ ජීවන වෘත්තියට කාලය සොයා ගන්නේ කෙසේ ද? සුළු කාලයකින් වැඩි වැඩ කොටසක් කරන්නට යෑම අවුල් ජාලයකට මුලයි. හිත අවුල් වූ විට අන්‍යයන් සමග ද ගැටලු ඇතිවේ. එවිට සතුට පලා යනු ඇත. ජීවිත අතෘප්තිකර ය. මේ නිසා වැඩ අඩුකරගෙන කරන දේ හොඳ සිහියෙන් කිරීමට අධිෂ්ඨාන කර ගන්න.