Print this Article


සිතට සිදුරු කුමටද?

සිතට සිදුරු කුමටද?

මේ ලෝකයේ පහළ වූ උතුම් සර්වඥතා ඤාණයෙන් යුතු වූ එකම ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. දවසක් මාරයා ඇවිත් කියනවා” සිද්ධාර්ථ නුඹට අයිති නැහැ. වජ්‍රාසනය. මටයි අයිති වජ්‍රාසනය” “පවිටු මාරය ඔබ කියන දෙය මම පිළිගන්නේ නැහැ.

මම ඉරිසියාව නමැති භයානක රෝගය අත්හළ කෙනෙක්. වෛරය නමැති රෝගය අත්හළ කෙනෙක්. කාමය, රාගය නමැති මිනිසුන් වනසන පවිටු අදහස් අත්හළ කෙනෙක්. ඔබට බැහැ දැන් මගේ මාර්ගය වෙනස් කරන්න. ඔබ මොන දේ කිව්වත් මම සැලෙන්නේ නැහැ. එදා දීපංකර පාද මූලයට එනතෙක් තිබුණ සිතිවිලි මා දැන් ජයගත්තා. අනේ, දීපංකර පාද මූලේදී විවරණ ගත් මේ අසම සම උතුමන් වහන්සේ මේ ගමන ආවේ මොන තරම් බාධක සමඟද?. ඒත් ඒ එක දෙයකින්වත් සැලුනේ නැහැ. කම්පා උනේ නැහැ. , එහෙම හිත වෙනස් උනානම් අද කෝ අපට මේ සැනසිල්ල. හොඳින් සෙවිලි කළ වහලය තෙමෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපේ හිතත් අපි හොඳින් සෙවිලිකළ වහලයක් වගේ කිසිම තැනක සිදුරක් නැතුව හදාගන්න ඕනෑ. එතකොට මේ හිතට නරක සිතිවිලි නපුරු සිතිවිලි ඇතිවෙන්න ඉඩ නැහැ. සිතිවිලි නිසානේ මිනිසුන් නොමග යන්නේ.

‘බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි.’

පින්වතුනේ අසරණ වු ලෝකයට ලොව්තුරු බුදු සරණ, බුදු පිහිට කොච්චර වටිනවද? අනාථ වු ලෝකයාට සනාථ වු ලොව්තුරු බුදු සුවඳ. පින්වතුනේ මේ ලෝකේ කවුරු ආශ්‍රය කරල ද හිතට සහනයක් ලැබෙන්නේ. ලෝකය ආශ්‍රය කරන්න කලින් පින්වතුනේ බුදුරජාණන් වහන්සේ ආශ්‍රය කරන්න. එතකොට ඔබට ලෝකයේ කොතැනකදීවත් වරදින්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලොව්තුරු බුදු මිහිර හදවතට දැනෙන්න දැනෙන්න වෙන සතුටක් අපට මොකටද? කාමය,රාගය, ද්වේශය, මෝහය , සිත තුළ හටගන්න, හටගන්න ජීවිතයකට ජයගන්න පුළුවන්ද? අනේ බුදුහාමුදුරුවෝ ගැන හිතන කොට කොච්චර සැනසීමක් ද?

පින්වතුනේ, බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මස්වර නාදයෙන් ධර්මය දේශනා කරනකොට හැම හදවතකටම සැනසීමක් ලැබුණනේ. ඉරිතලා ගිය පොළොවකට සිසිල් දිය පොදක් වැටුණම කොහොමද? අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරද්දී මොන තරම් ශාන්තියක් සිසිලසක් හදවත්වලට දැනෙන්න ඇද්ද? ස්වාමීනි බුදුහාමුදුරුවනේ, ඔබ වහන්සේගේ ගුණ කොහොම කියන්නද? අසරණ වෙච්ච අපට තියෙන එකම පිහිට, එකම සැනසීම ඔබ වහන්සේ දෙසා වදාළ ශී‍්‍ර සද්ධර්මයත්, ආර්ය මහා සංඝ රත්නයත් පමණයි.

පින්වතුනේ, ඔබ නිතරම බුදුගුණ වඩන්න. බුදුගුණ වඩන කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ. අනේ ලෝකය ගැන වැරැදි දේ කතා කරන්න එපා. හොඳ දෙයක් කතා කරන්න බැරිනම් තුෂ්නීම්භූතභාවය හොඳයි නරක දේ කතා කරනවට වඩා. නිතරම බුදුහාමුදුරුවෝ ගැන කතා කරන්න. කොච්චර වටිනවද? අපේ ශාස්තෘන් වහන්සේගේ ගුණ කතා කරනකොට හිත්වලට මොන තරම් සැනසීමක්ද? මගේ බුදුහාමුදුරුවන්ගේ ගුණ මෙහෙමයි කියලා මෙනෙහි කරන කොට ඉබේම බුද්ධානුස්සතිය වැඩෙනවනේ. පන්සිල් පද පහ කවදාවත් කඩ කරන්න එපා. පන්සිල් පද පහ නමැති රන් මාලය ඔබේ ගෙල පළඳගන්න. දේවේන්ද්‍රයා කියනවා අනිත් දෙවිවරුන්ට නුඹලාට බියක්, තැති ගැනීමක්, සන්ත්‍රාසයක් දැනුන විට මා සිහි කරන්න කියලා. ඒත් ශක්‍ර දෙවියනුත් කෙලෙස් තියෙන කෙනෙක්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ නික්ලේෂී, වීතරාගී, සියලු කෙලෙසුන් නැසූ උතුම් මහ මුනීන්ද්‍රයාණන් වහන්සේගේ බුදු ගුණ කියන්න බැහැනේ. මහණෙනි නුඹලාට බියක්, තැති ගැනීමක්, සන්ත්‍රාසයක් ඇති වුණොත් නව අරහාදී බුදුගුණ සිහි කරන්න.