Print this Article


කැන්බරාහි ශ්‍රී ලංකා බෞද්ධ විහාරය: ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික පිරිසක් ඉදිකළ දාගැබක්

කැන්බරාහි ශ්‍රී ලංකා බෞද්ධ විහාරය:

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික පිරිසක් ඉදිකළ දාගැබක්

ඕස්ට්‍රේලියාවේ ‘කැලෑවෙන් වටවූ මහ නගරය’ ලෙස ප්‍රකට කැන්බරා හි ඇත්ලන් සහ ඩ්‍රැක්තෝර්ඩ් ඩ්‍රයිව් ප්‍රධාන මාවත් හමුවන ටුගරැනොන්ග්වල තුරු මුදුන්වලට ඉහළින් සුදෝ සුදු පැහැයෙන් බබළන අහසට යොමු වූ ඉදිකිරීම එරට වෙන කොතැනකදීවත් දක්නට නොලැබෙන අමුත්තක් ලෙස ස්වදේශිකයන්ට හැඟෙන්නට ඉඩ ඇත. කැන්බරාවල ඉදිකළ ප්‍රථම දාගැබ වූ මෙය ආසියානු රටක බෙද්ධයන්ගේ දායකත්වයෙන් බිහි වූ ප්‍රථම දාගැබ වේ. එය පිහිටා ඇත්තේ පේන්ක් ස්ර්කිට් අසල පිහිටි ශ්‍රී ලාංකික බෞද්ධ පන්සල් සංකීර්ණයේ ය.


ගවරගිරියේ ඉන්ද සුමන හිමි

මීටර් එකොළහක් උසින් සහ මීටර් හයයි දශම හතක විශ්කම්භයකින් යුක්ත මේ ආකෘතිය ක්‍රමිකව ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2017 වසරේ සිට ය. ශ්‍රී ලාංකික සහ ස්වදේශීය තාක්ෂණයෙන් ඉදිකළ අතර, ශ්‍රී ලාංකික ප්‍රජාවට පිදුණ හිතමිතුරු තිළිණයක් ම විය. ආහාර සැණකෙළි ප්‍රදාන සහ වෙනත් ආකාරයෙන් ආධාර රැස් කිරීම්වලින් මේ සඳහා අවශ්‍ය දායකත්වය තර කෙරිණි. දාගැබේ මූලික අදියරයන් වෘත්තීය සුදුසුකම් ඇති කොන්ත්‍රාත්කරුවන් සහ පෙදරේරුවන් අතින් සිදුකළ අතර අවසාන අදියරේ දී ස්වේච්ඡාවෙන් දායක වූ පිරිස අති මහත් ය.

ප්‍රධාන කොටස් ප්‍රවීණයන් අතින් ඉදිකෙරුණු අතර සෙසු ඉදිකිරීම් සහ නිමා කිරීම් වැඩ කරමින් ම ඉගෙනගත් පිරිමින්, කාන්තාවන් සහ ළමයින් විසින් සිදු කෙරුණේ ශ්‍රී ලංකාවේ, ජපානයේ, දකුණු කොරියාවේ මේ ආකාරයෙන් වැඩ කිරීමෙන් පළපුරුද්ද ඇති හිමිනමකගේ මඟ පෙන්වීම යටතේ ය. මෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කොට නැව් මඟින් ගෙන්වා ගනු ලැබිණි.

ධාතු නිධන් කොට කොත් වහන්සේ නිරාවරණය කිරීම ඉකුත් පෙබරවාරි සහ මාර්තු මාසවලදී සිදුවිය. එම කාලයේ ස්තූපය සැරසීම සඳහා පැමිණි සැදැහැවතුන්ගෙන් අවට ප්‍රදේශය කඩිගුලක් මෙන් ක්‍රියාශීලීව පැවැතිණි. වාමන රූප, ඇත් රූප මල්වැල් සහ නෙළුම් පොකුරුවලින් මනාව සරසා මාර්තු 02 වැනිදා පැවැති ස්තූප නිරාවරණයට සියලු කටයුතු සිදු කෙරිණි.

මේ වැඩකටයුතු සිදුකරන අතරවාරයේ වැඩකරන පිරිසට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබාදුන්නේ තරුණ භික්ෂූන් වහන්සේ නමක් විසිනි. ඒ කලා පවුලකින් සසුනට ඇතුළු වූ ගවරගිරියේ ඉන්ද සුමන හිමියන් ය. උන්වහන්සේ ඉදිකිරීම්වල අවසාන අදියරේ දී සියලු උපදෙස් ලබා දුන්නා පමණක් නොව වසර ගණනාවක් ම පන්සල් ඉදිකිරීමේ කටයුතුවල නිරත වී පළපුරුදු ඇති බැවින් ක්‍රියාවෙන් ම නායකත්වය දීමට ඒ හිමියෝ ක්‍රියා කළහ.

වයස අවුරුදු දහයේ දී පැවිදි දිවියට ඇතුළු වූ ඉන්ද සුමන හිමියෝ වෙස් මුහුණු සහ කැටයම් කලා නිර්මාණශිල්පියකු වූ තම පියා නිර්මාණය කරන ආකාරය බලා සිටීමෙන් ඒ කෙරෙහි ආසක්ත කෙනෙකු බවට පත් වූහ. දාගැබේ පිහිටා තිබෙන බොහෝ කලා නිර්මාණවල ෆයිබර්ග්ලාස් අච්චු සාදනු ලැබුවේ උන්වහන්සේගේ දෑතිනි.

දවසේ වැඩරාජකාරී නිම වූ ස්වේච්ඡා ක්‍රියාකාරීහු පන්සල වෙත ඇදී අවුත් තමන්ට පැවැරුණු රාජකාරී කොටස ඉටු කළහ. රාත්‍රී කාලයේ දීප්තිමත් විදුලි බුබුළු ආලෝකයේ උදව්වෙන් චෛත්‍යයට පරිවාර වූ වළාකුළු බැම්ම ඉදිකිරීමට තරුණයන්ට හැකි විය.

මව්වරු සහ සහෝදරියන්, තරුණ දැරියන් විසින් වැඩ කරන අයට ආහාර පානයෙන් සංග්‍රහ කරන ලදී. නොඑසේ නම් තවත් වැඩිහිටි කෙනෙකුගේ වැඩකට අත්උදව් දෙනු ලැබීය. රාත්‍රිය පුරා වැඩකටයුතු කෙරීගෙන ගියෙන් වැඩමුර ක්‍රමයට කාලය බෙදාගෙන වැඩ කිරීම කාටත් පහසුවක් ම විය. මේ ස්තූපය ඉදිකිරීමේ ව්‍යායාමය කැන්බරා හි ශ්‍රී ලාංකික ප්‍රජාව ඒකරාශි කළ ව්‍යාපෘතියක් විය. ජාති, ආගම් භේදයක් එහි නොවී ය. කැන්බරාහි ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් සියලු දායක පින්වතුන්ගේ සහායෙන් ඉදි වූ එම සෑරදුන් වහන්සේගේ ආශීර්වාදය සැමට හිමිවේවා.

කැන්බරාහි ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ ඇරැයුමෙන් කැන්බරාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් එස්.ස්කන්ධ කුමාර මහතා විසින් එම සෑරදුන් වහන්සේ මහජන පූජෝපහාරය සඳහා විවෘත කරන ලදී.