Print this Article


පිරිත් දේශනාව 24: ආටානාටිය සූත්‍රය 2 කොටස

ආටානාටිය සූත්‍රය

 - 2 කොටස

සූර්ය තෙමේ යම් දිශාවකින් උදා වෙයි ද, සූර්යයා උදාවන කල්හි රාත්‍රිය නිරුද්ධ වේ ද, ඒ දෙසට මිනිස්සු නැගෙනහිර යැයි ව්‍යවහාර කරති. සමුද්‍රයෙහි නැගෙනහිර දිශාව ධ්‍රෘතරාෂ්ඨ නම් දිව්‍යරාජයා පාලනය කරයි. ඔහුගේ පිරිස වන්නේ ගාන්ධර්වයන් ය.

ධ්‍රෘතරාෂ්ඨ හා ඔහුගේ පිරිස නැටුම් ගැයුම්වලින් සිත් සතුටුකරමින් වාසය කරයි. ධ්‍රෘතරාෂ්ඨ ට ඉන්ද්‍ර යන නම ඇති අනූ එකක් පුත්තු වෙති. ඔවුහු හැමදෙනාම තම පිරිස් සමඟ විජ්ජාචරණ සම්පන්න වූ බුදුරජාණන් වහන්සේට වඳිමි යැයි දුර සිට ම වන්දනා කරති. කුසලේන සමෙක්ඛසි යන්නෙන් වෛශ්‍රවණ දිව්‍යරාජයා බුදුරදුන්ට ආරාධනා කරන්නේ දිවැසින් ඔවුන් කරන ගරු බුහුමන් දකින ලෙසයි.

යම් දිශාවකින් මහත් මණ්ඩලයක් ඇති සූර්ය දිව්‍යපුත්‍ර තෙමේ බැස යද් ද, දවස නිමා කරද් ද, පැතිරී ගිය ජලය ඇති සමුද්‍රයෙහි බටහිර දිශාවෙහි නාගයන්ට අධිපති විරූපාක්ෂ තම පිරිස් සමග වාසය කරයි. ඔහුට ද ඉන්ද්‍ර නම් ඇති පුත්තු අනූ එකක් සිටිති. ඔවුන් ද බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් දුර සිට ම වන්දනාමාන කරති. ‘කුසලේන සමෙක්ඛසි’ යන්නෙන් වෛශ්‍රවණ දිව්‍යරාජයා බුදුරදුන්ට ආරාධනා කරන්නේ දිවැසින් ඔවුන් කරන ගරු බුහුමන් දකින ලෙසයි.

යම් දිශාවකින් මළ සිරුරු ගෙනයමින් ඒවා දමා එද් ද, කේළාම් බස් කියන්නෝ වැඩිපුර වාසය කරද් ද, ළඟ සිටිය දී ගුණ කියා ඈත්ව ගිය පසු අපහාස කරද් ද, ප්‍රාණඝාතා දී පංච අකුසල් සිදු කරද් ද, එහි සමුද්‍රයක් වෙයි. ඉන් දකුණු දිශාවේ අධිපති විරූඪ, තම කුම්භාණ්ඩ පිරිස සමඟ නැටුම් ගැයුම්වලින් සතුටු වෙමින් වාසය කරති. ඔහුට ද ඉන්ද්‍ර නම් ඇති පුත්තු අනූ එකක් සිටිති. ඔවුන් ද බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් දුර සිට ම වන්දනාමාන කරති. “කුසලේන සමෙක්ඛසි” යන්නෙන් වෛශ්‍රවණ දිව්‍යරාජයා බුදුරදුන්ට ආරාධනා කරන්නේ දිවැසින් ඔවුන් කරන ගරු බුහුමන් දකින ලෙසයි.

යම් දිශාවකින් මහත් මණ්ඩලයක් ඇති සූර්ය දිව්‍ය පුත්‍ර තෙමේ බැස යද් ද, දවස නිමා කරද් ද, පැතිරී ගිය ජලය ඇති සමුද්‍රයෙහි බටහිර දිශාවෙහි නාගයන්ට අධිපති විරූපාක්ෂ තම පිරිස් සමඟ වාසය කරයි. ඔහුට ද ඉන්ද්‍ර නම් ඇති පුත්තු අනූ එකක් සිටිති. ඔවුන් ද බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් දුර සිට ම වන්දනාමාන කරති. “කුසලේන සමෙක්ඛසි” යන්නෙන් වෛශ්‍රවණ දිව්‍යරාජයා බුදුරදුන්ට ආරාධනා කරන්නේ දිවැසින් ඔවුන් කරන ගරු බුහුමන් දකින ලෙසයි.

යම් දිශාවක් හි වාසය කිරීමට යෝග්‍ය වු උතුරු කුරු දිවයින පිහිටියේ ද එහි මහාමේරු පර්වතය ද වෙත්. එම දිශාව උතුරු දිශාව වෙත්. එහි වාසය කරන මිනිස්සු තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ ඔවුනොවුන් කෙරෙහි මමත්වයක් නැති වීම යි. මාගේ පුත්‍රයා ය, මාගේ භාර්යාව ය, මාගේ ස්වාමිපුරුෂයා ය. යනා දි ලෙස බැඳීමක් එහි මිනිසුන් තුළ නො පවතී. එ පමණක් නො ව ඔවුන් සී සෑම්, කුඹුරු වැපිරීම් ආදිය ද , සිදු නො කරයි. එහෙත් කෘෂිකර්මය නො කළ භුමියෙහි ඉබේ හැල් සහල් ආදිය හට ගනිත්. ඒවා කුඩු, පොතු රහිත ය. සුගන්ධවත් ය. ඒවා අනුභව කර මිනිස්සු වාසය කරති. එහි වෙසෙන වෙස්සවණු රජුගේ පිරිස් එළදෙනක වාහනය කොට ගෙන, සිවුපාවෙකු වාහනයක් කොටගෙන, ගැබිනි ස්ත්‍රියක වාහනයක් කොටගෙන, පුරුෂයෙකු වාහනයක් කොටගෙන, කුමරියක වාහනයක් කොටගෙන, කුමරෙකු වාහනයක් කොටගෙන, ඒ මේ දෙස ගමන් කරති. වෙස්සවනු රජතුමාගේ පරිවාරක යක්ෂයෝ හස්ති යාන, අශ්ව යාන, දිව්‍ය යාන, සහාය කරගෙන සියලු දිශාවන් හි සංචාරය කරති. වෙස්සවණු රජුට අන්තරීක්ෂයෙහි ද මනාව මැවූ ආටානාටා, කුසිනාටා , පරකුසිනාටා, නාටපුරියා පරකුසිතනාටා යනුවෙන් නගර සමූහයක් වෙත්.

වෙස්සවුණු රජුට ප්‍රාසාද ද, සිවි ගෙවල් ද වෙත්. ජනෝඝ, නවනවතිය, අම්බර අම්බරවතිය යන නුවරවල් ද, ආලකමන්දා නම් රාජධානියක් ද වේ.

එහි ද වෙස්සවණුට පුතුන් අනූ එකකි. ඔවුන් ද ඉන්ද්‍ර නාමයෙන් හඳුන්වයි. එම යක්ෂ පිරිස් ද බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය දැන වන්දනාමාන කරති. කුසලේන සමෙක්ඛසි” යන්නෙන් වෛශ්‍රවණ දිව්‍යරාජයා බුදුරදුන්ට ආරාධනා කරන්නේ දිවැසින් ඔවුන් කරන ගරු බුහුමන් දකින ලෙසයි. අනතුරුව වෛශ්‍රවණ බුදුරදුන්ට පවසන්නේ ඉහත දැක් වු පිරිත භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසට ඇතිවන අධ්‍යාත්මික හා බාහිර උපද්‍රව වැළැක්වීමට, සුවපහසුවෙන් ජීවත් වීමට හේතුකාරක වන නිසා එය භාවිත කරන ලෙස භික්ෂූන් වහන්සේට දන්වන ලෙස යි.

ආටානාටිය පිරිත ඉගෙන ගෙන සිව්වණක් පිරිස සජ්ඣායනා කරද් දී යම්කිසි අමනුෂ්‍යයෙක්, යක්ෂයෙක්, ගාන්ධර්වයෙක්, කුම්භාණ්ඩයෙක්. නාගයෙක් හෝ ඔවුන්ගේ පිරිසෙන් කිසිවෙකු හෝ දූෂිත සිත් ඇතිව සිව්වණක් පිරිසට කරදර කරන්නේ නම් ,

ඔවුන් මනුෂ්‍යයින්ගේ සත්කාර නොලැබීම,කුවේරගේ ආලක මන්දාවේ වාසය කිරීමට නො ලැබීම, යක්ෂ සමාගමට යෑමට අවසර නො ලැබීම, යක්ෂයන් ඔවුනොවුන්ට නින්දා කරගැනීම, පාත්‍ර ඔවුන්ගේ හිසෙහි මුහුණෙහි නමත්. ඔවුන්ගේ හිස සත්කඩකට පළති, යන උපද්‍රවයන්ට මුහුණ දෙති.

වෛශ්‍රවණ තවදුරටත් පැහැදිලි කරන්නේ මගධ රාජධානියේ බිම්බිසාර රජතුමාගේ විජිතයේ සොරු රජතුමාගේ වචනය නො පිළිගනිති. අමාත්‍යවරුන්ගේ වචනත් නො පිළිගනිති. අමාත්‍යවරුන්ට සම්බන්ධ පුරුෂයන්ගේ වචන ද නො පිළිගනිති. ඔවුන් මහරජතුමාගේ සතුරන් යැයි ව්‍යවහාර කරත්. මෙලෙසින් සතරවරම් දෙවිවරුන්ගේ අණට නො කීකරුවන චණ්ඩ වු, පරුෂ වු පිරිස් සිව්වණක් පිරිසට කායිකව පීඩා කරන්නේ නම්, ඔවුන්ගේ නම්

ඉන්ද්‍ර, සෝම, වරුණ, භාරද්වාජ, ප්‍රජාපතී චන්දනය, කාමසෙට්ඨය, කින්නුඝණ්ඩුය, නිඝණ්ඩුය, පනාදෝ, ඕපමඤ්ඤෝ, දේවසූතෝ, මාතලී, චිත්සේනෝ, ගන්ධබ්බෝ, නලෝ, රාජා, ජනේසභෝ, සාතාගිරෝ, හේමවතෝ, පුණ්ණකෝ, කරතියෝ, ගුලෝ, සීවකෝ, මුචලින්දෝ,වෙස්සාමිත්තෝ, යුගන්ධරෝ, ගෝපාලෝ, සුප්පගේදෝ, හිරිනෙත්ති, මන්දියෝ, පංචාලචණ්ඩේ, ආලවකෝ, පජ්ජුන්නෝ, සුමනෝ, සුමුඛෝ, දදිමුඛෝ, මණි, මාණි, දීඝෝ, අතෝ, සේරිස්සකෝ, ආදින්ට දැන්විය යුතු යි. අඬගා කිව යුතු යි .මුරගා කිව යුතු යි. එය දැන්විය යුත්තේ මේ යක්ෂාදීන් අප අල්ලා ගනී. ආවේශ වේ. පීඩාවට පත් කරයි. තදින් පීඩා කරයි. හිංසාකරයි. තදින් හිංසා කරයි. අප අත් නො හරියි, යන ලෙස ය. මෙම පිරිත සජ්ඣායනා කරන සිව්වණක් පිරිසට අවශ්‍ය ආරක්ෂාව, සංවරය, වෙහෙස නොවන බව පහසු විහාරය ඇති වෙයි. යනුවෙන් ප්‍රකාශ කොට තම තමන්ට බොහෝ කාර්යයන් ඇති බව දන්වා සිව්වරම් දෙවිවරුම ඒ ස්ථානයෙන් අතුරුදන් වූහ. ඔවුන් අතුරුදහන් වූ පසු ඇතැම් යක්ෂ කෙනෙක් බුදුරජාණන් වහන්සේට වැඳ, ඇතමෙක් සතුටු සාමීචි කතා කොට, ඇතැම් කෙනෙක් නම් ගොත් අස්සවා ගෙන එහි ම අතුරුදහන් වූහ.