Print this Article


අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමි

අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමි

අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමි අපවත් වී දෙවසරක් සපිරේ

උපන් හැම සත්ත්වයෙක් ම ජරා මරණ ධර්මතාවයන්ට ගොදුරුවීම නියත දහමකි. මේ න්‍යාය අනුව සත්ත්වයකුගේ මරණයෙන් පසු ඔහුට සිදුවන්නේ කුමක් ද යන්නට පිළිතුරු සැපයීමට සෑම ශාස්තෘවරයකු විසින් ම තම අනුගාමිකයන්ට බැඳී ඇත.

මෙනිසා ආගම් යයි සම්මත සියල්ලෙහි ශාස්තෘන් වහන්සේලා මේ පිළිබඳව වදාළ දේශනා විවිධ වෙති. පොදුවේ සෑම ශාස්තෘවරයකුම නැවැත ඉපදීම පිළිගෙන අනුගාමිකයාට මතු ජීවිතය යහපත් වීමට, ලැබූ ජීවිතය යහපත්ව ගත කළ යුතු බවට පොදුවේ අනුශාසනා කරතිබීම විශේෂයකි. බුදු වදනකින් මෙවැනි අනුස්මරණ සටහනක් ආරම්භවීම සිරිතකොට ගනිමින් දවුල්දෙණ ඤාණිස්සර උත්තරීතර මහානාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ දෙවන වසර ඉකුත් 03 දිනට යෙදී තිබීම මෙහි දී සිහිපත් කරමි. මළවුන් ඇදහීමක් හෝ මළවුන් සිහිපත් කිරීමක් අප දහම තුළ සඳහන්ව නැතත් කල්‍යාණ දහමින් යුත් ගුණවතුන් වෙත ‘කතඤ්ඤු කතවේදී’ (කළගුණ සිහිකිරීම) ගුණය ඉදිරියට ගෙන වර්තමාන සමාජයට ආදර්ශ පිණිස සිහිපත් කිරීමේ බාධක නැත.

මහා නාහිමිපාණන් සුජිවත් ව සිටි 101 වසර සැලකිල්ලට ගැනීමේ දී 12 වියේ දී පැවිදි සීලයට ඇතුළත් ව අනු වසරක් පුරා දෙස, බස රැස හෙවත් රට ජාතිය ආගම වෙනුවෙන් ඉටුකර ඇති අනූපමේය මෙහෙය විශේෂයෙකි. එය මෙසේ සඳහන් කිරීමට තරම් එඩිතර විය හැක්කේ කෙනෙකුගේ මරණයකින් ඇතිවෙන හිදැස බොහෝ විට කාලයාගේ ඇවෑමෙන් සපුරාලිය හැකි ස්වභාවය සලකා ය. එහෙත් අප කථානායකයාණන් වහන්සේ අපවත් වීමෙන් ඇති වූ මේ අඩුව තවත් ශතවර්ෂාධික කලකට පිරිමසාලිය නො හැකි බව ඇසුරු කළ විද්වතුන්ගේ මතය වී ඇත. සාසන වංශ කතාව තුළ සංස්කෘත (දෛවී) භාෂාවෙන් ලියැවී ඇති ග්‍රන්ථ සංඛ්‍යාවෙහි ලා ගත් විට කතෘත්වය තමා කොට ගත් සංස්කෘත ග්‍රන්ථ වැඩියෙන් ම ලියා ඇති කතුවරයා අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහානාහිමි බව ප්‍රකට වී ඇත.

පාලි, සිංහල භාෂා පිළිබඳ තිබූ දැනුම ද විශේෂ වූවකි. චීන, කොරියන්, ඉංගී‍්‍රසි ආදී විදේශ භාෂා පිළිබඳ ව තිබූ දැනීම් ද අත්හැරිය හැකි නොවේ. විසි වසරක පමණ කාලයක් ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ නිරතව සිට උන්වහන්සේ සමීපව ඇසුරු කරන්නට අවස්ථාව මට ලැබීම තුළ උන්වහන්සේට ත්‍රිපිටකාගත ධර්මය පිළිබඳ තිබූ දැනුම මණ්ඩලයේ අනෙකුත් ස්වාමීන් වහන්සේලාගේ අසීමිත ගෞරවයට භාජනය වීමට හේතුවුණි. ජීවත්ව සිටින කාලය තුළ නොයෙකුත් විදේශීය රාජ්‍යයන් වෙතින් (තායිවාන් සරසවියක තෙවසරක් කථිකාචාර්ය වරයෙකු වශයෙන් සේවය කර ඇත.) හා දේශීය වශයෙන් උත්තරීතර මහානාහිමිපාණන් වහන්සේ ලබා තිබූ ගෞරව සම්මාන වෙනත් මෙවැනිම සංඝ නේතෘන් වහන්සේ නමක් හා සැසඳීමේදී ද දැකිය හැක්කේ විශේෂකොට ය. එම සම්මාන අටළොසකට ද වැඩි ය. මෙහිලා ඒවා විශේෂ වනුයේ සුදුසුකම් සහිතව ම ප්‍රදානය වී තිබීය. මේ අයුරින් දැක්විය හැකි සපුරාලිය නො හැකි සුදුසුකම් සහිතව මෙයට දෙවසරකට පෙර අපවත් වූ උන්වහන්සේ ප්‍රවුජ්‍යා ශීලයෙන් ද උතුමන්ගේ ගෞරවයට පාත්‍රවුන පරිදි (ආර්යකාන්ත ශීලයෙන්) ගත්කළ සිල්වත් බව හේතු කොට ගෙන පරලොව ගමන ද බොහෝ සේ සුගති උප්්පත්තියක් වන බව නො අනුමාන ය. එහෙයින් උන්වහන්සේට ඉක්මන් භවයකදී ම සසරින් මිදී නිවන් සැප ලැබීමට හේතු වාසනා වේවා යි හිතෛෂී සියල්ලන් වෙනුවෙන් ඉත සිතින් මෙසේ ප්‍රාර්ථනා කරමි.

අප මහ නාහිමිපාණන් වහන්සේගේ ගුණ අනුස්මරණය කරමින් ඉකුත් 03 වෙනි දා උන්වහන්සේ වැඩසිටි පාගොඩ විජය ආරාමයේ දී ශතාධික සංඝගත දක්ෂිණාවක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය දර්ශනපති කරගහඋල්පත සුගතානන්ද හිමිගේ අනුශාසනාවෙන් විහාරස්ථ දායක සභාවේ මෙහෙයවීමෙන් ද, ඉකුත් 09 වෙනි දා කොළඹ 07 විජේරාම පාර මහානායක චාරිකාරාමයේ දී ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය උන්වහන්සේගේ සමීප දායක දායිකා පිරිසගේ හා සමීප මුණුපුරෙකු වන ප්‍රියලාල් වනසිංහ මහතාගේ ද දායකත්වයෙන් සංඝගත දක්ෂිණාවක් ද පවත්වා කෘතඥපූර්වක පුණ්‍යානුමෝදනා පින්කම් ද සිදු කරන ලදී.