Print this Article


දඬුවම පිළිබඳ බෞද්ධ ආකල්පය

දඬුවම පිළිබඳ බෞද්ධ ආකල්පය

මෙම ලිපියෙහි මුල් කොටස මැදින් පුර පසළොස්වක (මාර්තු 20) පත්‍රයේ පළවිය.

භික්ෂු සමාජය තුළ ආපත්තීන්ට එළඹෙන ශ්‍රාවකයන් සඳහා බුදුසමය යම් යම් දඬුවම් නිර්දේශ කරයි. බෞද්ධ විනයෙහි දැක්වෙන පරිදි එම දඬුවම් බොහෝවිට මානසික ය. එසේ නැතිනම් සාමාජිකය, සමාජයෙන් සපුරා බැහැර කිරීමට හෝ පරිවාස කාලයකට යටත් කිරීම ය. ඉහත කී සතර පාරාජිකාවන්ගෙන් එකකට පැමිණ මූලික විනය නීතියක් කඩකළ භික්ෂුවට හිමිවන දඬුවම නම් උපසම්පදාව අහිමිකිරීම යි. එය බෞද්ධ විනයෙහිලා උපසපන් භික්ෂුවකට හිමි වන බරපතලම දඬුවම වේ. එම භික්ෂුව එසේ මූලික විනය නීතියක් කඩකළ බව සාක්ෂි සහිතව සංඝාධිකරණයේ දී ඔප්පු වූ කල්හි පමණක් එම දඬුවමට යටත් කළ හැකි ය. එමගින් සිදු කෙරෙනුයේ නෙරපා හැරීමකි. උපසපන් භික්ෂූන්ගේ සමාජයෙන් නෙරපන ලද එම භික්ෂුව පරාජයට පත් වූයේ ය. සෙසු භික්ෂූන් සමඟ එක්ව වගකීම් සහිත මහණ මහලු පැවිද්දෙකු ලෙස ක්‍රියා කිරීමට ඔහුට ඉඩ නොලැබෙයි. එම භික්ෂුවට එක්කෝ සාමණේරයෙකු ලෙස කටයුතු කළ හැකි ය. නොවේ නම් ගිහියෙකු විය යුතු ය. ඒ අනුව මෙම දඬුවම වුවද ඉතා මානුෂිකයැයි කිව හැකි ය. එම භික්ෂුවගේ බුද්ධ ශ්‍රාවක භාවය එමගින් අහිමි නොවන අතර එබැවින්ම ඔහුට මතුවට පිළිවෙත් පිරීමේ අවස්ථාව ද අහිමි නොවේ. සාමණේර භික්ෂුවක ලෙස හෝ ගිහි බෞද්ධයෙකු ලෙස එම භූමිකාවනට අදාළ පිළිවෙත් ඔස්සේ ඔහුට ද නිවන්මග යා හැකි ය. යමෙක් මුල් අවධියේ දී පමා වුව ද පසුව පමා නොවේ ද හෙතෙම වළාකුලින් (වැසි තිබී) මිදුණු සඳ මෙන් මෙම ලෝකය ආලෝකමත් කරන්නේ ය’ යනු බුද්ධ දේශනාව යි. පාරාජිකාපත්ති හැරුණු විට වෙනත් කවර ආපත්තියකට පත් වුවද භික්ෂුවගේ උපසපන් බව අහිමිවන්නේ නැත. ඇවැත් දෙසීම, ගණයෙන් වෙන් කොට තැබීම, ගිහියෙකුගෙන් වුවද සමාව අයැදීම, කලක් පරීක්ෂාවට භාජනය කොට තැබීම, අයිතිවාසිකම් වරප්‍රසාද හෝ දේපළ අහිමි කිරීම, වෙනත් සංඝ සභාවකට නෙරපා හැරීම (පදිංචිය වෙනස් කිරීම) ප්‍රසිද්ධ ප්‍රකාශනය (පාපොච්චාරණය) සමාජයෙන් බැහැර කිරීම (බ්‍රහ්ම දණ්ඩය) හා බැහැර යාම වළක්වාලීම වැනි දඬුවම් එකී සෙසු වැරැදි සඳහා හිමි වෙයි. භික්ෂූන් වහන්සේ සඳහා බෞද්ධ විනයෙහි ක්‍රියාත්මක වී ඇති මෙම දඬුවම් කිසිවක් දිවි ඇති තෙක් බලපවත්වන්නේ නොවේ. වරද කරුවා තම වරද පිළිගෙන ආයතිසංවරයෙහි (නැවත එම වරද නොකරමි යන අධිෂ්ඨානයෙහි හා පොරොන්දුවෙහි) පිහිටවන තුරු පමණක් ක්‍රියාත්මක වන දඬුවම් ය. අවබෝධය වරදකරුවාගේ මනසට පිවිස වීමෙන් වරදකරුවා නිවැරැදි කිරීම බෞද්ධ දඬුවමේ පදනම යි. මේ වූ කලි වරදකරු පුනරුත්ථාපනය කොට යථාතත්ත්වයට පැමිණවීම, නැවත වැරැදි නොකරන යහපත් පුද්ගලයෙකු බවට පත් කිරීම අපේක්ෂා කොටගත් පිළිවෙතකැයි කිව යුතු ය. බෞද්ධයන් අතර මරණීය දණ්ඩනය පැවතිය නොහැක. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව මෙන්ම පලිගැනීම පහත් ක්‍රියාවක් බවද බුදු සමය පිළිගනී. මහාසම්මත රාජපරම්පරාවේ අය ඉතාම දැඩි දඬුවම් වශයෙන් ක්‍රියාත්මක කළේ තැලීම (තාලන) ගැරහීම (ගරහන) හා පිටුවහල් කිරීම (පබ්බාජන) පමණක් බව දක්වා ඇත්තේ ඒ හෙයිනි.

මෙසේ ගෘහස්ථ ප්‍රවෘජිත කවරෙකු වුවද වරදින් මුදාගැන්ම (සමාජයට අපරාධ මර්දනය) හුදෙක් දඬුවම් දීමෙන් කළ හැකි යැයි බුදුසමය නොපිළිගනි. එක් අතකින් දඬුවම මානසික ස්වරූපයකින් ක්‍රියාත්මක වීම බුදු සමයට අභිමත වන නමුදු අනික් අතෙන් බුදු සමය පෙන්වා දෙන්නේ පුද්ගලයා වරදට පොළඹවන අභ්‍යන්තර හා බාහිර හේතු නැති කිරීම ද අවශ්‍ය වන බවයි. වෛද්‍යවරයෙකු රෝග සුව කිරීමට මෙන්ම වැළැක්වීමට ද ක්‍රියා කළ යුතු යැයි පිළිගැනේ. සුවකිරීම පිණිස දරන ප්‍රයත්නයට වඩා වැළැක්වීමට දරන ප්‍රයත්නය ඤාණාන්විත බවද දීර්ඝ කාලීන ප්‍රතිඵල ලබාදෙන බවද මෙහිදී පෙන්වා දිය හැකි වෙයි. මේ ඔස්සේ වැරැදි නොකරන සමාජයක් බිහිවීමත් සමගම දඬුවම් කිරීම අවශ්‍ය නොවන තැනට කටයුතු යෙදෙන බව පැහැදිලි ය. වැරැදි කළ පසු දඬුවම් කිරීම වෙනුවට වැරැදි නොකරන්නවුන් ඇති කිරීමට නම් වරදට පොළඹවන හේතු නැතිකළ යුතු ය. බුදුරජාණන් වහන්සේ විසින් බිහිකරන ලද පරමාදර්ශී සමාජය වූ සංඝ සමාජය තුළ ශ්‍රාවක භික්ෂූන් උන්වහන්සේ විසින් දඬුවමින් තොරවම හික්මවනු ලැබීම විටෙක රජ දරුවන්ගේ ද ප්‍රසාදය ඇති කරන්නක් විය. බුදුරදුන් බැහැ දුටු පසේනදි කොසොල් රජු විටෙක ඒ බව පවසන්නේ ‘භවත්නි ආශ්චර්යමයැ භවත්නි, අදණ්ඩෙන් (දඬුවමින් තොරව) අශස්ත්‍රයෙන් (අවි භාවිතයෙන් තොරව) මෙසේ සුවිනීත වූ පිරිසක් මේ සස්නෙන් බැහැර නොදකිමියි යනුවෙනි. මෙසේ කායික වූ දණ්ඩනය අවශ්‍ය නොවන තැනට සමාජය ගෙනයා හැක්කේ නරකින් වැළකී කළයුත්ත නම් වූ හොඳ ක්‍රියාවට නගන ශීල ශික්ෂණයෙන් ද, එම කුසලතාව තහවුරු කෙරෙන මානසික සංයමය නම් වූ සමාධි ශික්ෂණයෙන් ද, එය උපකාර කොටගත් ඇත්ත ඇති සැටියෙන් දක්නා ප්‍රඥා ශික්ෂණයෙන් ද, බව බුදුසමය උගන්වයි.