බොදු දනට කරුණාවෙනි:
විරාගය
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ
ධම්මික නා හිමි
සැබෑ උපෝසථය යනු කුමක් ද, යන්න අංගුත්තර නිකායේ තික නිපාතයෙහි අඩංගු ධර්ම
කොට්ඨාසයකින් පෙන්වා දෙනවා. අද දවසේ ද ආර්ය උපෝසථ සීලය පිළිබඳව සාකච්ඡා කරමු.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා විශාඛාවෙනි, කිලිටි වස්ත්‍රයක් උපක්‍රමයෙන් කෙසේ
පිරිසුදු වේ ද? උණුසුම නිසාත්, එහි යොදන අළු හෝ ගොම මුත්‍රා වැනි යමක් නිසාත්, ජලය
නිසාත් ඒ වගේ ම සෝදන්නා විසින් එයට නිසි ව්‍යායාමය යෙදීම නිසාත්, එනම් මහන්සියෙන්
එය අතින් අල්ලා, පොඩිකරමින් කරන ව්‍යායාමය නිසාත් එම වස්ත්‍රය පිරිසුදු වේ.
විශාඛාවෙනි, මෙසේ කිලිටි වස්ත්‍රය උපක්‍රමය හෙවත් වස්තූන් හා ජලයත්, තමාගේ
මහන්සියත් නිසා පිරිසුදු වෙනවා. විශාඛාවෙනි, ඒ පරිදිම කිලිටි සිතෙහි ද පිරිසුදුවීම
උපක්‍රමයෙන් සිදුවෙනවා. මෙහි උපක්‍රමය හැටියට දක්වන්නේ දහම මැනවින් දැන, ඒ ඒ
සිතිවිලි මැනවින් තේරුම් ගෙන, අවබෝධයෙන් යුක්තව සිතිවිලිවල නිරෝධය පිණිස කටයුතු
කිරිමයි. මෙහි දී යම් කෙනෙකුට පරමාර්ථ ධර්මය පිළිබඳ ව අවබෝධයක් වේ නම් එය ඉතා
පහසුවෙනවා. අඩුම තරමේ අස්සාදය, ආදීනවය, නිස්සරණය යන අවස්ථා තුන පිළිබඳව අවබෝධයක් වේ
නම් එයත් පහසුවෙනවා. පණ ඇති හෝ පණ නැති වස්තුවක් අපට විවිධ ආකාරයෙන් දැක ගන්නට
පුළුවනි.
සම්මත ලෝකය තුළ එහි ඇති ප්‍රිය බව, එහි ඇති සෞම්‍ය බව, යම් කෙනෙකුගේ සිනහව, යම්
කෙනෙකුගේ ඇඳුමේ පැළඳුමේ ප්‍රසන්න බව එමෙන් ම ගහ කොළවල ඵල හට ගැනීම, මල් හට ගැනීම,
අතුපතර විහිදා තිබීම ආදී වේවා ලෝකයෙහි අස්සාදය වශයෙන් දකින්න පුළුවනි. අස්සාදයෙන්
ලෝකය දකිනවා වගේ ම, ආදීනවය පිළිබඳව මනා වූ අවබෝධයක් ද අවශ්‍යයයි. එනම් සියලු සංඛත,
සංකාර වස්තු අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛන ධර්මයට යටත් කොට දැක ගැනීමේ
හැකියාවයි. නැවතත් කෙටියෙන් සඳහන් කරන්නේ නම්, පඨවි ආදී හේතූන් නිසා හෝ මනෝ
සංචේතනික වශයෙන් ඇතිකර ගන්නා වූ සිතිවිලි නිසා හෝ හටගන්නා වූ හෝ අප විසින් සිතින්
පනවගන්නා වූූ යම් වූ ද පණ ඇති හෝ පණ නැති වස්තුවක් වේ ද? එය අර හේතු වූ හේතූන්ගේ
විසිර යෑමෙන් හෝ නැතිව යෑමෙන් අප විසින් සිතින් පනවා ගත්, එසේ නැතිනම් හටගත්තා යැයි
සංඥාවට ගත් සියලු ඵල විපාකත් නැතිව යනවා. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, යමක් හේතූන්
නිසා හට ගන්නා සුළු ද? ඒ හේතූන්ගේ විසිර යෑම නිසා ඵලය ද, විපාකය ද නැතිව යන්නේ ය.
එනම් මේ සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛණ ධර්මයට යටත් ය, යන ආදීනවය
පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීමයි.
මීළඟට නිස්සරණයයි. නිස්සරණ යනු ආශ්‍රය නොකර හැරීමයි. රාග, ද්වේෂ, මෝහ සකස් නොවන
ආකාරයට හිත පවත්වා ගැනීමයි. අරමුණු නොගැනීමයි. අරමුණු සීලයේ පිහිටා ඔබට පරිහරණය
කරන්න පුළුවනි. ධර්ම මාර්ගයටත් අරමුණු අවශ්‍යයයි. නමුත් මෙහි සඳහන් කරන්නේ ඒ
අරමුණු, එනම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතිවිලි නමින් දක්වන මේ අරමුණු ලෝභයකට,
ද්වේෂයකට, මෝහයකට හසු වී අකුසල කර්ම සකස්වන ආකාරයෙන් උපාදානය නොකර ගැනීමයි. හේතූන්
නිසා හටගත් යමක් වේ ද? ඒ හේතූන්ගේ විසිර යෑම නිසා මේ රූප, ශබ්ද ආදී අරමුණු ද නැතිව
යන්නේ ය. විනාශයට යන්නේ ය, යන අදහසින් ඔබට මේවා පරිහරණය කළ හැකියි.
එහි දී ඔබේ සිතේ සකස් වන විරාගය හෙවත් නො ඇලීම නිසා ඔබ අකුසල ධර්මයන්ට හසුවන්නේ
නැහැ. එනම් අකුසල ධර්ම සකස් වන්නේ නැහැ. කුසල චිත්තය මේ අරමුණු තුළින් දැකගෙන ඒ
කුසල සිත ඔබට දුක්ඛ සමුදය, නිරෝධ මාර්ගය නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස
මෙහෙයවා ගත හැකියි. මෙයයි නිස්සරණයෙන් පෙන්නුම් කරන්නේ.
මේ ආකාරයට තමාගේ සිතේ සකස්වෙන කිලිටි සිත හා සිතිවිලි පවා පිරිසුදු කරගත හැකියි. ඒ
වගේ ම ඔබට යම් වූ ද ගැඹුරු අවබෝධයක් පරමාර්ථ ධර්ම වශයෙන් පවතී නම්, එයත් ක්ෂණයකින්
හෝ පහසුවෙන් ඔබට සිතේ පිරිසුදු කර ගැනීම පිණිස උපකාර කරගත හැකියි. එනම් සිතට අරමුණු
වන හැම ආරම්මණයක් ම චිත්තක්ෂණ වශයෙන් අපට දැක ගන්නට පුළුවනි. එනම් සිහියට හසුකර
ගන්නට පුළුවනි නම් ඒ හැම චිත්තක්ෂණයක් ම හට අරගෙන බිඳී යන බව, වෙනස්ව යන බව අවබෝධ
කර ගැනීමයි. එවිට කිසිදු සිතිවිල්ලක් එනම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්,
ස්පර්ශයක්, සිතිවිල්ලක් සම්බන්ධ වූ මේ චිත්තක්ෂණ හට අරගෙන එහි ම නැතිව යන බවට
සිතින් අවබෝධකරගෙන සිටීමයි. එනම් සිහියට හසුකරගෙන සිටීමයි. එවිට කිසිවක් මම ය, මාගේ
ය, ස්ථිරයි, නිත්‍යයයි, සදාකාලිකව ම සැපයි, දුකයි ආදී වශයෙන් අරමුණ ඇද බැඳ තබා
ගන්නේ නැහැ.
- දීපා පෙරේරා |