Print this Article


මනුෂ්‍යත්වය මනහරයි

මනුෂ්‍යත්වය මනහරයි

මා ඉපදුණේ ලන්ඩනයේ, තට්ටු ගෙවල් පේළියක. ඒ ප්‍රදේශය අපරාධකරුවන්ට තෝතැන්නක් ව පැවතුණා. මේවා රජයට හිමි කුලියට දෙන තට්ටු නිවාස . මා හැදී වැඩුණේත් මේ තට්ටු නිවාසයකයි. දවසක් මම මගේ අම්මා බලන්නට එහි ගියා. එදා සැන්දෑ කාලයේ ඒ අසල පිහිටි ලංකාවේ පන්සලක දේශනයක් පැවැත්වීමට මා සූදානමින් සිටියා. මා තීරණය කළේ පයින් ඇවිදගෙන ගිහින් දේශනය පැවැත්වීමටයි.


අජාන් බ්‍රහ්මවංසෝ හිමි

අම්මාගේ නිවසේ සිට මා විදුලි සෝපානයෙන් පහළට බසිමින් සිටියා. පහළම තට්ටුවේ වයසක ගැහැනු මනුස්සයෙක් වැටී සිටියා. ඇයගේ සිරුර ලෙයින් තෙත් වෙලා. ඇය කිසිවෙකුගේ ඇස ගැටී තිබූ බවක් පෙනුණේ නෑ.

“සිමෙන්ති පඩියෙන් පෙරළී බිම වැටුණා” ඇය කිව්වා. මේ අසරණ කාන්තාවට උදව් කරන්නට මා තීරණය කළා. ඇය ඔසවාගෙන විදුලි සෝපානයෙන් මගේ අම්මාගේ තට්ටු නිවාසයට ගියා. මගේ අම්මාට ලේ දකින්න බැහැ.

“ඔයාම මේ මනුස්සයා ගැන බලා ගන්න” ඇය කිව්වා.

මා ඒ කාන්තාවගේ ලේ පිස දමා පිරිසුදු කළා. ඒ මොහොතේ හරිම අපූරු දෙයක් සිදුවුණා. තට්ටු නිවාසයේ සියලු දෙනාම වාගේ එතැනට ආවා. ඇයට දැන් සනීපදැ’යි විමසමින් අපට උදව් වුණා. මේ අසරණ කාන්තාව බොහොම වේදනාවෙන් පසුවුණා. පැමිණි සියලු දෙනාම ඇයට උදව් කරන්නට පටන් ගත්තා. ඇය මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටියදී එළියට පැමිණ තිබුණා. අනතුරට ලක් වී තිබුණේ ඒ වෙලාවේ. අසල්වැසියෙක් වහා දිවගොස් ඇයගේ ගෑස් ළිප වසා දැමුවා. තවත් කෙනෙක් ඇයගේ දියණියට මේ සිදුවීම දුරකථනයෙන් දැනුම් දුන්නා. ඒ අතර ගිලන් රථය ද පැමිණ තිබුණා.

මා මෙහිදී ඉතාම ආසා කළ දෙය නම් කෙනෙකුගේ දුකක දී, කරදරයක දී අසල්වැසියන් සියලු දෙනාම එකට එක්කාසුවීමයි. මෙයින් අපට ඉගෙන ගන්නට වැදගත් පාඩමක් තිබෙනවා. ඔබ පි‍්‍රයකරන,ආදරය කරන, ඔබට සමීප කවර හෝ කෙනෙකු පීඩාවන්ට, වදවේදනාවන්ට ගොදුරු වූ විට ඔහුට හෝ ඇයට උදව් කිරීමට, හව්හරණයක් සැලසීමට කදිම අවස්ථාවක් එළඹෙන බවයි. එවැනි අවස්ථා නිසා අප එකිනෙකාට උදව් කරන බවට, දුකේ දී කරදරයේ දී ළඟින් හිඳීනා බවට පෙන්නුම් කිරීමට ඉඩ ලැබෙනවා.

මනුෂ්‍යත්වය ඉතා මනහරයි. මෙවැන්නක් ඒ මනහර බව පෙන්වීමට කදිම අවස්ථාවක්. ඔබ දන්නා හඳුනන කවුරු හෝ කෙනෙක් වද වේදනාවට පත් වු විට පළමු කාරණය ඔබ ඒ මගින් කිසියම් වර්ධනයක් ලබනවා. මේ වගේ දේට මුහුණ දීමෙන් අප තුළ යම් දැඩි බවක් ඇතිවෙනවා. ඒ වගේම යම් ප්‍රඥාසම්පන්න බවක් ඇතිවෙනවා. ජීවිතය පිළිබඳ පාඩම් ඉගෙන ගන්නවා. ඒ වගේම යම් කෙනෙක් වෙනුවෙන් අප තුළ වන කරුණාව මොනතරම් ද යන්න පෙන්වීමට, අසල්වාසීන් අපට කොතරම් සහනයක් ද යන්න වටහා ගැනීමට මහඟු අවස්ථා සලසා දෙනවා.

මේ වගේ දේ සිදුවුණාම අප ඒවා පාලනය කරන්නට යන්නේ නෑ. ඒත් මෙවැනි දේ ජීවිතයේ ම කොටසක් බව තේරුම් ගන්නවා. ඒ විතරක් නොවෙයි. උදාවී තිබෙන දුක වේදනාවන්ට ඔබගේ හදවතේ දොර විවර කිරීමක් ද වෙනවා.

සමාජයේ කිසිවෙකු දුක් වේදනාවන්ට ගොදුරු වී සිටන විට වට පිටාවේ සිටින අයගේ සිත් අවුල් වෙන විදිහට හැසිරෙන්න එපා. සමහරු කාට හෝ විපතක්, කරදරයක් වුණාම මෙහෙම වුණේ මොකද කියා හාරා අවුස්සන බව මා දන්නවා. සම්බුදු දහම් මග යන ඔබ කවදාවත් එවැනි දේ කරන්න එපා. වරදක් සිදු වී ඇතැයි දෝෂාරෝපණය කරන්න යන්න එපා. දඬුවම් කරන්න යන්න එපා .යම් කරදරයක්, විපතක් සිදු වු මොහොතේ ඊට හේතුවුණේ මොනවාද කියමින් හාරා ඇවිස්සීමට අවශ්‍ය නෑ. “මෙය සිදු වුණේ ඒ ඇත්තන් හොදින් රැකබලා නොගත් නිසයි” “මෙය සිදුවුණේ වංචාවකට ගොදුරු වූ නිසයි” ආදී ලෙස හේතු හොයමින් කාලය නාස්ති කරන්න එපා. එවැනි දේ සිදුවීම ස්වභාවයක්. දුක්පීඩාවට ගොදුරු වූ මොහොතේ කළ යුතු දේ මෙහෙම වුණේ ඇයිදැයි සිතමින් කාලය කා දමනවා වෙනුවට අප දැන් කළ යුත්තේ කුමක්ද කියා සිතා බැලීමයි. කරදරයට දුකට, විපතට පත්වූ පුද්ගලයාට පිහිටවීමයි.