පොළොන්නරුව ගල් විහාරයේ ප්‍රතිමා වහන්සේ
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා
Msc
පර්යේෂණ
වසර එක්දහස් පන්සියයක පමණ කාලයක් පුරා අනුරාධපුර රාජධානිය අගනුවර වශයෙන් පැවතුණු බව
වංසකතාවන් අනුව ද පැහැදිලි කරුණකි. අනුරාධපුර රාජධානියට ඒ නාමය භාවිත වුව ද, ඉන්පසු
රාජධානිය වූ පොළොන්නරුවට ඒ සඳහා භාවිත වූ නාමයන් රැසකි. පුළතිසිපුර, විජිතපුර,
කඳවුරුපුර හා විජයරාජපුර ආදි නාමයන් විය.
පොළොන්නරුව චෝල බලයෙන් මුදාගත්තේ මහ විජයබාහු රජතුමා ය. මහා පරාක්‍රමබාහු සහ
නිශ්ශංකමල්ල යන රජවරු පොළොන්නරු රාජධානි සමයේ විශේෂිත වු රජවරු වූ හ. මේ රජවරුන්
අතරේ අපේ රට සහලින් ස්වයංපෝෂිත කර, රට සශ්‍රීක කළ, එමෙන් ම පරසතුරු බලවේග වලින් (
මහ විජයබාහු රජු මෙන්) මේ රට බේරා ගෙන රජ කළ, මහා පරාක්‍රමබාහු රජුගේ ආගමික කටයුතු
අතරේ තුන් නිකාය සමගි කිරීම ද විශේෂිත වන්නේ ය. මේ බව සඳහන් වන මහා පරාක්‍රමබාහු
රජුගේ පොළොන්නරු කතිකාවත සඳහන් වන්නේ උත්රාරාමය හෙවත් ගල් විහාරය නමින් ප්‍රකට වූ
පුදබිමෙහි ය.
පොළොන්නරුවේ ගල් විහාරයෙහි ගලින් නිමවන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ අතුරෙන්
පිළිමවහන්සේ දෙකක් වැඩ හිඳින පිළිම වේ. මින් එක් පිළිමයක් පර්වතයෙහි කණින ලද
විජ්ජාධරගුහාව නමින් හඳුන්වනු ලබන කුඩා ලෙනක් තුළ නෙළා ඇත. අනෙක් විශාල හිඳි පිළිමය
නිමව ඇත්තේ පර්වතයෙහි වම් කෙළවරේ ය. ගල් විහාරයේ ගලෙන් නෙළා ඇති විශාල ප්‍රමාණයේ
බුද්ධ ප්‍රතිමා පොළොන්නරු යුගයට අයත් නිර්මාණ ලෙස නිශ්චිත වශයෙන් දැක්විය හැකි ය.
මේ බුද්ධ ප්‍රතිමා පොළොන්නරුවේ රජ කළ බලවත්ම රජු ලෙස සලකන පළමුවැනි පරාක්‍රමබාහු
(ක්‍රි.ව. 1153-1186) රජුගේ කෘති ලෙස මහාවංසයේ දෙවැනි කොටසේ සඳහන් වෙයි. මේ
ප්‍රතිමා නිමවා තිබෙන පර්වතයෙහි ම කොටා ඇති පොළොන්නරු කතිකාවත නම් ලිපියෙන් ද මේ බව
තහවුරු වේ. නිර්මාණ සංකල්පයෙන් මෙන් ම, කලා සම්ප්‍රදායයෙන් ද මෙම බුද්ධ ප්‍රතිමා
ඉන් පෙර අනුරාධපුර යුගයේ කලාකරුවන් විසින් නිපදවන ලද බුදු පිළිමවල දක්නට ලැබෙන මහා
ප්‍රඥාව හා මහා කරුණාව වැනි බුදුරජාණන් වහන්සේ ගේ අභ්‍යන්තර ගුණ වගාවන් පොළොන්නරු
යුගයේ ශිල්පීන්ගේ බුදුපිළිම වලින් මැනවින් හෙළිදරව් නොවේ. එහෙයින් නිර්මාණ සංකල්පය
අනුව බලන විට බෙහෙවින් වෙනස් බව පැහැදිලි ය .ලෝකය ජයග්‍රහණය කළ බව දක්වන අඩවන් නෙත්
ද ආනන්දයෙන් ප්‍රමුදිත වු ලක්ෂණ කියාපාන සෞම්‍ය සිනහ රැල්ලකින් හෙබි පූර්ණ දෙතොල් ද
අනුරාධපුරයේ බුදු පිළිමවල ප්‍රකටව පෙනෙන ලක්ෂණයන් වේ. ඉන්ද්‍රිය දමනයෙන් අත් කරගත්
ලෝකෝත්තර සුවයත්, මමත්වය නැති කිරීමෙන් ලබාගත් සකල සත්වයා කෙරෙහි පතළ මහා කරුණා
ගුණයත් ප්‍රකටව පෙනෙන ලක්ෂණ අනුරාධපුර බුද්ධ ප්‍රතිමාවන්ගෙන් එළිදැක්වේ. මෙම
ප්‍රතිමා පුරාණ ශ්‍රී ලංකාවේ කලා ශිල්පීන් අතින් නිම වු ශ්‍රේෂ්ඨ කෘතින් ලෙස
හැඳින්විය හැකි යැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. ( මූර්ති කලාව ,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශත සංවත්සරය වෙනුවෙන් පළ කළ සමරු කළඹ හතරවන වෙළුම
පණ්ඩිත ආචාර්ය නන්දදේව විජේසේකර සංස්කරණය කළ ග්‍රන්ථයට මහාචාර්ය එච්.ටී. බස්නායක
මහතා ලියූ ලිපිය පි. 99-1990)
ගල් විහාරයේ හිටි බුදුපිළිමය
මේ පිළිබඳ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා මෙසේ සඳහන් කරයි. හිඳි ඉරියව්වෙන් සිටින
පිළිම දෙකක් හා එක් සැතපෙන පිළිමයක් ද යනුවෙන් මහා පරාක්‍රමබාහු රජු බුද්ධ
ප්‍රතිමාවහන්සේ තුන් නමකට ගුහා තුනක් පමණක් ඉදි කළ බව වංසකතාවේ සඳහන් වේ. එසේ නම්
අඩි 23 උසැති මේ හිටි පිළිමය කුමක් විය හැකි ද? තවත් පිළිමයකට තිබූ ඉඩ ප්‍රමාණයක්
සම්පූර්ණ කිරීම උදෙසා විශේෂයෙන් ම බුදුරජාණන් වහන්සෙගේ එක් අමතක වූ ඉරියව්වේ
බුදුපිළිමයක් මෙම බුදු පිළිමවලට එක් කිරීම උදෙසා විශේෂයෙන්ම පසු කලෙක දී මේ බුදු
පිළිමය කරවන ලද්දක් විය හැකි ය. අප මේ තාක් නොදන්නා කිසියම් පුද්ගලයෙකු විසින් එම
හිස් බව නැතිකොට පිළිමයක් එහි නෙළා සම්පූර්ණ කොට ඇත. ප්‍රතිමාවේ ශෛලිය දෙස බලන විට
මදක් දුරට හෝ මෙම යුගයට අදාළ ලක්ෂණ පිළිබිඹු කරවයි. කෙසේ වෙතත් පිළිගත් විශ්වාසයන්ට
අනුව වත්මන් ප්‍රතිමාවට සම්බන්ධිත ව පිහිටි සැතපෙන ඉරියව්ව සහිත ප්‍රතිමාවෙන්
දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයයි. පසෙක බුදුරජාණන් වහන්සේ ගේ
ප්‍රධාන ශිෂ්‍යයා වු ආනන්ද හිමි සොවින් වැඩ සිටින ආකාරයට නිර්මිත පිළිමයකැයි
පිළිගැනීම තවදුරටත් දුෂ්කර ය. පොකුටු හිසකෙස් සහිත පද්මාසනයක් මත පිහිටි මෙම
ප්‍රතිමාව බුදුරජාණන් වහන්සේ නිරූපණය කෙරෙන බවට සැකයක් නැත.
මෙම ප්‍රතිමාව බුදුරජාණන් වහන්සේගේ යැයි සලකතොත් දෑත්වලින් සංකේතවත් කරන මුද්‍රාව
නිසා මතවාද දෙකක් ගොඩනැගේ. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතය වන්නේ බුදුරජාණන් වහන්සේ
අනුන්ගේ දුකෙහි දී දුක්වන පරදුක්ඛිත ගුණය එම පිළිමය මගින් ඉදිරිපත් කරන බවයි.
මහාචාර්ය ලීලානන්ද පේ‍්‍රමතිලක මහතා විසින් ඉදිරිපත් කර ඇති නවතම මතය වන්නේ බුදු බව
ලැබීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් උපකාර කළ බෝධි වෘක්ෂයට කළ ගුණ සැලකීමක් වශයෙන් දෙවන
සතියේ දී අනිමිස ලෝචන පූජාවෙන් උපහාර දැක්වීම මෙයින් පිළිබිඹු වන බවයි. මේ නිසා එම
සිදුවීම අපට යළි සිහිපත් කිරීම උදෙසා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියේ (මෙකල මධ්‍යම
සංස්කෘතික අරමුදලේ) නිලධාරීන් විසින් එහි බෝධි වෘක්ෂයක් මෑතක දී රෝපණය කරන ලදී .
මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා දෙවන මතය සහමුලින් ම බැහැර කරන අතර මහාචාර්ය
සෙනරත් පරණවිතාන මහතාගේ මුල් මතය ද බැහැර කරයි.
( පොළොන්නරුව – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 207 -208 (1998 පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි)
මෙම හිටි පිළිමය පහසු ඉරියව්වකින් පද්මාසනයක් මත වැඩසිටිනා පිළිමයේ වම්පාදය දන හිස
පෙදෙසින් මදක් නැමී තිබීමෙන් කර එසවීමෙන් ද තරමක ආභංග ස්වරූපයක් එහි ප්‍රකට වේ. ඒ
හෙයින් මෙම පිළිමය පොළොන්නරුවේ තිවංක ප්‍රතිමාඝරයේ පිළිමයට සමීප බවක් දක්වයි.
මනා පරිමාණයෙන් යුත් දේහ ලක්ෂණ, පහසු ඉරියව්ව හා මුහුණේ සමාධි ලක්ණයද ප්‍රතිමාවේ
සෞන්දර්යාත්මක අගය කෙතරම් වැඩි කරලන්නේ ද යත් මහා පුරුෂයාණන් තුළ ඒ උතුම් අවස්ථාවේ
වූ කෘතවේදි ගුණය නරඹන්නාවුන්ට ද සංවේදී වන්නේ ය. (ශ්‍රී ලංකා මූර්ති බුද්ධ
සංස්කාරකවරු මහාචාර්ය නන්දන චූටිවොග්ස්, මහාචාර්ය ලීලානන්ද පේ‍්‍රමතිලක, ආචාර්ය
රෝලන්ඩ් සිල්වා මධ්‍යම සංස්කෘතික අරමුදල පි. 66-(2005) |