Print this Article


ජීවිතයටත් ඕනෑ අඩිතාලමක්

ජීවිතයටත් ඕනෑ අඩිතාලමක්

පින්වතුනි, දවසක් ද්‍රෝණ නම් බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි, නුඹ වහන්සේ කවුද? නුඹ වහන්සේ දෙවියෙක් ද? ‘නැත. බ්‍රාහ්මණය මම දෙවියෙක් නොවෙමි’. ‘නුඹ වහන්සේ ගාන්ධර්වයෙක්”ද? “නැත. බ්‍රාහ්මණය, මම ගාන්ධර්වයෙක් නොවෙමි”. නුඹ වහන්සේ මනුස්සයෙක් ද? නැත බ්‍රාහ්මණයා මම මනුස්සයෙක් ද නොවෙමි. එසේ නම් ඔබ වහන්සේ කවුද?,

උත්තරීතර මනුෂ්‍ය ලෝකය තුළ සැගවුණ සත්‍යය දේශනය කළ උත්තරීතර මනුෂ්‍යයාණන් වහන්සේ කොච්චර වටිනවද? උන්වහන්සේ අපට සත්‍යය දේශනා කළ සේක. එදා සුබ මානවක අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි, මේ ලෝකේ දුක සැප කියා දෙකක් තියෙනවා. නිතරම බුද්ධි ගෝචර මනසකින් යුතුව ලෝකෙට මුහුණ දෙන්න. සසරේ ගෙනා පුරුදුවලට නේද අදත් අපි වැඩ කරන්නේ. හොඳ නරක කියන දේ තෝරලා බේරලා වටහා ගන්න ඕනෑ. එතකොට තමයි ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන්. නිතරම ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න ඕනෑ. ජීවිතේ නිතරම ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරන්න ඕනෑ. ජීවිතයටත් ඕනෑ කරනවා අඩිතාලමක්. අපි නිවසක් හැදුවත් ඒකට හරියට අඩිතාලම නොදැම්මොත් මොකද වෙන්නේ. ඒ වගේ අපේ ජීවිත වලටත් අඩිතාලමක් ඕනෑ කරනවා. ඉවසීම පුරුදු කරගන්න ඕනෑ. අනේ ඔය හැම ගුණයක්ම තුන් ලොවක් සැනසූ මහා නිදුකාණන් වහන්සේ ළඟ තිබුණනේ.

පින්වතුනේ...දවසක් සච්චක බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහපු හැටි මතකද? අනේ බුදු කරුණාව, ඉවසීම කොච්චර වටිනවද? සච්චක ප්‍රශ්න අහලා හැම දෙනාම පරදවපු කෙනෙක්. බුදුහාමුදුරුවෝ ළගටත් ගිහින් කොහොමහරි මම දිනනවා කියා බුදුහාමුදුරුවෝ වෙහෙසට පත් කරන්න දිගටම ප්‍රශ්න අහනවා. ඉවසීමෙන් බුදුහාමුදුරුවෝ ඒ ප්‍රශ්න ඉදිරියේ සච්චක දමනය කළා. සච්චක ඒ වාදයෙන් පැරදුණා. බුදුහාමුදුරුවෝ උසස් අයයි, පහත් අයයි කියා වෙනසක් නැතිව බණ දේශනා කළා.

අපි මොන දෙයක් කරන්න ගියත්, ඒ දේ කරන්න කලින් එයින් ලැබෙන ප්‍රතිඵලය හොඳ දෙයක්ද? නරක දෙයක්ද? කියා සිහි කරන්න ඕනෑ. එතකොට ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ. යමක ආශ්වාදය ලබන්න කලින් ආදීනව සිහි කරන්න. සත්ව ඝාතනය හොඳ නැහැ. පුංචි කුරා කුහුඹියෙකුට පවා මෙත් වඩන්න පුරුදු වෙන්න. ඒක ජීවිතවලට ලොකු ආශිර්වාදයක්. සතා සර්පයා පවා තමන්ගේ ජීවිතේට ආදරය කරනවනේ. බුදුහාමුදුරුවෝ කාලාමයන්ට දේශනා කළ සූත්‍රය කාලාම සූත්‍රයයි. කාලාමයන් කියන්නේ හැම දෙයක්ම දන්න අයයි. කිසිම දෙයකින් අඩුවක් නැති උගත් අයයි. බුදුහාමුදුුරුවෝ ඒ අයට බණ කිව්වේ අනිත් අයට දේශනා කරන ආකාරයට නෙමෙයිනේ.

පින්වතුනේ...එදා සුන්දරීය මරලා බුදුහාමුදුරුවන්ටයි අනිත් භික්ෂූන් වහන්සේලාටයි අවමන් කරන්න සුන්දරීගේ මළකඳ හැංඟුවණේ. ශ්‍රමණ බවත් ගෞතමයන් සහ භික්ෂූන් වහන්සේලා තමයි මේ අපරාධය කළේ යැයි මහා ඝෝෂාවක් ඇති වුණා. භික්ෂූන් වහන්සේලාට මේ ගමේ අය කරදර කරනවා. ඉතින් භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේක මහා කරදරයක්. අපි කරපු දෙයකුත් නෙමෙයි.

මේ මිනිසුන්ගෙන් බේරෙන්න බැහැ. ඒක නිසා භාග්‍යවතුන් වහන්ස මේ ගම අත හැරලා වෙන ගමකට යමු.” මහණෙනි, හොඳයි එහෙම ගියා කියමුකෝ, ඒ ගමෙනුත් මේ විදියේ කරදර ආවොත්.” ස්වාමීනි, අපි එතකොට වෙන රටකට යමු. ස්වාමීනි, එහෙම වෙන්න ඕනේ නැහැ. මහණෙනි, බොරු කියන්නෝ ද, යමක් කොට නැතැයි කියන්නෝ ද දෙපිරිසම සතර අපායට යන්නෝ ය. බලන්න, බුදු වචනයේ ලස්සන. සිල්වතුන්ගේ, ගුණවතුන්ගේ ජීවිත කොච්චර වටිනවද? සිල්වතුන්ගේ ගුණවතුන්ගේ කටින් පිටවෙන වචනය පවා රටටම ආශිර්වාදයක්නේ.

දවසක් මුගලන් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීනි. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අපට කියනවා පැන් පෙරා බොන්න කියා. බුදුහාමුදුරුවෝ භික්ෂූන්ට පැන් පෙරා වළඳන්න කිව්වේ පැන්වල පුංචි පුංචි සත්තු එහෙම හිටියොත් මැරෙන නිසා. ඒ පැන් පෙරා පෙරහන්කඩය මිරිකන්නේ නැතිව තියන්න. ඒත් ස්වාමීනි පෙරපු පැන් භාජනය මා අධිෂ්ඨානය කරලා බැලුවම තවත් කුඩා සතුන් ඉන්නවනේ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මුගලන් මම ඔබට පැන් පෙරලා බොන්න මිසක් පෙරපු පැන් අධිෂ්ඨාන කරන්න නෙමෙයිනේ. පින්වතුනේ එහෙම වුනොත් බොන්නවත් යමක් ලැබෙනවද? කිසිම දෙයක අන්තයට යන්න එපා. මැදුම් පිළිවෙතට නිතරම ජීවිතේ හැඩගස්වා ගන්න . මේ ධර්මය අමාරු නැහැ. කාටත් එක සේ පිළිපදින්න පුළුවන් දහමක් නේ. අප යමක් දැක්කම එවලෙම ඒක මෙහෙමයි කියලා තීරණයකට එන්න හොඳ නැහැ.

සඤා විඤා ප්‍රඤා කියා. කිසිම දෙයක් දුටු ගමන් අපට තීරණය කරන්න, ස්ථීරවම කියන්න බැහැ. එතකොට පුංචි දරුවකු දිලිසෙන නිසා යමක් අහුල ගත්තා. ඒ තමයි සඤා. එතකොට අම්මා දරුවා ගෙනාපු දේ හරියටම දන්නේ නැහැ. රත්තරන් ද කියලා. අම්මා ගෙන ගියා හරියටම ඒ ගැන දන්න රන්කරුවා ළඟට. අම්මා තීරණය නොකරපු නිසා ඒ තමයි විඤා. රන්කරුවා ස්ථීරවම දන්නවා මේක රත්තරන් ද මාත්තු ද කියා. එයා තීරණය කළා. ඒ කියන්නේ එයා මේ වැඩ ගැන අවබෝධයක් තියෙන කෙනෙක් නිසා. එතකොට එයා ප්‍රඤා.දැන් තේරුණාද? බුදුගුණ බලයෙන් සියලු දෙනාටම සැනසිල්ලක් ම වේවා!