Print this Article


ඒහි පස්සික 05 : හැම නිමේෂයකම සොයන්නේ සතුටයි

හැම නිමේෂයකම සොයන්නේ සතුටයි

යම්කිසි කෙනෙක් සීලය ආරක්ෂා කිරීමෙන් ඒ තැනැත්තාගේ සිහිය, නුවණ, වීර්යය, අධිෂ්ඨානය වර්ධනය වී ක්‍රමානුකූලව සීලය නොකැඩෙන මට්ටමේ මනසිකාර ස්වභාවයක් තිබෙනවා. ඒ සමඟ අවබෝධයත් වැඩෙන විට සීලය ආරක්ෂා කරන තැනැත්තාට පාණාතිපාතා වේරමණී.... පමණක් නොව ආරති, විරති, පටිවිරති වේරමණී, අදින්නාදානා වේරමණී පමණක් නොව ආරති. විරති පටි විරති වේරමණී ආදී වශයෙන් කුමක් සිදුවේදැයි බලමු. රතිය නම් ඇලීමයි. ආරති යනු නොඇලීමයි. විරති යනු ඇලීමෙන් වෙන්වීමයි. පටිවිරති යනු ඇලීමෙන් සම්පූර්ණ වෙන්වීම යි. එසේ නම් යම්කිසි කෙනෙක් තුළ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමෙසුමිච්චාරය, මුසාවාදා, සුරාමේරය ආදී වශයෙන් ප්‍රාණඝාතයෙහි යෙදීමෙහි ඇති කැමැත්ත පවා මේ ප්‍රතිපත්ති මාලාවේ ඉදිරියට යාමෙන් අයින් වී යනවා.

උදාහරණයක් ලෙස කෙනෙක් බොරු කියනවා නම් ඒ තැනැත්තා එය වළක්වාගෙන ඉන්නවා. ඒත් අමාරුවෙන් සිටියේ ඒ අර ඇල්ම පවතින නිසයි. එහෙනම් ඒ ඇල්ම පවා නැති වෙන්න පටන් ගන්නවා අර ප්‍රතිපත්ති මාලාව පවත්වාගෙන යාම තුළින්.

මේ බව දවසින් දවස දැනගෙන සිහියෙන් එය වර්ධනය කළොත් ප්‍රාණඝාත ආදිය සිදුවීමට තිබෙන ඉඩකඩ එන්න එන්නම අඩු වී ගෙන යනවා. ඉතා පහසුවෙන් ම ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන් ආදී වශයෙන් වැළකීමේ තත්ත්වයට පත්වෙන්නට පටන් ගන්නවා. එසේ පටන් ගන්නේ මනසේ ඇතිවන මානසික ගුණාංග සමග යි.

ඊට අමතරව සිදුවන දෙය නම් අර සීලය ආරක්ෂා කරන තැනැත්තා තුළින් සීලය කැඩෙන වාර ගණන අඩුවෙනවා. මත් වතුර බොන අය ඒ වෙලාවේදී සතුටු වෙනවා. සොරකම් කරන අය ඒ වෙලාවේ දී සතුටු වෙනවා. කාමයෙහි වරදවා හැසිරෙන අයත් ඒ අවස්ථාවේ දී සතුටු වෙනවා. එහෙත් පසුව තේරුම් ගිය විට මහා පංචස්තාපයක් ඇති වෙනවා.

සමහර විට සමහර වෙලාවට මත් වතුර පානය කරන අය එය නතර කර ගැනීමට උත්සාහයක් දරනවා. එහෙත් එසේ නතර කර ගැනීමට බැරි වෙනවා. එතෙක් ටිකෙන් ටික දවසින් දවස ඉහත කී අයුරෙන් අඛණ්ඩ උත්සාහයක් ගත හොත් නොදැනුවත්ම ඒවා පහසුවෙන් නතර කර ගත හැකි දවසක් උදාවෙනවා. ඊට මත්තෙන් සමහර විට වරදක් සිදු වූ තැනැත්තාගෙන් එය පෙර පරිදි මෙන් නොව වෙනස් වී දිනපතා සිදු වූ වරද දවස් දෙකකට වරක්, තුනකට වරක්, හතරකට වරක්, අටකට වරක් සිදුවීමට පටන් ගන්නා ආකාරය ක්‍රමානුකූලව අත්දකින්න පුළුවන්. අප ඒ ගැන අදහසින් පසුවුවහොත්, ඒ අයුරෙන් සීලය දවසින් දවස ආරක්ෂා වන කාලය වැඩිවෙන කොට හරිම පුදුම දෙයක් සිදුවෙනවා. ඒ තමයි තමාගේ චිත්ත අභ්‍යන්තරයෙන් ප්‍රමෝදය හෙවත් දුර්වල පී‍්‍රතියක් උපදිනවා.

යම්කිසි කෙනෙක් අදත්තා දානය සිදුකර එහෙමත් නැතිනම් තමා කැමැති දෙයක් සොරකම් කරගෙන සන්තෝෂ වෙන ක්‍රමවේදයන් පමණක් නොව ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවා සන්තෝෂ වන ක්‍රමවේද ලොවෙහි කොතෙකුත් තිබුණත් එසේ ලබන සතුට ක්ෂණයක පීඩනයක් බවට පත්වෙනවා. එතෙක් සීලය ආරක්ෂා කළ නිසාම යම් සතුටක් ඇති වෙනවා නම් ඒ සතුට තාවකාලික සතුටකට වඩා මහත් සතුටක් බවට පත්වෙනවා. එසේ නම් අපේ චිත්ත සන්තානයෙහි විශාල සතුටක් ඇති කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා පමණක් නොව නිබඳව සතුටෙන් ඉන්න පුළුවන් තත්ත්වයකට පත්වන්නෙ සීලාදී ගුණ ධර්ම හරියට නිසි ලෙස ආරක්ෂා කිරීමෙනි.

අප නොසිතන එක් දෙයක් තිබෙනවා. අපේ සිත හැම මොහොතකම සොයන්නේ සතුටයි. හැම නිමේෂයක ම සොයන්නෙ සතුට. ඉගෙන ගන්න දරුවෙක් ඉගෙන ගන්න මහන්සි ගන්නෙ සතුටෙන් ඉන්නයි. සිල් ආරක්ෂා නොකරන තැනැත්තාත් බලන්නෙ සුළු වෙලාවක හෝ සතුටක්, දරුවන් හදා වඩා ගැනීම, ගෙවල් දොරවල් තනා ගැනීම, විවාහවීම ආදී සෑම දේකම අරමුණ සතුට ඇති කර ගැනීම යි. එහෙත් ඒ හැමදේකම පවතින්නේ තමන්ගේ හිත සතුටු කර ගන්නා වැඩ පිළිවෙලක්. නමුත් එසේ සිත සතුටු කර ගැනීමට කෙතරම් උත්සාහ කළත්, එය කැඩී බිඳී නැති වී යනවා. ඊට හේතුව බාහිර වස්තු නිසා හටගන්නා සතුටක් නිසයි. බාහිර වස්තුවලින් ඇතිවන සතුට ට වඩා සිල් ආරක්ෂා කර ගැනීමෙන් අත්වන, උදාවන සතුට උල්පතකින් ගලන දිය පහරක් වගේ අභ්‍යන්තරයෙන් නැගෙන හේතුවක් සොයා ගැනීමට අපහසු තමන්ගේ අභ්‍යන්තරයෙන් විශාල ප්‍රබෝධයක් ඇතිවන තත්ත්වයට පත්වන සතුට ඒ සිල් ආරක්ෂා වන නිසාම යි.