වරදට නතු සිත ළඟම සතුරා ඇත
හක්මන බෙරුවේවෙල
ශ්‍රී සෞගතාරාම පුරාණ විහාරය,
හක්මන ඇල්ලේවෙල
ශ්‍රී අස්වත්ථාරාම පුරාණ විහාරය
හක්මන දෙනගම
ශ්‍රී මුණසිංහාරාම විහාරාධිපති
අතපත්තුකන්දේ
ආනන්ද හිමි
" සමාජ ගත පුද්ගලයාට නිරන්තරයෙන් ම සමාජීය විවිධ පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම් සමඟ
කටයුතු කිරීමට සිදුවීම සාමාන්‍ය ස්වභාවයකි. ඔවුන් අතර මිතුරන් මෙන්ම හතුරන් සේ ම
මැදහත් ගති ලක්ෂණ ඇත්තෝ ද වෙති. මිතුරන් සමීපව සිටියත් සතුරන් වශයෙන් සැලකෙන අය
සමීප කර නොගන්නවා මතු නොව ඔවුන් සිටින්නේ ද ඉතා දුරිනි."
“දිසෝ දිසං යං තං කයිරා
වේරිවා පන වේරිනං
මිච්ඡා පනිහිතං චිත්තං-
පාපියෝනං තතෝ කරේ”
සොර සතුරෙකුගෙන් සිදු කෙරෙන විපතකට වැඩි විපතක් වරදට යොමු කළ සිතින් සිදු කෙරේ.
සොර සතුරන් පිළිබඳව ඕනෑම කෙනෙකුට ඇත්තේ බියකි. එසේ වන්නේ ඔවුන් සිදු කරනුයේ
හානියක්, පාඩුවක් මතු නොව විපතක්, විනාශයක් ම වන නිසා ය. සොරුන් සතුරන් පිළිබඳ
ඉතිහාසය මානව සමාජයෙහි සමාරම්භය තෙක් දිවෙන්නෙකි. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ
ධර්ම දේශනාවන් හි දී ඇතැම් විට උපමා වශයෙන් සොර සතුරන් භාවිත කර ගනිමින් ධර්මය
දේශනා කළ අවස්ථා දක්නට ලැබේ. එපමණක් නොව බියකරු වූ සොරුන් විසින් මුගලන් මහ රහතන්
වහන්සේ ආදී තෙරුන් වහන්සේලාට දරුණු ලෙස පහර දුන් අවස්ථා පිළිබඳව සඳහන් ය. බුද්ධ
කාලීන සමාජයෙහි හොරුන්, මං පහරන්නන් ආදී විෂම සමාජ කොට්ඨාස පිළිබඳ ත්‍රිපිටක
සාහිත්‍යයෙහි බොහෝ වාර්තා දක්නට ලැබේ. ඉහත දේශනයේ දී ද භාග්‍යවතුන් වහන්සේ තමන්
වහන්සේට අසන්නට, දකින්නට ලැබුණු සොරෙකු පිළිබඳ වූ සංකල්පය ඉතා මැනවින් භාවිත කොට
ඇති අයුරු දැකගත හැකි ය.
මෙහි ‘දිසෝ’ යන පාලි වචනයෙන් ‘සොරා’ යන අර්ථය ලබා දේ. ‘පරේ දෙස්සති න පටියායති පරේ
හිත්වා දෙස්සියති පියෝ න කරිස්ස තිති දිසෝ’ යන විග්‍රහය අනුව අන්‍යයන් අපි‍්‍රය කරන
අර්ථයෙන් ද එම නමින් හඳුන්වා ඇත. ‘දිසෝ දිසං’ යනු සොරෙකු විසින් තවත් දරුණු සොරෙකු
දැක ඔහුගෙන් තමාට සිදු විය හැකි විපත් පිළිබඳව පමණක් නොව, තමා ඉක්මවා යාම ද මතු නොව
ඔහුගෙන් සිදු විය හැකි විවිධ බලපෑම් පිළිබඳ සිතා ඔහු විනාශ කර දමනු ලැබේ. මෙය විශ්ව
ව්‍යාපී වූ සර්ව කාලීන ක්‍රියාදාමයක් බව වර්තමාන ලෝකයෙහි එබඳු පුද්ගලයන් හා
කණ්ඩායම් අතර සිදු කෙරෙන විවිධ ගැටුම්වලින් පැහැදිලි වේ. පසුගිය කාල සීමාවෙහි මෙරට
එබඳු සංවිධානාත්මක අපරාධකරුවන් හා අපරාධ කල්ලි අතර ඇති වූ ගැටුම් මේ සඳහා ඉතා උචිත
සාධක ලෙස දැක්විය හැකි ය. ‘වේරිවා වේරීනං’ යනුවෙන් දක්වා ඇත්තේ ද ඉහත ආකාරයෙන්ම
වෛරී පුද්ගලයෙකු හෝ පුද්ගලයන්, තවත් එබඳුම වෛරී පුද්ගලයෙකු හෝ පිරිසක් තමන්ට කළ
විනාශයක් හෝ විපතක් පිළිබඳ බැඳගත් වෛරයෙන් යුතුව මිනිස් ඝාතන, පැහැර ගැනීම්, ආදී
විනාශයන් මඟින් පළිගැනීම්වල නිරත වේ. සොරුන්,සොරුන් අතරත්, අපරාධ කල්ලි, අපරාධ
කල්ලි අතරත් සිදුවන ගැටුම්වලින් පැහැදිලි වන්නේ එම සර්ව කාලීන ක්‍රියාදාමය බව ඉතා
පැහැදිලි ය. ‘මිච්ඡා පනිහිතං චිත්තං’ යන්නෙන් දක්වා ඇත්තේ වරදට යොමු කරන ලද සිත
පිළිබඳව ය. ඉහත සඳහන් කරන ලද සියලු සිදුවීම් හා පුද්ගලයා සියලු විපත් සඳහා ඇද
දමනුයේ මෙසේ වරදවා තබන ලද සිත බව මැනැවින් පෙන්නුම් කොට තිබේ. එහි අවසන් ප්‍රතිඵලය
වන්නේ ‘පාපියෝ කරේ’ යනුවෙන් දැක්වෙන පරිදි පවට යොමු කරන ලද සිත නිසා පවිටෙකු වනවා
මතු නොව සසර පුරා අතිශය දුක් පීඩාවන්ට පත්වන බව ය.
දොරගුළු දමමින්, පවුරු පදනම් බඳිමින් සියල්ලෝම තම ආරක්ෂාව හා තමන් උපයා සපයා ගත් දෑ
සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා උපරිම උත්සාහයක යෙදෙන බව නොරහසකි. දේශ
දේශාන්තරව ද තම ආරක්ෂාව සඳහා විවිධ බලමුලු යොදවමින් ඔත්තු සේවාවන් ක්‍රියාත්මක
කරමින් යොදා ගන්නා විවිධ ආරක්ෂක ක්‍රමෝපායයන් ඇත. පෞද්ගලිකව තම ආරක්ෂාව පිළිබඳ
විවිධ පුද්ගලයන් විවිධ ආරක්ෂක ක්‍රියා මාර්ගයන් යොදා ගන්නා ආකාරය ද රහසක් නොවේ.
ආයතන වශයෙන් හෝ රාෂ්ට්‍ර වශයෙන් හෝ ක්‍රියාත්මක කෙරෙන විවිධ ආරක්ෂක විධීන්
පෞද්ගලිකත්වය ඉක්මවා ලූ ජීවිත හා දේපළවල ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වන අයුරු දක්නට
ලැබේ. වෛරී චේතනාවන්ගෙන් යුතුව පුද්ගලයන්, පුද්ගලයන් වශයෙන් ද, එබදු කණ්ඩායම් ඇති
කර ගන්නා ගැටුම් හා විනාශයන් ද බහුල වශයෙන් දැක ගත හැකි ය. ඇතැම් විට පාතාල
කණ්ඩායම් නමින් හඳුන්වන එබඳු සැඟවුන සදාචාර විරෝධී ඇතැම් සමාජ කණ්ඩායම් එබඳුම සමාජ
කණ්ඩායම් අතර ඇති කරගන්නා බිහිසුණු සැහැසි ක්‍රියා නිසා ඔවුනොවුන් විනාශවන අයුරු
මෑත කාලීනව අපි කොතෙකුත් දැක ඇත්තෙමු. ‘දිසෝ දිසං’ සහ ‘වේරිවා පන වේරිනං’ යන
උපමාවලින් පෙන්වා දී ඇති එම උතුම් ඉගැන්වීම වර්තමානය තුළ ක්‍රියාත්මක ඉහත
සිදුවීම්වලින් සාන්දෘෂ්ටිකව එළිපෙහෙළි වීම බුදු දහමෙහි අකාලික බව මැනවින් ප්‍රකට
වීමකි.
සමාජ ගත පුද්ගලයාට නිරන්තරයෙන් ම සමාජීය විවිධ පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම් සමඟ
කටයුතු කිරීමට සිදුවීම සාමාන්‍ය ස්වභාවයකි. ඔවුන් අතර මිතුරන් මෙන්ම හතුරන් සේ ම
මැදහත් ගති ලක්ෂණ ඇත්තෝ ද වෙති. මිතුරන් සමීපව සිටියත් සතුරන් වශයෙන් සැලකෙන අය
සමීප කර නොගන්නවා මතු නොව ඔවුන් සිටින්නේ ද ඉතා දුරිනි. එසේ දුරින් සිටින බාහිර
සතුරන්ගෙන් විය හැකි බොහෝ උවදුරු පිළිබඳ බොහෝ විට සිතා බලමින් ඒවායින් අත් මිදීම
සඳහා විවිධ රැකවල් යොදමින් ක්‍රියා කිරීම නොරහසකි. මෙසේ බැහැරින් සිටින සතුරාගෙන්
සිදුවන හානිදායක සිදුවීම්වලින් අත්මිදීම සඳහා යොදන ඇතැම් ක්‍රියා මාර්ග යොදනුයේ
අධ්‍යාත්මිකව තම සිත විවිධ වැරැදිවලට යොමු කරමින් දූෂිත වූ මනසකින් යුතුව ය. බාහිර
සොර සතුරෙකුගෙන් ඇතැම් විට සිදුවිය නොහැකි වූ බරපතල හානියක් දිගු කාලීනව මෙසේ වරදට
යොමු කළ සිත නොපෙනෙන සතුරෙකු මෙන් සිදු කරන ආකාරය භාග්‍යවතුන් වහන්සේ විසින් දක්වා
ඇති ආකාරය කෙතරම් තාර්කීක ඉගැන්වීම් ක්‍රමයක් දැයි සිතා බැලිය යුතුව ඇත. එසේම වෛර
සහගත පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් තම වෛරී හැඟීම නිසා බොහෝ විනාශයන් සිදුකරනවා මතු නොව
ඔවුනොවුන් දීර්ඝ කාලීනව විනාශ වී යන ආකාරය ඉතා ප්‍රකට ය. සනාතන ධර්මයක් වූ වෛරයෙන්
වෛරය නොසංසිඳීමේ ක්‍රියාවලිය ද දහමින් මනාව දක්වා ඇති අතර එසේ සිදු කරගන්නා
අනර්ථයන්ට ද වැඩි අනර්ථයක් අයහපතට යෙදවූ සිත නිසා සිදු කරගන්නා බව තථාගත දේශනාව ය.
සිත වරදට යොමු කිරීම නිසා සිදුවනුයේ කර්මය හා කර්මඵලය විශ්වාස නොකිරීම ය. එසේම එබඳු
පුද්ගලයෙකුට කළ නොහැකි අයහපතක් ද නැත. මේ නිසා නිර්මාණය වන පුද්ගලයාගේ තිදොරින් ම
සිදුවනුයේ අයහපතක් මිස යහපතක් නම් නොවේ. එබඳු පුද්ගලයන් මෙලොව දී ලබන පරිභව, වද
බන්ධන මෙන් ම පරලොව දී අපායගාමී වන නිසා ඔවුන් දහමින් හඳුන්වා ඇත්තේ පාපකාරීන්
වශයෙනි.
තථාගතයන් වහන්සේගේ මෙම උතුම් දේශනය සඳහා පාදක වී ඇත්තේ නන්ද නම් වූ ගව පාලකයෙකි.
හෙතෙම අනේපිඬු සිටුතුමාගේ ඉතා සමීප හිතවත් සේවකයකු වශයෙන් දක්වා තිබේ. සිටුතුමාගේ
ගවපාලනය මැනැවින් සිදු කළ මොහු ඉතා ඉසුරුමත් පුද්ගලයෙකු, කෘතවේදී පුද්ගලයෙකු වූයේ
ය. එහෙත් ඉසුරු මදයෙන් මත් නොවූයෙක් විය. නිරහංකාර වූ මෙම ගෝපාල තෙමේ නිරන්තරයෙන් ම
සිටු මැදුරට පස් ගෝ රස සපයන්නා ද වූයේ ය. සිටුතුමාගේ කාරුණික පිළිගැනීමට හා
මිත්‍රත්වයට පත්ව සිටි මොහු නිතර දෙව්රම් වෙහෙර ඇසුරු කළේ තෙරුවන් පිළිබඳ ව වූ සිත
තවත් ප්‍රසන්න වීමට හේතු වුණි. මෙම ප්‍රසන්නතාවය නිසා බුද්ධ ප්‍රමුඛව තම නිවසේ දී
දන්දීම ද සිරිතක් කොටගෙන සිටි ගව පාලක එක් දිනක් බුදුරදුන් ඇතුලු මහ සඟරුවන නිවසට
වැඩමවා විශේෂ පුණ්‍යකර්මයක් සිදුකිරීමට තීරණය කරන ලදී. ඒ අනුව මහා සඟරුවන වඩින
මංපෙත් අලංකාරව සරසා ලූ යේ ය. සත් දිනක් වැඩ සිටීම සඳහා ඉතා සිත්කලු සෙනසුන් වෙන්
වෙන්ව පිළියෙළ කිරීම ද සිදුකොට දුටු දුටුවන්ගේ සිත් සතන් ප්‍රමෝදයට පත්වන අයුරින්
සත් දිනක් පුරා පූජා පින්කම් පවත්වමින් පස්ගෝ රසයෙන් යුතුව ප්‍රණීතව දන් පූජා
කෙරිණි. පින්කමෙහි අවසන් දින මෙම විසිතුරු පින්කම් පිළිබඳ අනුමෝදනා බණ අසන ලද නන්ද
ගෝපාලයෝ සෝවාන් බවට පත්වූයේ බුදුරදුන් ප්‍රමුඛ භික්ෂූන් ආපසු වඩින විට බොහෝ දුරක් ඒ
පසු පසම ගමන් ගත්හ. අනතුරුව ආපසු නිවසට යන්නැයි තථාගතයන් වහන්සේගේ විධානයෙන් නැවත ආ
මග ගමන් කරනුයේ අතර මගදී වැද්දෙකුගේ හී පහරකින් නන්ද ගෝපාලක මරණයට පත් විය. එහි දී
ඇති වූ භික්ෂූන් වහන්සේලාගේ විවිධ විවාදාත්මක කථිකාවන්ට පිළිතුරු වශයෙන්
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ඔහුට එම මොහොතේ එසේ නොමැරී සිටීමට
කිසිදු උපායක් නැතිවා මතුනොව එම සිදුවීම ඉහත කරන ලද කර්මයක පලදීමක් බවයි. පෙරදා
වරදවා පිහිටුවා ගත් සිතින් යුතුව සිදුකරන ලද විවිධ අකුසලයන්ගේ ප්‍රතික්‍රියාවන්
සංසාරගතව ක්‍රියාත්මක වී නිවන් මඟට පිළිපන් දිනයේ ද එම බිහිසුණු කර්ම විපාකය
අත්විඳි බව තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළහ. තම සිත වරදට යොමු කොට සිදුකර
ගන්නා මහත් අකුසලයන්හි විපාකයන් රහත් වීම මතුනොව වෙනත් මාර්ග ඵල ලාභියෙකු වුව ද
කිනම් මොහොතක හෝ අත්විඳිය යුතු බව පැහැදිලි කොට ඇති ආකාරය ඉතා සිත්ගන්නා සුළු ය.
|