Print this Article


බුදුගුණ අවබෝධයෙන්මෙනෙහි කරන්න

බුදුගුණ අවබෝධයෙන්මෙනෙහි කරන්න

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද්දේ, යම් කෙනෙක් තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අවබෝධයෙන් යුතුව මෙනෙහි කරන විට ඔහුගේ සිත පහදින බවයි. ප්‍රමෝදයට පත්වෙන බවයි.

බුදු ගුණ මෙනෙහි කිරීමෙන් යම් වූ ද උපක්ලේෂ පවතිනවා නම්, ඒවා ද බැහැර වෙනවා. සිත පිරිසුදු වෙනවා. මෙය හඳුන්වන්නේ ආර්ය ශ්‍රාවක බ්‍රහ්ම උපෝසථය සමාදන් ව සිටිනවා කියා ය. සම්බුදු රජාණන් වහන්සේ ආදී බ්‍රහ්මයා සමඟ වාසය කරනවා යැයි කියනවා. විශාඛාවෙනි මෙය කිළිටි සිතේ පිරිසුදු කිරීම පිණිස උපක්‍රමයක් බවට පත්වනවා.

විශාඛාවෙනි තවත් ආකාරයකින් සිත පිරිසුදු කරන්නට පුළුවනි. කුමක් ද? මේ ශාසනයේ ශ්‍රාවකයා ධර්මය මෙනෙහි කරනවා. “ස්වාක්ඛාතෝ, භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ” ආදී වශයෙනි. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ස්වාක්ඛාතයි. එනම් මුල මැද අග යන තුන් තැනම රාග, ද්වේෂ, මෝහ ආදී ක්ලේෂයන්ගෙන් බැහැර කොට මැනවින් දේශනා කොට වදාළහ, යන අදහසයි. තමා තුළ සාක්ෂාත් කර ගැනීමට සුදුසුයි. අවබෝධයට ගැනීමට සුදුසුයි. ‘සන්දිට්ඨිකෝ’ එනම් තමා විසින් ම අවබෝධ කරගෙන ම දැනගෙන සිතේ පවත්වාගත යුතුයි. කල් නොයවා විපාක දෙනවා. අකාලිකයි. එන්න බලන්න. පරීක්ෂා කරන්න යන ආරාධනයට සුදුසුයි. ‘ඒහිඵස්සිකෝ’ තමා තුළ ම පිහිටුවාගෙන, කැඳවාගෙන, අත්දැකීම් ලබන්න. ආනිසංස ලබන්න. ඵල ලබන්න සුදුසුයි. ඒ නිසා ‘ඕපනයිකෝ’ ඒ වගේ ම නුවණැත්තන් විසින් තමා තමා විසින් සිත් හි පවත්වාගෙන ප්‍රත්‍යක්ෂයෙන් ම අවබෝධ කොට ගත යුතු වෙයි. එනම් ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහෝති’ සිත පිරිසුදු කර ගන්න. බුදු ගුණ මෙනෙහි කරනවා සේ ම, ධර්මයේ ගුණයන් ද තේරුම් ඇතිව ම මෙනෙහි කළ යුතුයි. සිහිපත් කළ යුතුයි.

මෙහි දී ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ කී දෙනෙක් මේ ගුණ හය අවබෝධයෙන් දන්නේ ද? මෙනෙහි කරන්නේ ද? යන අදහසයි. යම් විටෙක තෙරුවන් වන්දනා කරනවා යන අදහසින් කටයුතුවල යෙදෙන යම් පුද්ගලයෙක් මලට, පහනට පවා ඇලෙන හා ගැටෙන ස්වභාවය ඇති කර ගන්නේ, මෙම ගාථා රත්නයන්ගේ අදහස නිසි ලෙස නොදන්නා නිසා හෝ නොවඩනා ලද නිසා බව ඉතා ම පැහැදිලියි.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් පරම ශ්‍රී සද්ධර්මය දේශනා කළේ රාග, ද්වේෂ, මෝහ බැහැර කරන්නට නම් භාග්‍යවතුන් වහන්සේ වෙතට ඇලීමෙන්, ගැටීමෙන් යුතුව පුදන්නට ගෙන එන මල්, පහන්, සුවඳ හෝ අන් වූ ද පූජාවකින් භාග්‍යවතුන් වහන්සේ ට සැබෑ පූජාවක් වන්නේ ද යන්න ඔබ ම සිතා බලන්න. සියලු ආශාවන් ප්‍රහාණය කොට ධර්මය තමාගේ සිතට කැඳවාගෙන ලෝභාදි කෙලෙස් සන්සිඳුවන්නට ඉගැන්වූ දහමක එය අමතක කොට ඇලෙන, බැඳෙන, ගැටෙන ස්වභාවයකට අපේ මග සකස් වන්නේ නම්, එය සැබෑ බුද්ධ පූජාව හෝ බුදුරජාණන් වහන්සේගේ සැබෑ අවවාද නොවන බවත් අප විසින් උපේක්ෂාවෙන් ද, කරුණාවෙන් ද, මෛත්‍රීයෙන් ද යුතුව සිහිපත් කළ යුතුමයි. මේ ලෙසින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ ගුණ අවබෝධයෙන් යුතුව මෙනෙහි කරන විට සිත පිරිසුදු වෙනවා. සිත ප්‍රමෝදයට පත්වෙනවා. සිතේ යම් වූ ද උපක්ලේස පවතිනවා නම් එය ද බැහැර ව විනාශ වී යනවා. මෙයයි සිත පිරිසුදු කරන ආකාරය.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා. විශාඛාවෙනි කිලිටි වූ ශරීරය පිරිසුදු කරන ක්‍රමයක් පවතිනවා. ‘කුරුඳු වළදත්ක දියත් පුරුෂයාගේ නිසි වූ උපක්‍රම සහිත උත්සාහයත් නිසා ශරීරය පිරිසුදු කර ගන්න පුළුවනි. විශාඛාවෙනි, ඒ පරිදිම සිතෙහි පිරිසුදු වීම පිණිසත් උපක්‍රමයෙන් කටයුතු කළ යුතුයි. ඒ කුමක් ද? මුලින් සඳහන් කළා සේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා ශ්‍රී සද්ධර්මය අනුස්මරණය කරනවා. මේ ශ්‍රී සද්ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට දේශනා කරන ලදුහ ආදී වශයෙනි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිරිසුදු කිරීම පිණිස බොහෝ උපමා දක්වමින් මහා කරුණාවෙන් දේශනා කරන්නේ කිලිටි සිත පිරිසුදු කර ගන්නට සුදුසු දිනයක් හැටියට උපෝසථ දිනය මතු කොට පෙන්වා දෙන නිසා ය. සිත පිරිසුදු කර ගත යුත්තේ උපෝසථ දිනයේ පමණක් නොවෙයි. සිහිය පවත්වන හැම අවස්ථාවක් ම ම නා වූ පිරිසුදු සිතකින් කාලය ගත කිරීම අවශ්‍යයයි. සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගන්නේ නම්, සිතේ සකස් වෙන හැම සිතිවිල්ලක් ම හේතූන් නිසා හට අරගෙන හේතූන්ගේ බැහැරවීමෙන් ඵල විපාක නැතිව යන බව සිහියට නතු කරගෙන රූප ශබ්ද වශයෙන් ඒ ඒ ආරම්මනයන් හි කර්ම සකස් නොවන ආකාරයෙන් පිරිසුදු සිතක් පවත්වා ගැනීමට හැකිවිය යුතුයි.

සම්බාධ සහිත ගෘහස්ථ ජීවිතයෙන් ඈත්ව උපෝසථ දිනය උපවාසයක් හැටියට පත්වන්නේ, එනම් වෙනදා තිබූ කාමභෝගී ජීවිතයෙන් බැහැරව අද දවසේ පිරිසුදු ජීවිතයක් පවත්නේනේ නම් අන්න ඒ දවස නිසි ලෙස මහත්ඵල මහානිසංස ගෙන දෙන ආකාරයෙන් පවත්වන්නේ කෙසේ ද? යන්නයි, මේ සඳහන් කරන්නේ. ඒ උපෝසථ දිනයත් එසේ සිත පිරිසුදු කරගෙන පවත්වා ගන්නට නොහැකි නම්, වෙනදා පවත්වන කාමභෝගී ජීවිතයත්, ඒ වගේ කරදර බාධක කටයුතුවලින් සමන්නාගත දිනයත් අතරත් වැඩි වෙනසක් නොපැවතිය හැකියි. ඒ නිසා සැබෑ ම අවබෝධයෙන් උපෝසථ දිනයේ උපවාස දිනයක් ලෙස එනම් කෙලෙස් බැහැර කරන දිනයක් හැටියට පවත්වා ගන්නට නම් මේ අදහසින් ම සකස් විය යුතුමයි.

විශාඛාවෙනි, කිලිටි වූ සිතේ පිරිසුදුවීම පිණිස තවත් උපක්‍රමයක් දේශනා කරනවා. ඒ කුමක් ද? මේ ශාසනයේ ශ්‍රාවකයා ආර්ය සංඝ රත්නය ගුණ මෙනෙහි කරනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ‘සුපටිපන්න’ වේ. අධි ශීල, අධි චිත්ත, අධි ප්‍රඥා නම් වූ මාර්ගයට බැස ගත්තා වේ. මේ ලෙසින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ‘උජුපටිපන්නයි, ඤායපටිපන්නයි, සාමීචිපටිපන්නයි.’ ආදී වශයෙන් මෙනෙහි කළ යුතුයි. එනම් අධි ශීල, අධි ප්‍රඥා මාර්ගයෙන් ඒවා දියුණු කර කෙලෙස් නසන ඍජු පිළිවෙතක ම පිහිටා, වයස් භේදයක් නොමැතිව සියලු දෙනාට ම එක හා සමානව ම ධර්මය ඇසුරු කරගෙන, ආශ්‍රයට සුදුසු ආදී වශයෙන් ආර්ය සංඝරත්නය පිළිබඳව ගුණ මෙනෙහි කළ යුතුමයි.

මේ ආර්ය සංඝරත්නය අතර යුගල වශයෙන් හතර දෙනෙක්, පුද්ගලයෝ වශයෙන් අට දෙනෙක් සිටිනවා. මේ ආර්ය සංඝරත්නය දුරින් ගෙනවුත් දෙන පූජාවන්ට සුදුසුයි. ආගන්තුකයන් වෙනුවෙන් පිළියෙල කළ දානය පිළිගන්නත් සුදුසුයි. පරලොව සඳහා දෙන දානය පිළිගන්නත් සුදුසුයි. ඇඟිලි බැඳ නමස්කාර කරන්නත් සුදුසුයි. ලෝකයාට පින් සිදු කරගන්න තිබෙන පින් කෙතක් හැටියටත් පූජාවට සුදුසුයි. ගෞරවයට සුදුසුයි. මේ ආදී වශයෙන් ආර්ය සංඝ රත්නයේ ගුණ අවබෝධයෙන් යුක්තව මෙනෙහි කළ යුතුයි.

මෙසේ මෙනෙහි කරන විට තමන්ගේ සිත තුළ කුසලාරම්මනයන් මතුවෙන්නටත් පටන් ගන්නවා. ‘ඕහිතභාර’ එනම් කෙලෙස් බරින් නිදහස් වූ සමාහිත සිත් ඇති නිකලෙස් සිත නිසා වචන ක්‍රියාවන්ගෙන් සමන්නාගත වූ චාම් වස්ත්‍රයකින් සැරසුණු, එනම් චීවරයකින් සැරසුණු භික්ෂූන් වහන්සේ නමකගේ රුවත්, තමාගේ සිතේ සකස්වෙනවා. ඒ රුවත් හේතූන් නිසා හටගත්ත, හේතූන්ගේ විසිර යෑම නිසා නැතිය යන ස්කන්ධ පංචකයක් හැටියට ඔබ දැක ගනියි. නමුත් ඒ ස්කන්ධ පංචකය කෙරෙහි කෙලෙස් ඇති කර ගන්නේ නැතිව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ය. උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ මඟ වැඩම කොට කෙලෙස් නසා සැනසුණෝ ය. අරහත් භාවයට පත් නොවී ඇති භික්ෂූන් නම් උන්වහන්සේලා ඒ මඟ ගමන් කරන්නෝ ය. නිවන අරමුණු කරන්නෝ ය. ආදී වශයෙන් ඔබත් ආර්ය සංඝරත්තයේ ගුණ මෙනෙහි කරගෙන ඒ ආර්ය සංඝරත්නයේ ගුණ තමාගේ සිත තුළින් දකින්නට උත්සාහ කරන විට ඔබේ සිත පිරිසුදු වෙන්නට පටන් ගන්නවා. ඔබේ සිත සුවපත් වෙන්නට පටන් ගන්නවා.

යම් විටෙක ඉන්ද්‍රිය සංවර සීලයෙන් තොර වූ යම් භික්ෂුවක් වර්තමානයේ ඔබට දැක ගන්නට වූයේ ද? එවැනි මොහොතක නමුත් ඔබ සිහිපත් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය සංඝරත්නය කෙරෙහි ඇති කර ගත්තා වූ ගුණයමයි. ඒ ගුණ ඔබ සිහිපත් කරගෙන යම් වූ ද භික්ෂුවක් කෙරෙහි ඔබ දකින විට ඒ භික්ෂුවගේ චරිතය පවතින පුද්ගලික යම් අඩු පාඩුවක් වේ නම් ඒ සියල්ල බැහැර වී ඔබ දකින්නේ ආර්ය සංඝරත්නය කෙරෙහි ඇති කර ගත්තා වූ ප්‍රසාදයමයි. පැහැදීම ම යි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් ආර්ය සංඝරත්නයේ ගුණමයි. ඔබේ සිත පිරිසුදු වන්නට පටන් ගන්නවා. ඔබේ සිතේ ප්‍රමෝදයක් හටගන්නවා. සිතේ යම් වූ ද උපක්ලේසයක් පවතිනවා නම්, එය ප්‍රහාණය වෙන්නට පටන් ගන්නවා. විශාඛාවෙනි, ආර්ය උපෝසථ පවත්වන ඇත්තෝ මෙන්න මේ ආකාරයෙන් ඒ දවස ගත කළ යුතුයි, යැයි දේශනා කළ සේක.