Print this Article


 උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයේ සිට...

 උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයේ සිට...

සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී දම් පිරූ අප මහා බෝසතාණන් වහන්සේ දඹදිව නේරංජනා නදිය අසබඩ ගයාවේ ඇසතු බෝමැඬ දී උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට පත් වී වසර හතළිස් පහක් මුළුල්ලේ දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ බව අප සියලු දෙනාම දන්නවා. ඒ සියලුම ධර්මය නවාංග ශාස්තෘ ශාසනය ලෙස හඳුන්වනවා. ඒ කියන්නෙ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන , ඉතිවුත්තක,ජාතක,අබ්භූතධම්ම හා වේදල්ලයි.

ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ පරිනිර්වාණයත් සමඟම මහලුකල පැවිදි වූ ඛුඩ්ඪපබ්බජිතයෙකු වූ සුභද්‍ර නම් භික්ෂුව මහා අභද්‍ර වචනයක් ප්‍රකාශ කළා. එනම් ඒ මහා ශ්‍රමණයාගෙන් දැන් අපි මිදුනෙමු. අපට “මෙය කළ යුතු යැයි” “මෙය නොකළ යුතු යැයි” පැනවීමට දැන් කෙනෙක් නෑ. ඒ නිසා “අපි කැමති දෙයක් කරමු. අකැමැති දෙයක් නොකර සිටිමු” මහා පරිනිබ්බාණ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ශාස්තෘන් වහන්සේ වන්නේ ධර්මය හා විනයයි. (යෝ ඛෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තෝ සෝ ඛෝ මමච්චයේන සත්ථා)

සුභද්‍රගේ ප්‍රකාශය අනාගත බුද්ධ ශාසනයේ චිරස්ථිතියට මහා මරු පහරක් බවත් දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයක් බවත් ප්‍රබලම අනතුරක් බවත් ක්ෂණයකින් වටහාගත් අනුබුදුවරයෙකු සේ මේ ශාසනය ශෝභමාන කළ ධූතාංගධාරි භික්ෂුව අතර අග්‍රස්ථානය ලැබූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ සඳහා වහ වහා ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීමට කටයුතු සංවිධානය කරනු ලැබුවා. ඒ අනුව මගධ දේශාධිපති අජාසත් මහරජුගේ රාජානුග්‍රහය ලබාගෙන පන්සීයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර සප්තපණ්ණී ගල්ගුහාවේදී ප්‍රථම ධර්ම සංගීතිය පවත්වා ශාසනයේ චිරස්ථිතිය ඇති කළා.

මේ අනුව වසර පන්දහසක් කල් පවතින ලෙස මේ ශාසනය ස්ථාපිත වුන බව වංශකතාවලට අනුවත්, ජනප්‍රවාදයට අනුවත් ජනතාවගේ විශ්වාසයට අනුවත් පිළිගැනෙනවා. එකල වැඩසිටි මහරහතන් වහන්සේලා මේ උතුම් ධර්මය මුඛ පරම්පරාවෙන්, ඒ කියන්නේ වාචන මාර්ගයෙන් නැත්නම් කට පාඩමින් දරාගෙන ඒම සඳහා කටයුතු සංවිධානය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කිසිදු අවහිරයකින් තොරව වර්ෂ සියයක් මේ උතුම් ධර්මය පැවතුනා වගේම භික්ෂූන් වහන්සේලා ද ඒ ධර්මයට අනුව කටයුතු කළා. භික්ෂුණීන් වහන්සේලාද උපාසක හා උපාසිකා යන අනික් පාර්ශ්වයන් ද ඉතා හොඳින් ධර්මය ප්‍රගුණ කරගෙන එන ලද බව ශාසන ඉතිහාසයට අනුව පෙනෙනවා. විශේෂයෙන්ම පළවන ධර්ම සංගායනාවේ තේමාව වූ ‘විනයෝ නාම සාසනස්ස ආයු’ යන උතුම් වදනට අනුව විනය නම් ශාසනයේ පැවැත්මයි කියන තේමාව යටතේ සිව්වණක් පිරිසම කටයුතු කළා. අජාසත් රජුත් එතුමාගේ පුත්‍ර උදායිභද්‍ර රජුත් ශාසන පැවැත්මට කළ මෙහෙය පිළිබඳව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. ඒ වගේම උපාලි මහරහතන් වහන්සේ දාසක මහරහතන් වහන්සේ වැනි උතුම් මහරහතන් වහන්සේලාගේ මෙහෙයවීම ඔස්සේ වසර සියයක් දක්වා පිරිසුදු බුද්ධ වචනය අර්බුදයකින් තොරව පැවතුණු බව ශාසන ඉතිහාසයට අනුව පැහැදිලි වෙනවා.

පළමුවන ධර්ම සංගායනාව මහා කාශ්‍යප, ආනන්ද, අනුරුද්ධ, උපාලි ආදි මහරහතන් වහන්සෙලා පන්සියය නමකගේ සහභාගිත්වයෙන් සිදුවුණු නිසා පඤ්චසතිකා නම් වන අතර එය ථේරියා කියා ද ප්‍රසිද්ධය. සත්සියයක් මහරහතන් වහන්සේලා සහභාගි වුණු දෙවන ධර්ම සංගායනාව බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ සියයක් ගතවුණ තැන කාලාශෝක රජුගේ රාජානුග්‍රහයෙන්, විශාලා මහනුවර වාළුකාරාමයේදී පැවැත්වුණා. එහිදී මූලික වුන රහතන් වහන්සේලා තමයි සබ්බකාමී, යස, රේවත සම්භූත කියල කියන්නේ. ඊට මූලික හේතුව වුණේ වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා ඉදිරිපත්කළ දස අකැප වස්තුව. අඟක ලුණු දමාගෙන ගොස් වැළඳීම කැප යැයිද (කප්පති සිංගිලෝණකප්පෝ) ඉර අවරට ගොස් අඟල් දෙකක් යන තුරු දානය වැළඳීම කැප යැයි ද (කප්පති ද්වඕගුල කප්පෝ) ආදි වශයෙන් ඉදිරිපත් කළ විනය විරෝධී දශ වස්තුව විභාග කළ මහරහතන් වහන්සේලා ඒවා විනය විරෝධී බවට නිර්දේශ කළා. ඒ උනත් වජ්ජිපුත්තක භික්ෂූන් ඒ උත්තරීතර විනයානුකූල මතය පිළිනොගෙන දස දහසක් පමණ එකතු වී වෙනමව සංගායනාවක් පැවැත් වූවා. ඒ පිරිස හැඳින්වුණේ මහා සාංඝික නමින්. පසුව මේ පිරිස මහායාන බවට පත්වුනා. මේ පිරිසට කිසිදු මහ රහතන් වහන්සේ නමක් හෝ මාර්ගඵල ලාභී උත්තමයකු අයත් නොවූ බව ශාසන ඉතිහාසයෙන් පෙන්වා දෙනවා.

ඒ නිසා දෙවන ධර්ම සංගායනාවෙන් නැවත වරක් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා වුණා. ස්ථවිරවාදයෙන් හෙවත් ථේරවාදයෙන්, නැතිනම් රහතන් වහන්සේලාගේ පරපුරෙන් බිඳීගිය මහා සාංඝික නිකාය බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ දෙසීයක් පිරීමට පෙර සතළොස් නිකායක් ලෙස දඹදිව පහළවුන බව පේනවා. මෙයට හේතුව විනය කාරණාම නොව විවිධ ලාභාපේක්ෂක කරුණු බව විවිධ බුද්ධිමත් භික්ෂූන් වහන්සේලාගේ මතයට අනුව පැහැදිලි වෙනවා.

බුද්ධ වර්ෂ දෙසීය ඉක්මවා යන විට ලාභාපේක්ෂාවෙන් සසුනට එක්ව සිටි අන්‍ය තීර්ථකයන් නිසා ශාසනයේ අර්බුද පැන නැගුණා. විශේෂයෙන්ම සිල්වත්, ගුණවත් රහතන් වහන්සේලාට, මහ සඟ රුවනට පෝය කිරීම වැනි විනය කටයුතු පවා අතපසු වුණා. ඒ අවස්ථාවේදී බුදු සසුනේ පිනට පහළ වූ දඹදිව ධර්මාශෝක මහ අධිරාජයාගේ රාජානුග්‍රහයෙන් මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දහසක් මහ රහතන් වහන්සේලාගේ සහාගිත්වයෙන් තමයි තුන්වන ධර්ම සංගායනාව බුද්ධ වර්ෂයෙන් දෙසිය තිස්පස් වන වර්ෂයේදී පැවැත්වෙන්නේ. ඒ දඹදිව පාඨලීපුත්‍ර හෙවත් පැලලුප්නුවර අශෝකාරාමයේ දී. ඒ අනුව උතුම් ශාසන ශුද්ධියක් ඇතිවී රටවල් නමයකට ධර්ම ප්‍රචාරය වීම සිදුවුණා.

ඒ අනුව එදා තම්බපණ්ණි නමින් හැඳින් වූ අපේ රටටත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලැබුණා. එය බුද්ධ ශාසනයේ චිරස්ථිතියට සිදු වූ අත්‍යුදාරම, අනූපමේයම සංසිද්ධිය ලෙස සැලකීමට පුළුවන්. වර්තමානයේ තුන් ලෝකයේම සැබෑම බුද්ධ වචනය පවතින ථෙරවාදී ශ්‍රේෂ්ඨම දේශය ශ්‍රී ලංකාව බව අපට නොබියව නොපැකිළව පවසන්න පුළුවන්. අපට ධර්මය රැගෙන වැඩම කොට වදාළේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බව ඔබ අප සියලු දෙනාම ඉතා හොඳින්ම දන්නා කරුණකි.

වර්තමානයේ මානසික උන්මාදයට පත්ව සිටින ඛුඩ්ඪපබ්බජිත, එකල සිටි සුභද්‍ර වැනි චීවරධාරීන්ටත් ඔවුන්ගේ සහචරයන්ටත් පමණක් මෙය සත්‍යයක් නොවන බව පෙනෙනවා. මේ ප්‍රශ්නය ඊයේ පෙරේදා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒ සියලු දෙනාටම අප අනුකම්පා කළ යුතු වෙනවා. මොකද හේතුව යම් යම් මානසික මට්ටම් වැරැදි විදියට භාවනාව ප්‍රගුණ කිරීමට ගිහිල්ලා සිදුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම මමායනය නිසා තමාව හුවා දක්වා ගැනීමට යාමත්, තමා අතින් ආර්යයන් වහන්සේලාට අගෞරවයක් සිදුවීමත් ඊට හේතුවන බව අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයේ ව්‍යසන සූත්‍රයෙන් ප්‍රකට වෙනවා.

මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් වසර දෙකකට පසුව චතුර්ථ සංගායනාව මෙහිදී සිදුවෙනවා. ඒ විනය සංගායනාවක්. ඉන්පසුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර පන්සීයක් ගෙවෙන තැනදී වාචනා මාර්ගයෙන් දිවි පරදුවට තබා අප මහරහත් සඟ පරපුර රැකගෙන ආ පුරාණ අට්ඨ කථා සහිත සම්පූර්ණ ත්‍රිපිටක පාලිය සිංහල අකුරෙන් තල්පත්වල ලේඛනාරූඨ කරනවා. ඒ බුද්ධ වර්ෂ හාරසිය හතළිහටත් (440) හාරසිය හතළිස් පහටත් (445) අතර කාලයේ දී. එය මාතලේ අලු විහාරයේ දි හෙවත් ආලෝක විහාරයේ දී වට්ඨගාමිණි අභය හෙවත් වළගම්බා රජු සමයේ වූ බව ඉතිහාසයට අනුව පැහැදිලි වෙනවා. මෙය පොත්ථකසංගීතිය වශයෙන් හඳුන්වනවා. මේක තමයි ශ්‍රී ලංකාවේ දී සිදුවන දෙවන සංගායනාව. එකල සිදුවූ දුර්භික්ෂ තත්ත්වය නිසා බොහෝ මහරහතන් වහන්සේලා පිරිනිවන්පාන තත්ත්වයක් ඇති වුණා. සමහර මහ රහතන් වහන්සේලා මහවැලි ගඟ අයිනෙ වැලි කඳු ගසාගෙන ඒවාට පිටදී ගෙන වැටකෙයියා ඉස්ම වළඳමින් තමයි මේ ධර්මය කට පාඩමින් ආරක්ෂා කර ගත්තේ. සමහර රහතන් වහන්සේලා දඹදිවට වැඩම කළා. අවසානයේදී උන්වහන්සේලා මේ ඇතිවූ මහා සාගතය හෙවත් බැමිණිටියා සායෙන් පසුව එකට එකතු වී ඒ ඒ රහතන් වහන්සේලා කටපාඩමින් දරාගෙන ආ ශ්‍රී සද්ධර්මය නැවත මෙනෙහි කරල එහි කිසිදු අඩුවක් නැති බව වටහා ගත්තා. ඒ උනත් ඉදිරියේ දී මෙවන් බරපතල තත්ත්වයක දී ඒ තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ධර්මය ලෝකයෙන් අතුරුදහන් වීමට ඉඩ තිබේ යන සාධාරණ සැකය මත තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ.

අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සක් දෙවිඳුන්ට දේශනා කළා” පතිට්ඨිස්සති දේවින්ද ලංකායං මම සාසනං” කියල. ඒ කියන්නෙ පින්වත් ශක්‍ර දේවේන්ද්‍රය මාගේ ශාසනය පවතින්නෙ ශ්‍රී ලංකාවෙ කියලා. ඒ නිසා ඒ රටත් ජාතියත් ආරක්ෂා කරන්න කියන කාරණාව තමයි උන්වහන්සේගෙ උපදේශය. සක්දෙවිඳු කියන්නෙ දෙදෙව්ලොවට අධිපති කෝටි සංඛ්‍යාත දෙවිවරුන්ගේ දෙව් රජු. එතුමා සෝතාපන්න ශ්‍රාවකයෙන්. ඒ නිසා සාමාන්‍යයෙන් ලාභ සත්කාරවලට යටවෙන පෘතග්ජන මානසිකත්වයක් එතුමාට නැති නිසා එතුමා, එතුමාට හැකි උපරිම අයුරින් ඒක ඉටු කරනවා. පූජා වට්ටියට නැමෙන, බලි බිලි වලට අහුවෙන සාමාන්‍ය දේව නාමයෙන් ඉන්න අය වගේ නෙමේ එතුමා.

ඉතිරි කොටස මැදින් අවඅටවක පෝදා (මාර්තු 28 දා) පත්‍රයේ.