Print this Article


යශෝධරාවක බිහිකළ විරාගී ආදරය

යශෝධරාවක බිහිකළ විරාගී ආදරය

මිනිස් සිතක ඇතිවන හැඟීම් සමුදාය අතර ආදරය නම් වූ සිතිවිල්ල තරම් සාමාන්‍ය මිනිසා ප්‍රිය කරන අන් සිතිවිල්ලක් නොමැති තරම්ය. කිරට හඬන බිළිඳාගේ පටන් වැඩිහිටි මහල්ලා දක්වා බලාපොරොත්තු වන සෙනෙහස තිරිසන්ගත සතුන් පවා ප්‍රිය කරන්නකි.

එහෙත් සැබෑ ආදරය - සෙනෙහස යන තේමාව බෞද්ධ සන්දර්භයෙහි අර්ථ නිරූපණය කරන්නේ හුදු සරාගීත්වයෙන් මුහුවූවක් ලෙසින් නොවේ. උදාර මිනිසුන්ගේ හද මැදුරින් දෝර ගලනා අධ්‍යාත්මික ගුණ අමා සලිලයෙන් හනා මෙළෙක් කළ සුගන්ධ චූර්ණයක් ලෙසිනි. වචනාර්ථ වශයෙන් ද අභිධෙය්‍යාර්ථ වශයෙන් ද ආදරය යනු මෛත්‍රී චිත්තයෙහි මූර්තියක් වන අතර එය ලෝභයෙන් තොර වූවක් බව බුදු දහමේ පිළිගැනීමයි. ස්පර්ශ රාගය හා යෙදුන ඉඳුරන් පිනවීම ද කාමුකත්වය හා යෙදුන කෑදරකම ද ආදරය නොවන බව කිව යුතු ය.

බෞද්ධ සාහිත්‍යයේ එන පිවිතුරු චරිතාපදාන අතර යශෝධරා යනු සසරක් පුරාවට විරාගි ආදරයට පණ පෙවූ උත්තමාවියකි. ඇයගේ දයාබර සිත් මලෙහි තැවරුණු මකරන්ධයක් සදිසි සනාතන ආදරයෙන් සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේගේ සිත් අරණ සුවඳවත් කළ සැටි පුදුම සහගත ය. වරෙක දයාබර මවක් ලෙසින් ද, තවත් විටෙක ප්‍රිය භාර්යාවක් ලෙසින් ද, ඇතැම් විට සොයුරියක, මිතුරියක, දාසියක ලෙසින් ද ඒ නිකලැල් ආදරයෙහි රස පොවා මහා බෝසතුන්ගේ කුරිරු සසර පවස් නිවාලන්නට යශෝධරා ලබාදුන් සහයෝගය සමතිස් පෙරුම් දම් මිහි කිරීමක් සේ ම, අනුවේදනීය වූවකි. ඇයගේ හද ගැස්ම වූයේ මහ බෝසතාණන් වහන්සේ ය. සතුට, සැපය, මිහිර, මෙන්ම ජීවිතය ඇතුළු සියල්ලම ඇය බෝසතුන්ගේ සිරිපා මුල පුෂ්පෝපහාරයක් ලෙසින් පුද දුන් වාර අනන්ත ය. කෙටියෙන් කිවහොත් සම්බුදු භාරයෙන් හරි අඩක්ම දරන ලද්දී යශෝධරා දේවිය යි. ඇය කිසිදා බෝසතුන් සමග උරණ වූයේ නැත. වාද විවාද කළේ නැත. ඇති නැති සෑම තැනකම අවංක භාවය දිවි හිමියෙන් රක්ෂා කරමින් උතුම් බුදු ගමනක සෙවණැල්ල වූවා ය. අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේගේ සිව්වනක් පිරිසෙහි යශෝධරාව තරම් ඈත සසරක පටන් එක්වූ කිසිවෙකුත් නොමැත.

අප මහා බෝසතාණන් වහන්සේට යශෝධරාව මුණ ගැසුණේ නියත විවරණ ගැනීමටත් පෙර සිට ය. මනෝ ප්‍රනිධානය හෙවත් සිතින් බුදු බව පතා පෙරුම් දම් පුරන යුගයෙහි ලෝකයට පහළ වූ බ්‍රහ්මදේව නම් වූ පුරාණ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දී කාරකණ්ට නම් නුවර අතිදේව නම් රජුව උපන්නේ අප මහා බෝසතාණෝ ය. එකල යශෝධරා උත්තමාවිය ද මහ බෝසතුන් හා එක්ව බ්‍රහ්මදේව බුදුරදුන්ට උපස්ථාන කළා ය. ඒ බව ථේරී අපදානයෙහි මෙසේ සඳහන් වේ.

බ්‍රහමදෙවඤච සමබුදධං
ගොතමං ලොකනායකං
අඤෙඤසං ලොකනාථානං
සංගමා තෙ බහූ මයා

“අපි දෙදෙනාම බ්‍රහ්මදේව නම් වූ පුරාණ ගෞතම බුදුරදුන් දුටුවෙමු. අන්‍ය වූත් බොහෝ බුදුවරුන් අපට මුණ ගැසුණි.”

ඒ අනුව යශෝධරාවගේ සහ සිදුහත් මහ බෝසතුන්ගේ ආදර පුරාණයෙහි කාලය මහා කල්ප අසංඛ්‍යය ගණනින් පවා මිනිය නොහැක්කකි. ඒ සා මහත් කාලයක් නොවෙනස් සිතකින් ආ යශෝධරා අපගේ භාග්‍යවතුන් වහන්සේ පළමු නියත විවරණ ශ්‍රී ලැබූ දා රම්‍යවතී නුවර මහසල් කුලයක සුමිත්‍රා නමින් උපන්නී ය. දීපංකර බුදුරදුන්ගේ ගිහිකළ දේවිය වූ පදුමාගේ රූ සිරි දැක මෙවන් රූප ශෝභාවක් ලැබීමට නම් බ්‍රහ්මචර්යාව රක්ෂා කළ යුතු යැයි; දැන ගිහිගෙයින් වෙන්වූ සුමිත්‍රා පරිබ්‍රාජිකාවක් ලෙසින් පැවිදි බිමට පත් වූවාය. අප මහා බෝසතුන් සුමේධ නමින් මඩ වගුරක වැතිර නියත විවරණ ශ්‍රී ලැබූ මොහොතේ බෝසතුන්ට පුෂ්ප උපහාර දැක්වූ පිරිස අතර සුමිත්‍රාව ද සිටියා ය. බුදුන් පිදීමට ඇය රැගෙන ගිය මහනෙල් මල් අට මිටෙන් පස් මිටක් බෝසතුන්ට පුදා තුන් මිටක් දීපංකර බුදුරදුන්ට පුදා ඇයගේ එකම ප්‍රාර්ථනාව වූයේ මේ මහා ස්වාමීහු මතු බුදුවන දවස දක්වා සිත් සේ වාසය කොට අත නොහැර පක්ෂපාතව ගමන් කොට එකටම සසර දුකින් අත මිදීමයි.

එවන් ප්‍රාර්ථනාවක් සහිතව සදා නොනිදෙන සෙනෙහසේ සුනිල උල්පත වූ යශෝධරා ඒ මහා බෝසතාණන් වහන්සේ වෙනුවෙන් නොකළ පරිත්‍යාගයක් නොමැත. සතුන්ට ආහාර පිණිස පමණක් ඇය දන් දුන් අවස්ථාවල දී සිතිවිලි මාත්‍රයකින් නමුත් පසු නොබා සිනාමුසු සෙනෙහසින් ඇය විඳී දුක් රැස කිව නොහැක. දාසියක් කොට දන්දුන් විටදී ද, භාර්යාවක කොට දන් දුන් අවස්ථාවල දී ද කිසිදු අනභිරතියකින් තොරව ඉදරිපත් වී ඒ සියලු දුක්ඛිත අවස්ථාවන් සම සිතින් ඉසිලූ යශෝධරා බෝසතුන්ගේ සිතැගියාවන් ඉවෙන් මෙන් දැන සිටියා ය. කිසිදා එකට එක නොකළ ඇය බෝසතුන්ගේ සිත දිනා ගත්තේ අව්‍යාජ බවත්, අවංක භාවයත්, සෘජු පිළිවෙතත්, නොසිඳෙනා උතුරන ආදරයත්, ඇතැම් විට කඳුළින් තෙත් වූ නෙතු සඟලත් හේතු කරගෙන පමණි.

මේ මහා භද්‍ර කල්පයේ දී එක් ජීවිතයක උදය නමින් රජ වූයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ය. එකල කනක රුවක් වැනි ස්ත්‍රී රූපයෙන් යුක්තව අවුරුදු 700ක් එකම යහනක බ්‍රහ්මචාරී වාසයෙන් කල් ගෙවූ යශෝධරාවට පළමුව මිය ගිය බෝසතාණන් වහන්සේ සක් දෙව් පදවිය ලබූහ. පසු කලක සිය දේවිය සැතපෙන සිරි යහන් ගැබට පිවිස අහසේ පෙනී සිටියහ. පෙනී සිට ඇගේ සීලය පරීක්ෂා කරනු රිසියෙන් එක් වීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළහ. මාගේ උදය රජු හැර වෙන අයෙකු නොපතමියි කියා සක් දෙවිඳුට තර්ජනය කළාය. අනතුරුව ඇය අවුරුදු 10000ක් පමණ දීර්ඝ කාලයක් තම මළ හිමියාගේ නමින් පතිවත රක්ෂා කොට දෙව්ලොව ගියාය. රජ කුමරියක් වී යශෝධරා එදා සුරැකි පතිවත මෙකල වනිතා පරපුර විසින් සිහිකළ යුත්තකි. අද සමාජය පුරා පැතිර ඇති අනේක විධ විසමාචාරයන්ට සෘජුවම වගකිව යුත්තන් අතර කාන්තාව ප්‍රධාන වේ. විවාහක කාන්තාවක් ලෙස සැමියා කෙරෙහි වූ තම වගකීම හා යුතුකම මනාව ඉටු කිරීම මෙහිදී වැදගත් වේ. සියල්ලන්ටම යශෝධරාවක් විය නොහැකි වුවද ඒ උත්තුංග ගුණ හේතුවෙන් චරිතවත් ගැහැනියකට හිමි නොවක් පැසසුම් මෙලොවදී ම ඇයට හිමිවේ. එබඳු ගැහැනියකට මරණින් මතු දෙවි සැපත් විඳ අවසන නිවන් සුව ලබන්නට ද එය මාවතක් වන බව විමාන වස්තු පාලියෙහි එන බොහෝ දෘෂ්ටාන්තයන් ගෙන් පෙන්විය හැකි ය.

වෙසතුරු ආත්ම භාවයේ දී මද්‍රී නමින් ඉපිද දරුවන් සහිත තම ජීවිතය බෝ සතුන්ට පූජා කළේ ද ඒ යශෝධරාව යි. ඉන්පසු දෙව්ලොවට ගොස් බෝ සතුන් හා අපමණ දෙව් සැප විඳ සිදුහත් කුමරුන් ලෙසින් මිහිපිට වැඩි අප භාග්‍යවතුන් වහන්සේගේ උපන් දිනයේ දී ම දෙව්ලොවින් මිනිස් ලොවට සැපත් වී දහසය හැවිරිදි වියේ මහබෝසතාණන් වහන්සේ හා අතිනත ගත් යශෝධරා මරු කතරක ගමන් කොට වන අරණකට පැමිණීමක් ලෙසින් සුවපත් වූවා ය. දහතුන් වසරක් ගත කළ යුග දිවිය දෙවියකු හා දෙවඟනකගේ එකට විසීමක් බඳු විය. සිදුහත් කුමරුන් හට උවටැන් කිරීමට බොහෝ පිරිස් පේවී සිටිය ද යශෝධරාව අතින් ඉටුවිය යුතු සියල්ලම ඇය නොපිරිහෙළා ඉටුකළා ය. මහා සත්වයන් වහන්සේ අතීත සසරෙහි පටන්ම යශෝධරාව වෙනුවෙන් ඉටුකළ යුතු සියල්ලමත් නොඅඩුව ඉටුකළ බව මෙහි දී සිහිපත් කළ යුතු ය.

යශෝධරාව මවක් වූ දිනයෙහි තම දයාබර සැමියා තමා තනිකර දා තපෝ වනයට ගිය බව ඇයට දැනගන්නට ලැබුණි. එහෙත් ඇය බෝසතුන් කෙරෙහි දැක්වූ අසීමිත ආදරය ඉන්ද්‍රඛීලයක් සේ ම වෙනස් වූයේ නැත. බෝසතුන්ට වූ අධික ප්‍රේමය නිසාවෙන්ම ඇය දෙව් බඹුන්ගේ වන්දනයට, බහුමානයට පාත්‍ර වූයේ රජ මැදුරේ ද ීම ය. මහා සත්වයන් වහන්සේ අනෝමා නදී තීරයෙහි දී මංගල කඩුවෙන් කෙස් කළඹ කැපූ බවත්, කසාවත් දැරූ බවත් අසා ඇය එදිනම විලුඹ තෙක් දික් වූ කේස කළඹ කපා දමා කසාවත් දැරුවා ය. මා හිමියන් එක් වේලක් වළඳතියි අසා ඇය ද සත් වර්ෂයක් පුරා රාත්‍රී බතක රස නොවින්ඳා ය. ඒ ස්වාමීහු මැටි පාත්‍රයක් අතැතිව ගෙන් ගෙට සිඟා ගොස් වළඳතියි ඇසූ යශෝධරා රන් තලිය අත හැර මැටි පාත්‍රයකින් ම ආහාර අනුභව කළා ය. උස් අසුන් හා මහා අසුන් වලින් වෙන්වූ බව අසා තොමෝ ද සත් වසරක් මහා යහන් වලින් වෙන්ව සුවඳ මල් විලවුන් නොදැරුවා ය. බොහෝ වූ රජ දරුවන් තෑගි බෝග එවා ඇය හා සරණක් බලාපොරොත්තු වුව ද තෙපුල් පමණක් නොදී සිදුහත් බෝ සතුන්ට පක්ෂපාතව ම විසුවා ය. එපමණක් නොව ඇගේ හද පිරි ආශිංශනය වූයේ,

කැලේ තියෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා
යන්නයි.

ඒ නිදුකාණන් වහන්සේ උතුම් බුදු පදවිය ලබා කපිල වස්තු පුරයට වැඩමවීම යශෝධරාවට දෙවන අභිෂේකයක් විය. සී මැදුරු කව්ළුවෙන් එබී බැලූ ඇයට බුදුරදුන් වඩින ආකාරයත්, විසිතුරු වූ නේක වර්ණ බුදු රැස් දහරින් වෙලී ගිය රන්වන් ශරීරයත්, තම අතැඟිල්ලේ එල්ලී සිටින රාහුල කුමරුත් නෙත ගැටුණි. එවිට යශෝධරා දේවියගේ මුවගින් ගලා ආ වදන් වැල නරසීහ ගාථා නමින් අද පවා අසන විට ඒ අසිරිමත් මොහොත මැවී පෙනෙනු ඇත. රජ මැදුරට වැඩම කළ බුදුරදුන් දැක බලා වැඳ පුදා ශෝකය දුරු කරගන්නා ලෙස සුදොවුන් මහා රජු විසින් යශෝධරාවට දන්වන ලදී. එවිට ඇය සිරියහන් ගර්භයෙන් ඉවතට නොපැමිණ; මා අතීත සසර පටන් දැක්වූ සැබෑ ආදරය සත්‍යයක් නම් ඒ බුදුරදුන් මාගේ යහන් ගැබට වැඩම කරනු ඇතැයි සිතුවා ය. ඒත් සමඟම අගසව් දෙනම සමග යශෝධරාව වෙත වැඩම කළ බුදුරදුන්ගේ ශ්‍රී පාද පත්ම සිප වැළඳ ගනිමින් යශෝධරාව හෙලූ උණු කඳුලු ධාරා සිරිපා පියුම් තෙත් කළහ. අතීත සසරෙහි තමා හා එක්ව ආ යශෝධරාවගේ සදාදරණීය ගුණ අමාව ඇතුළත් ධර්ම දේශනයක් සිද්ධ කළ සේක් ඒ බුදුරජාණන් වහන්සේ යශෝධරා උත්තමාවගේ සිත් මඬල යළි කිසිදා පර නොවන ලෙස සදහම් පැන් පොදින් ආසිංචනය කළහ. පසු කලෙක උතුම් පැවිදි භූමියට පත් යශෝධරා රහත් තෙරණියක් ලෙසින් බුදුරදුන්ට පළමුව පිරිනිවන් වැඩි සේක. අනන්ත සසර පටන් පිවිතුරු විරාගී ආදරයකට පණ පොවා බුදුරදුන්ගේ සෙවණැල්ල ලෙසින් ආ යශෝධරා උත්තමාවියගේ සමු ගැනීම දරා ගත නොහැකිව මේ මිහිමඬල අනේක රාව නංවමින් කම්පා විය. දෙවියන්ගේ මල් වැස්සෙන් ද, අකලට වැටුණ වැසි පොදින් ද මේ මිහිකත තෙමී ගියේ යශෝධරාවට දැක්වූ උත්තමාචාරයක් ලෙසිනි. යශෝධරා රහත් මෙහෙණින් වහන්සේගේ ගුණ ගඟුළ කියා නිම කළ නොහැක්කකි. පහන් සංවේගය උපදවා පාරිශුද්ධ සෙනෙහසක මිහිර විඳ ගනු කැමැත්තෝ අපදාන පාලියෙහි යශෝධරා ථේරී අපදානය කියවා බලත්වා !