Print this Article


සමනොළගිරි මුනිසිරිපා පද්මය

සමනොළගිරි මුනිසිරිපා පද්මය

“ශී‍්‍ර ශාක්‍ය මුණීන්ද්‍රයාණන් වහන්සේගේ සිරි පා පහසින් පවිත්‍ර වූ මෙම ඓතිහාසික සිද්ධස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි හත්දාස් තුන්සිය හැටක් උස සමන්තකූට පර්වත මස්තකයෙහි පිහිටා ඇත.

ස්වදේශිකයන්ගේ හා විදේශිකයන්ගේ සම්මානයට හා වර්ණනාවට භාජනය වූ මේ සමාන වෙන එක ද තැනක් මේ මිනිස් ලොව නැත. එසේ ම මෙය ප්‍රාග් ඉතිහාස හා සම්බන්ධ ස්ථාන කීපය අතුරෙන් එකකි.

සම්මා සම්බුදුරදුන්ගේ මේ සිරිපා සටහන වැඳ පූජෝපහාර දැක් වූ සිංහල නරපතීන් අතර වළගම්බා, සිව්වැනි මිහිඳු, මහවිජයබාහු, මහා පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී නිශ්ශංක කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු, බෝසත් විජයබාහු ශ්‍රී සංඝබෝධි, හයවැනි පරාක්‍රමබාහු, වීරවික්‍රමබාහු, දෙවන විමලධර්ම සූරිය, ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ හා රාජාධිරාජසිංහ නරපතීන්ගේ නම් ග්‍රන්ථාරූඪ වී ඇත. (සපරගමු දර්ශන – රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල නාහිමි – පි. 20 – 1967)

ප්‍රසිද්ධිය අනුව සමනලකන්ද මේ මිහිපිට ඇති වෙනත් එකද කන්දකටවත් දෙවැනි නොවේ. සිව්මහ ගංගා, වූ මහවැලි, කැලණි, කළු, වළවේ නදීන්ගේ උප්පත්තිස්ථානය සමන් ගිරයය. බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී ලංකාවට තුන්වැනි වරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කැලණියේ සිට සමන් කුලට වැඩම කර සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි එහි ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත සිරි පා සලකුණ තැබූ බව මහාවංසයෙහි සඳහන් වෙයි.

පළමුවන විජයබාහු රජතුමා පොළොන්නරුවේ රජ වී රට එක්සේසත් කිරීමෙන් පසු පිහිටුවන ලද අඹගමුව ශිලා ලිපිය ඉතා වැදගත් ය. මේ මහා නරපතියා සිංහාසනාරූඪ වී අවුරුදු 37 ක් ඉකුත් වූ කල ගිලීමලේ මාවත ඔස්සේ සමනොළ නැගි විජයබා රජ හැටන් පාරෙන් පෙරළා රජ රට ගොස් ඇත. මේ ගමනේ දී විජයබා රජු ගිලීමලේ හා අඹගමුව යන ස්ථානවල ශිලාලේඛන දෙකක් පිහිටුවා ඇත. ශ්‍රී පාද වන්දනාකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා රජතුමා විසින් දානශාලා පිහිටු වන ලද බව ද ශ්‍රී පාදස්ථාන සම්බන්ධ කටයුතුවලට ගම්වර දුන් අන්දම ද මෙම ශිලා ලිපියෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය පිහිටියේ සමන්ගිර මුදුණේ යැයි සනාථ කිරීම පිණිස නිශ්ශංක මල්ල රජුගේ ශිලා ලිපි ද වැදගත් ය. සමනල කන්දේ මුදුණේ සිට හැටන් පාර ඔස්සේ අඩි 300 පමණ පහළට බසින විට හමුවන භගවාලෙන නම් වූ ස්ථානයෙහි පර්වතයක කොටන ලද ශිලාලිපියකි. මෙම ශිලාලිපියේ පසෙක රජු විසින් ශ්‍රී පාද වඳින අන්දමත් දැක්වෙන රූපයක් ද කොටා ඇත. මෙම රූපයේ එක් පසෙක “නිශ්ශංක මල්ල පරාක්‍රමබාහු චක්‍ර වර්ති ස්වාමීන් වහන්සේ පදලසදා වැඳ බැසගිය සැටි නියායි.” (Ceylon Jouraal of Science – G Vol II p.p 20 – 21 )

ශ්‍රී රාහුල හිමියන් ලියූ සැලලිහිණි සන්දේශයේ ඉතා ප්‍රකට කවියකින් මෙම සමනලගිර සිරිපා ගැන සඳහන් වන්නේ මෙසේ ය.

සුර රද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රුඳි මුනි සිරිපා තඹර
සකි සඳ පෙනේ සමනල ගල නැගෙනහිර
 (24 වැනි කව)

ක්‍රි.ව. පස්වන සියවසේ දී චීන ජාතික ෆාහියන් හිමියන් ලංකාවට පැමිණියේ ය. ෆාහියන් හිමියන් ලංකාවේ තිබූ බුදු සිරිපතුල් දෙකක් පිළිබඳ විශේෂයෙන් සිය වාර්තාවල සඳහන් කර ඇත. එයින් එකක් කඳු ශිඛරයක් මත ද අනෙක උතුරේ රාජකීය නගරයේ ය. ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩම කර එහි නිරිත දිග පිහිටි කන්දක ලංකාවතාර සූත්‍රය දේශනා කළ බව ක්‍රි.ව. 7 වන සියවසේ දී ඉන්දියාවේ සංචාරය කළ තවත් චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් වූ හියුංෂා හිමියෝ සඳහන් කරති. එම සියවසේ දී ම ලංකාවට පැමිණි වජිරබෝධි සිරිපතුල ඇති කන්දට නැග එහි භාවනා කළ බවද සඳහන් වෙයි. චීන වාර්තා අනුව මෙය සුමනකූටයයි. ක්‍රි.ව. නවවන සියවසේ දී සුලෙයිමාන් ද ලංකාවට පැමිණි අතර ඔහු එය ආදම්ගේ පාදය ලෙස සඳහන් කරයි.

පුරාණ භාරතයේ මෙන් ම අප රටේ ද වන්දනීය වස්තුවක් ලෙසින් බුදුපිළිමය වැඳුම් පිදුම් කිරීමට පෙර සිරිපතුල් වජ්‍රාසනය ආදී ලාංඡනවලට වැඳුම් පිදුම් කර ඇත. පුරාණ භාරතයේ භාරුත්, මථුරා, අමරාවති හා නාගර්ජුන කොණ්ඩ යන පුදබිම්වල ඇති ශිලා කැටයම්වල වජ්‍රාසන හා ශ්‍රී පාද ලාංඡන පූජාව පිළිබඳ නිදසුන් දක්නට ලැබේ. සිරිපතුල් ගල්වල සිරිපතුල් දෙකක් කැටයම් කර තිබේ. මේවා සම සතරැස් හෝ ආයත චතුරශ්‍රාකාර ශිලා ඵලකවල නෙළා ඇත. සමහර සිරිපතුල් දෙක මැද ඡත්‍රයක ලාංඡනය ද නෙළා ඇත. මෙවැනි සිරිපතුල් ගල් අනුරාධපුර මිහින්තලේ, දකුණේ, තිස්සමහාරාමය, සිතුල් පව්ව, යටාල ඇතුළු පුරාණ පුදබිම්වල දැකිය හැකි ය. උතුරේ යාපන දිස්ත්‍රික්කයේ කදුරුගොඩ විහාරයේ ද වව්නියාව, ත්‍රිකුණාමලය, දීඝවාපි, හා රජගල ආදී පුදබිම්වල ද දැකිය හැකි ය. මෙම සිරිපතුල් ගල්වලින් පැහැදිලි වන්නේ මුල්ම කාලයේ දී මේ රටේ (බුදුපිළිමවලට පෙර) සිරිපතුල් වන්දනාව තිබුණු බව ය. එවැනි සිරිපතුල් වන්දනාව සමනලකන්දේ විශේෂයෙන් පැවතුණි.

(වල්ලිපුරම් රන්සන්නස සහ හෙළ උරුමය - සිරිසමන් විජේතුංග පි. 51 – 52 දයාවංශ ජයකොඩි සහ සමාගම – 2003)

වැඩිම දුරක් පාගමනින් යන දේශීය වන්දනා ගමන ශ්‍රී පාද වන්දනාවයි. පුරාණ කාලයේ සැදැහැවතුන් සිරිපා වන්දනාවට පිටත් වූයේ තමන් සතු දේපළ, වස්තුව, ඉඩකඩම් ආදිය තමන් කැමැති කෙනෙකුට පවරාදීමෙන් අනතුරුව ය. සිරිපාදෙ ගොස් ආපසු පැමිණීමට ලැබේද? නොලැබේද? යන අවදානම ඊට හේතු විය. ගමන ඒතරමට බරපතල ය. මහගිරිදඹය නැග යා යුතුව තිබුණේ දම්වැල්වල එල්ලීගෙන ය. වර්තමානයේ මෙවැනි අසීරුතා නැත. ශ්‍රී පාද වන්දනාව, සම්බන්ධ ඊටම ආවේණික වාග් කෝෂයක් ඇත. ශ්‍රී පාද වන්දනාවේ යන සැදැහැවතුන් සමනොළ කන්දේ ගමන හඳුන්වන්නේ කරුණා කරනවා යනුවෙනි. සිරිපා වන්දනාවේ යන සැදැහැවතුන් විසින් නිර්මාණය කරන ලද කෙටි විරිතකින් ගායනා කරන කවි ද ඇත.

අප රටේ බිහි වූ සාහිත්‍ය ධරයන් කීපදෙනෙක් ම සමනල කන්ද හා ශ්‍රී පාදය වන්දනා ගැන වර්ණනා කර ඇත. 12 වැනි හා 13 වැනි සියවස්වල දී වේදේහ තෙරුන් විසින් ලියන ලදැයි සැලකෙන ගාථා 802 න් යුක්ත සමන්තකූට වර්ණනාව රචනා කර ඇත්තේ සමන්ගිරත් බුදු සිරිපාත් මුල්කරගෙන ය. විදේශික ලේඛකයන් බොහෝ දෙනෙක් සමනොල කන්ද සහ සිරිපාදය ගැන තොරතුරු අයත් පොත්පත් ලියා ඇත.