Print this Article


සුමන සමන් දෙවිඳු

සුමන සමන් දෙවිඳු

" මෙම දෙවි උතුමන් සමන් දෙවියන් ලෙස බැතිමතුන් අතර ප්‍රකට වන්නේ සමනොළ කන්ද තම වාස භූමිය, ශුද්ධ භූමිය, බල භූමිය, පූජා භූමිය හා ආශීර්වාද භූමිය කොට ගෙන ප්‍රාග් බෞද්ධ යුගයේ සිට අද දක්වා ම ආනුභාව තේජෝබල සම්පන්න ව සත වෙත සෙත සලසමින් වාසය කරන බැවිනි."

උතුම් සිරිපා වන්දනා සමය ආරම්භ වීමත් සමග සැදැහැවතුන් විසින් විශේෂයෙන් සුමන සමන් දෙවියන් ඉමහත් බැති සිතින් සිහිපත් කොට ගෞරවයෙන් පුද පූජා පවත්වා පින් දීම චිරසම්භාවිත ශ්‍රී ලාංකේය චාරිත්‍රයකි.

තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයෙන් අට වන වසර තෙවන වර ශ්‍රී ලංකාවට වඩිමින් පන්සියයක් මහරහතන් වහන්සේලා සමග කැලණිය පුරවරට වැඩම වූ අවස්ථාවෙහි එම පුණ්‍යභූමියෙහි සිට දහම් අසා පැහැදී තථාගතයන් වහන්සේ ප්‍රමුඛ ආර්ය උතුමන්ට සමනොළ කන්ද වෙත වැඩම කිරීමට ඇරයුම් කොට, සිරි ලක් පොළොවෙහි පරම පූජනීය ශ්‍රී පාද පද්ම ලාංඡනය පිහිටුවීමට මූලික වූයේ සමන් දෙවියන් වීම එයට ප්‍රධාන හේතුව බව ප්‍රකට ය.

මහාවංසය ආදී ඓතිහාසික පාලි මූලාශ්‍රයයන්හි එතුමන් පිළිබඳ සඳහන් වන්නේ මහා සුමන දෙවි හෝ සුමන දෙවි යන නම්වලින් වන අතර සම්භාව්‍ය සිංහල සාහිත්‍යයෙහි සමන් දෙවියන් ලෙස සඳහන් වෙයි. මෙම දෙවි උතුමන් සමන් දෙවියන් ලෙස බැතිමතුන් අතර ප්‍රකට වන්නේ සමනොළ කන්ද තම වාස භූමිය, ශුද්ධ භූමිය, බල භූමිය, පූජා භූමිය හා ආශීර්වාද භූමිය කොට ගෙන ප්‍රාග් බෞද්ධ යුගයේ සිට අද දක්වා ම ආනුභාව තේජෝබල සම්පන්න ව සත වෙත සෙත සලසමින් වාසය කරන බැවිනි.

සතර දිගින් ශ්‍රී ලංකා ධරණී තලය සුරකින දෙව්මහරජවරු වන දකුණට අධිපති උත්පලවර්ණ (විෂ්ණු) දෙවි, නැගෙනහිරට අධිපති කාර්තිකේය (කතරගම) දෙවි, උතුරට අධිපති සුමන සමන් දෙවි හා බස්නාහිරට අධිපති විභීෂණ දෙවි යන සිවු මහ දෙවිවරුන් ශ්‍රී ලාංකේය බැතිමතුන්ගේ වන්දනාවට විෂයය වන ප්‍රධාන ම බලසම්පන්න දෙවිවරු ය. එබැවින් ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන විහාරස්ථානවල මෙන් ම බොහෝ ස්ථානවල සිවු මහා දේවාල වෙන් ව ඇත්තේ මෙම දෙවිවරුන් වෙනුවෙනි.

සමනොළ කන්ද, සමන්ගිර හා සුමනකූට ලෙස ද හැඳීන්වෙන සිරිපා අඩවිය සමන් දෙවියන්ගේ වාසභූමිය වන අතර පුරාවෘත්තයන්ට අනුව සබරගමුව, දැරණියගල, බොල්තුඹේ, එල්ලක්කල, නිවිතිගල හා බෑනසමනොළගල සමන් දෙවියන්ගේ විශේෂ බල සහිත තැන් ය. එතුමන් වෙනුවෙන් කැප වූ මහ සමන් දේවාලය සබරගමුවේ රත්නපුරයෙහි පිහිටියේ ය. පොළොන්නරු යුගයේ දී (ක්‍රි. ව. 1270 දි පමණ) දෙවන පරාක්‍රමබාහු (පණ්ඩිත පරාක්‍රමබාහු) රජතුමන් විසින් මුලින් ම ගොඩනංවනු ලැබූ එම මහ සමන් දේවාලය විදේශීය ආක්‍රමණයන්ට ගොදුරු නොවීමෙන් ආරක්ෂා වීමේ වාසනාව හේතුවෙන් අද ත් පෞරාණික සම්භාවනීයත්වයෙන් ඉපැරැණි දෙව්විමන, දේවාලයට අයත් පරිවාර අංග මෙන් ම තොරණ වාලුකාංගන ගොපුරප්‍රාකාර සහිත ව විරාජමාන පැවතීම සිරි ලක්වැසියන්ගේ වාසනාවකි.

සුමන සමන් දෙවියන් පිදීමේ ඓතිහාසික ආරම්භය ලෙස සබරගමුවෙහි විසූ දේවගෝත්‍රික ප්‍රාදේශීය රජතුමෙක් එතුමන්ගේ අසමසම පින් බලයෙන් සුමන සමන් දෙවි ලෙස දේවත්වයට පත් ව එම පෙදෙසත්, ජනතාවත්, ශ්‍රී ලංකාද්වීපයත් සුරකින බව සබරගමු ජනශ්‍රැතියෙහි එන පුරාවෘත්තයයි.

මහාවංසයේ (පරි: 01, පද්‍ය අංක 33) වාර්තා වන පරිදි සමන් දෙවිඳු ප්‍රථම වරට තෙරුවන් වන්දනා කොට ශ්‍රද්ධා ප්‍රසාද ජනිත ව ධර්මශ්‍රවණය කිරීමෙන් සෝවාන් ඵලයට පත්වන්නේ තථාගතයන් වහන්සේ පළමු වර මහියංගනයට වැඩම කළ අවස්ථාවෙහි ය. එහි දී පූජා පිණිස සම්බුද්ධ කේශ ධාතු ලැබීමට වාසනාවන්ත වූ එතුමන් විසින් එම ධාතූන් තැන්පත් කොට මහියංගන සෑය ඉදිකළ බව සඳහන් ය. එහි ප්‍රතිඵල ලෙස සමන් දේව හාස්කම් පවත්නා බලවත් ආශීර්වාද භූමියක් ලෙස මහියංගන පුදබිම පිළිගැනෙයි.

මහාවංසයේ (පරි: 01, පද්‍ය අංක 77) සඳහන් වන තථාගතයන් වහන්සේ හතළිස් තුන් වන වියෙහි වූ බුද්ධත්වයෙන් අට වන වසර වෙසක් පුන් පොහෝ දින කැලණිය පුදබිමෙහි දී සමනොළ කන්ද වෙත වැඩම කොට දෙවියන් සහිත ලක් වැසියන් කෙරෙහි කරුණාවෙන් සිරිපා සලකුණ පිහිටුවන ලෙස සමන් දෙවියන් විසින් උන්වහන්සේ වෙත කරන ලද ආරාධනාව පොළොන්නරු යුගයේ දී (ක්‍රි. ව. 13 වන සියවස) එවක සංඝරාජ ආනන්ද වනරතන මහාස්වාමීන්ගේ ශිෂ්‍ය වේදේහ හිමියන් විසින් විරචිත සමන්තකූටවණ්ණනා නම් පාලි කාව්‍ය ග්‍රන්ථයේ (පද්‍ය අංක 721) සඳහන් වන්නේ පහත සඳහන් ගයෙනි.

අන්තොගධා නූන මයම්පි තුය්හං - දයාය තස්මා ඵණිනංවිමෙසං,

කරොහි මය්හං භවනම්පි ධීර - පාදංසුනා’තීව පවිත්තරූපං.

‘එහෙයින් අප ද ඔබ වහන්සේගේ කරුණා පිණිස ඒකාන්තයෙන් ඇතුළත් වූවෝ වෙමු. ධෛර්යමත් බුදුරදුනි, මේ (කැලණියේ) නාගයින්ට අනුග්‍රහ කළාක් මෙන් (සමන්කුළ මත පිහිටි) මාගේ භවනයෙහි සිරිපා රැසින් අතිශයින් ම පිවිතුරු සටහනක් කළ මැනවි.’

සමන් දෙවියන් මුලින් ම තථාගතයන් වහන්සේට සමනොළ කන්ද පෙන් වූ තැන වන ඓතිහාසික කැලණිය රජමහ විහාරයේ විහාර මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසට අද ත් කාලගුණය යහපත් දිනවල නැගෙනහිරින් සිරිපා මළුව මැනවින් ආකර්ශනීය ව ප්‍රදර්ශනය වෙයි.

රත්නපුර මහ සමන් දේවාලයේ වාර්ෂික ව අගෝසතු මස පැවැත්වෙන පෙරහර මංගල්‍යය සමන් දෙවියන්ට පුදපූජා උපහාර පිණිස ම කැප වූ සංස්කෘතික මංගල්‍යයකි. එහි දී බොහෝ සෙයින් ඉදිරිපත් වන සබරගමු සම්ප්‍රදායේ නර්තන සමූහය සමන් දෙවියන්ට කැප වූ පූජාවෝ වෙති. රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට කොළොන්නේ කෝරළය, දෙකෝරළය හා කුකුළු කෝරළය ආදී ප්‍රදේශයන්හි පැතිර සංරක්ෂිතව පවත්නා සබරගමු නර්තන සම්ප්‍රදායේ එන දවුල්, යක් බෙර හා තම්මැට්ටම් වාද්‍ය ක්‍රම මෙන් ම සින්දු මාත්‍රා, ගමන් මාත්‍රා හා යක් පද ආදී දෙතිසක් නර්තන ද සමන් දෙවියන්ට ගරුකිරීමට කැප වූ කලාංගයෝ ය. සමන් දෙවි ඇඳුම් කට්ටලය එහි දි ප්‍රධාන සැරසීම් විධියක් වන අතර පහන් මඩු ශාන්ති කර්මය සමන් දෙවි පිහිට පතන විශේෂ ආශීර්වාද ක්‍රමයකි.