Print this Article


ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ කාර්යභාරය

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ කාර්යභාරය

බුදුරජාණන් වහන්සේගේ ධර්මය දෙව් මිනිස් ප්‍රජාවටත් විශේෂයෙන් ම සියලු රට වැසියන්ටත් සියලු ලෝක වාසීන්ටත් සතා සීපාවන්ටත් ගහට කොළටත් යහපත උදා කරන අති උත්තම ධර්මයකි.

සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී දම් පිරූ අප මහා බෝසතාණෝ තිලෝගුරු සම්මා සම්බුදු බවට පත් වී දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය සූත්‍ර, විනය , අභිධර්ම වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය.

ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමත් සමඟ ම ඒ උදාර සද්ධර්මය ඉදිරියට පවත්වාගෙන යෑමේ විශාල තර්ජනයක් ඇති වූයේ භික්ෂු සංස්ථාව තුළින් ම බව ශාසන ඉතිහාසයට අනුව පෙනී යයි. සුභද්‍ර නම් භික්ෂුව සිදු කළ අකෘතඥ හා භයානක ප්‍රකාශය මෙහි දී මුලින් ම සලකා බැලිණි. ඒ දුර්ජන භික්ෂුව ප්‍රකාශ කළේ බුදුපියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම නිසා තමන් ම විනය පනවා මේ දේ කළ යුතු යි. මේ දේ නොකළ යුතු යි කියා, මෙහෙය වූ මහා ශ්‍රමණයා ගෙන් තමන් මිදුණු බවත්, දැන් අපට කැමැති දෙයක් කොට අකැමැති දෙයක් නොකොට අපට ඕනෑ විදියට කටයුතු කළ හැකි බවයි. මහලු කල පැවිදි වී අප භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමත් සමඟ ම මෙවැනි ශාසන විරෝධි මහා බරපතළ ප්‍රකාශයක් කිරීමට තරම් එම ඛුඩ්ඩපබ්බජිතයාගේ ( මහලු කල පැවිදි වූ භික්ෂුවගේ) එඩිතර වීම් අනාගත ශාසනයට මරු පහරක් බව ධූතංගධාරි භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය හොබවමින් ශාසනය එකලු කළ ඒ අතිඋත්තම මහා කාශ්‍යප මහ රහතන්වහන්සේට ක්ෂණයකින් අවබෝධ වූහ. උන්වහන්සේ වහා ම ක්‍රියාත්මක වූ සේක. සාමාන්‍ය ජනතාව රහතන් වහන්සේලා පිළිබඳ ව කල්පනා කරන්නේ පටු මානසිකත්වයකින් යුක්ත ව බව සමහර අවස්ථාවල දී උන්වහන්සේලා පිළිබඳ ව ප්‍රකාශ කරන ආකාරවලින් පිළිබිඹු වේ. එනම් රහතන් වහන්සේලා හුදෙකලාවේ විවේක සුවයෙන් ම ගත කරමින් අවශ්‍ය අවස්ථාවල දී ඉදිරියට නොපැමිණෙන පිරිසක් ලෙසිනි. එහෙත් උන්වහන්සේලා ඊට හාත්පසින් ම වෙනස් ව සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය වෙනුවෙන් නොපැකිළ ඉදිරියට ම පැමිණ කටයුතු කරන උත්තමයන් වහන්සේලා බව මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ උදාර කාර්යභාරය කෙරෙන් පෙනී යයි.

උන්වහන්සේ මගධ දේශාධිපති අජාසත්ත මහරජතුමාගේ රාජානුග්‍රහය ලබාගෙන පන්සීයයක් මහ රහතන් වහන්සේලා සහභාගි කරගෙන රජගහනුවර වේහාරී පර්වතය අසල සප්තපර්ණී ගල්ගුහාව තුළ ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු කොට අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දෙවිමිනිසුන්ගේ හිතසුව පිණිස බොහෝ කලක් පවතීවා යි කටයුතු කළ සේක. ඒ සංගායනාවේ දී ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සංගායනා කොට මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ඒම පිණිස කටයුතු සම්පාදනය කර වූ අතර ප්‍රධාන තේමාව වූයේ ‘විනයෝ නාම සාසනස්ස ආයු” යන්නයි. එනම් විනය ශාසනයේ පැවැත්ම යන්නයි. මේ අයුරින් ඒ ශ්‍රී සද්ධර්මය මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආවේ රාග, ද්වේෂ, මෝහ දුරු කළ රහතන් වහන්සේලා නිසා කිසිදු ආකාරයකින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අබමල් රේණුවක තරම්වත් පලුද්දක් ඇති කිරීමට උන්වහන්සේලා කටයුතු නො කළහ. ඒ ධර්මයට අලුතින් යමක් එකතු කිරීමට හෝ අඩු කිරීමට හෝ උන්වහන්සේලා කටයුතු නොකළේ උන්වහන්සේලා තුළ තිබෙන පරිපූර්ණ ශ්‍රද්ධාව නිසා ම ය. ශ්‍රද්ධාව යනු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හෙවත් සවිඥානය පිළිගැනීමයි. නූතනයේ සමහර ශ්‍රද්ධාව නැති පුද්ගලයන්ගේ පුහු තර්කයක් වන්නේ එදා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ඒ ආකාරයෙන් ම පවතිනවා ද යන්නයි. වසර 2500 ගණනක ඉතිහාසයක් තිබෙන ඒ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය අතරමග දී වෙනස් වන්නට බැරි දැයි ඔවුහු කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරති. කෙනෙකුට තර්ක ගොඩනැඟීමේ අයිතියක් අතුවා මෙන් ම ඒවා නිෂ්ප්‍රභ කිරීමේ අයිතිය ද කරුණු සහිතව කළ හැකි ය. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයන් වෙතින් මේ ධර්ම සංගායනාවන් සිදු විණි නම් එය අනිවාර්යයෙන් ම වෙනස් විය හැකි ය. එහෙත් උත්තරීතර මහරහතන් වහන්සේලා මේ ශ්‍රී සද්ධර්මය සංගායනා කළ හෙයින් එවැනි කිසිවක් සිදු වීමට කිසිසේත් ම ඉඩ නැත. මේ බව සූත්‍ර පිටකයේ සූත්‍ර 17,705ක් පමණ පරිශීලනය කිරීමෙන් මැනවින් ස්ඵුට වේ. භාග්‍යවතුන් වහන්සේ භාවිත කළ පාලි භාෂාවන් පසුකාලීනව අට්ඨකථාචාරීන් හා වෙනත් ලේඛකයන්ගේ පාලි භාෂාව, භාෂාව හැටියට එකක් ලෙස භාවිත වුවත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ශෛලිය ඉතාමත් සුවිශේෂී එකකි. අවශ්‍ය තේරුම ලබා දීම පිණිස එක ම රටාවක් භාවිත කරන අවස්ථා බොහෝ විට සංයුත්ත නිකායේ සලායතන සංයුත්තයේ සූත්‍ර සිය ගණනක් පරිශීලනය කිරීමේ දී පැහැදිලි වේ.

දෙවන ධර්ම සංගායනාවෙන් පසුව මහ රහතන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236 කට පසු ව ධර්මාශෝක මහ අධිරාජ්‍යයාගේ රාජානුග්‍රහයෙන් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් තෙවන ධර්ම සංගායනාව සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස රටවල් 09 කට ධර්ම ප්‍රචාරය සිදු වු අතර අප ශී‍්‍ර ලංකාද්වීපයට ද ශ්‍රී සද්ධර්මය නමැති උදාර දායාදය ලැබිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප රට ථේරවාද බුදු දහමින් පෝෂණය වී බුදුරජාණන් වහන්සේගේ ම දේශනාව පවතින ලෝකයේ තිබෙන ප්‍රධාන ම මධ්‍යස්ථානය බවට පත්ව ඇත. මේ උතුම් ධර්මය වසර 5000 ක් කල් පවතින බව පවතින වංශ කතාවලට අනුවත්, ජනප්‍රවාදයට අනුවත්, පිළිගැනේ. වට්ඨගාමිණී අභය හෙවත් වළගම්බා රජුගේ කාලයේ දී රටේ ඇති වූ දුර්භික්ෂ තත්ත්වයක් ප්‍රධාන වශයෙන් හේතු කරගෙන අනාගතයට මුඛ පරම්පරාගත ව මේ ධර්මය කටපාඩමින් ගෙන යෑමට මහරහතන්වහන්සේලා නොමැති වේ ය යන බියෙන් එකල වැඩසිටි දූරදර්ශි මහරහතන් වහන්සේලා එතෙක් කට පාඩමින්, භාණක පරම්පරාවලින් මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ මේ උතුම් ධර්මය තල්පත්වල ලේඛනගත කිරීම බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් ගත් අතිශ්‍රේෂ්ඨ පියවරකි. ඒ නිසා එදා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අප සියලු දෙනාට ම අදටත් ඉගෙන ගෙන එහි ප්‍රතිඵල නෙළා ගත හැකි ය.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය දෙව් මිනිස් ප්‍රජාවටත් විශේෂයෙන් ම සියලු රට වැසියන්ටත් සියලු ලෝක වාසීන්ටත් සතා සීපාවන්ටත් ගහට කොළටත් යහපත උදා කරන අති උත්තම ධර්මයකි.

එමෙන් ම සියලු ලෝක සත්ත්වයාට කරුණාව, දයාව, මෛත්‍රිය, මුදිතාව, පතුරුවන, සාමය, සමගිය, සමාදානය, සංහිඳියාව ඇති කරන සබ්බසත්ත හිතවාදී ධර්මයකි. මේ උතුම් ධර්මය ලෝකයේ පැවතීම සකල ලෝකවාසීන්ට ම ලෞකික හා ලෝකෝත්තර යහපත උදාකරයි. වරක් ලෝක සමුළුවක් ඇමතූ හිටපු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, ‘නහී වේරේන වේරානි” යන ධම්ම පදයෙන් ගාථා රත්නය උපුටා ගනිමින්” වෛරයෙන් වෛරය නොසන්සිඳෙන” බව ප්‍රකාශ කළ නිසා අදටත් ජපානය එතුමාට ගරු කරයි. එතුමා බුදුදහම කෙරෙන් ලෝක සාමය ඇති කළ හැකි බව එහි දී අවධාරණය කරන ලදී. ජයවර්ධනපුර රෝහල හා වර්තමාන පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා අපේ රටට ආධාර ලැබෙන්නේ ඒ අනුවයි.

නූතනයේ දී එදා සිටි බුඩ්ඩපබ්බජිත සුභද්‍රලා අප ශාසනයට ඇතුළත් වී ශාසනය වනසන බව පෙනේ. තමාට හිතෙන අත්තනෝමතික ප්‍රකාශ කරමින් භාග්‍යවතුන් වහන්සේ උපන් දේශයට ද ගර්හා කරමින් ශාසනය වනසන මෙවන් භයානක වකවානුවක දූරදර්ශී මහා සඟරුවනේ උපදෙස් පරිදි පින්වත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම බුද්ධ ශාසන ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන අති උත්කෘෂ්ඨ ක්‍රියාවකි. අතීතයේ දී රජදරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය නොලැබුණා නම් බුද්ධ ශාසනය වැනසී යෑම වැළැක්විය නොහැකි ය. ඒ ඒ රජදරුවන් තම තමන්ගේ කාර්යභාරය ඒ ඒ යුගවල දී සිදු කර ඇත.

මේ යුගයේ දී ඒ ඒ රාජ්‍ය නායකයන් තම කාර්ය භාරය රට දැය සමය වෙනුවෙන් ඉටු කර ඇති මොහොතක වර්තමාන ජනාධිපතිතුමාගේ මේ මහඟු ක්‍රියාව භික්ෂූන් වහන්සේලා හැටියට අපත් රටවැසියන් හැටියට ඔබත් අගය කළ යුතු අතර එම ත්‍රිපිටකය ලෝක උරුමයක් දක්වා ගෙන යෑමට කටයුතු කළ යුතු ය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම මඟින් කිසි කෙනෙකුට ඒ ශ්‍රී සද්ධර්මයට අනවශ්‍ය අතපෙවීම් කළ නොහැකි අතර එය විකෘති කොට තමන්ට හිතුමනාපේ ඒ සම්බන්ධ වැරැදි නිර්වචන ඉදිරිපත් කළ නොහැකි ය. එවැනි අකටයුතු දෙයක් වූ විට නිත්‍යානුකූලව කටයුතු කිරීමට ද අනිවාර්යයෙන් ම ඒ මඟින් හැකි වේ. එබැවින් විශේෂයෙන් ම මේ උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කර ගැනීමේ උතුම් කාර්ය සඵල කර ගැනීමට සියලු දෙනා ම එක්සත්ව එක්සිත් ව කටයුතු කළ යුතු ම ය. තුනුරුවන් සරණින් සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි රැකවරණින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝධ පියවර සාර්ථක කර ගැනීමට ඒ සඳහා මුල් වී කටයුතු කරන ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාට ම හැකි වේවා!