පින්කම් උසස් පහත් වන්නේ කෙසේද?
මණ්ඩාවල,
පුංචි මණ්ඩාවල මල්ලිකාරාමයේ
කුඩාවේ ගුණරතන හිමි
"සමහර අය පින්කම් සිදුකර දුර්වල සිතිවිලි ඇතිකර ගැනීමෙන් එම කුසලය ඕමක අවස්ථාවට
පත්කර කුසල චෛතසිකය දුර්වල කර ගන්නා අවස්ථා ද සමාජයේ බොහෝවිට ඇත. මෙයට ප්‍රධාන
හේතුව වන්නේ ඤාණ විප්පයුත්තව එනම්,ඤාණය නොමැතිව කටයුතු කිරීමයි."
බුදු දහමට අනුව සෑම පින්කමක් ම සිදු කිරීමට ඇත්තේ මහා කුසල් සිත් අටක් පමණි. එම
කාමාවචර කුසල් සිත් අට මෙසේ ය.
සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංකාරික සිත එනම්,
සැප වේදනා සහිත ඤාණය සමඟ යෙදුන මෙහෙයවීමක් නැති කුසල් සිත
සෝමනස්ස සහගත ඤාණ සම්පයුක්ත සසංකාරික සිත එනම්
සැප වේදනා සහිත, ඤාණය සමඟ යෙදුන, මෙහෙයවීමක් ඇති කුසල් සිත
සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්ත අසංකාරික සිත
සැප වේදනා සහිත ඤාණය සමඟ නොයෙදුන මෙහෙයවීමක් නැති කුසල් සිත
සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්ත සසංකාරික සිත
සැප වේදනා සහිත, ඤාණය සමඟ නොයෙදුන මෙහෙයවීමක් ඇති කුසල් සිත
උපේක්ඛා සහගත ඤාණ සම්පයුක්ත අසංකාරික සිත ය.
මැදහත් වේදනා සහිත, ඤාණය සමග යෙදුන මෙහෙයවීමක් නැති කුසල් සිත
උපේක්ඛා සහගත ඤාණ සම්පයුක්ත සසංකාරික සිත
මැදහත් වේදනා සහිත ඤාණය සමඟ යෙදුන මෙහෙයවීමක් ඇති කුසල් සිත ය.
උපේක්ඛා සහගත ඤාණ විප්පයුත්ත අසංකාරික සිත
මැදහත් වේදනා සහිත, ඤාණය සමඟ නොයෙදුන මෙහෙයවීමක් නැති කුසල් සිත
උපේක්ඛා සහගත ඤාණ විප්පයුත්ත සසංකාරික සිත
මැදහත් වේදනා සහිත ඤාණය සමඟ නොයෙදුන මෙහෙයවීමක් ඇති කුසල් සිත.
අකුසල හෙවත් පාප කර්ම නසන නිසා කුසල් වේ. ලෝභ, දෝස, මෝහ යන අකුසල චේතසික (සිතිවිලි)
හේතුවෙන් ඇතිවන අකුසල මූල යටපත් කර සුමගට යොමුකර මනුෂ්‍ය, දිව්‍ය යන සුගති භූමියෙහි
ඉපදීමට ඉවහල් වන බැවින් මෙම සිත් කුසල කර්ම කිරීමේ දී පහළ වේ.
දස පුණ්‍ය ක්‍රියා හා දස කුසල් කිරීමේ දී ඇතිවන චේතසික (සිතිවිලි) ක්‍රියාත්මක
වන්නේ මේ මහා කුසල් සිත් සමඟ ය. පින්කමක් සිදු කිරීමේ දී සඳහන් කරන ලද මහා කුසල්
සිත් අටෙන් කුමන හෝ කුසල් සිතකට අයත්වන බව සඳහන් කිරීමට හැකි ය.
පින්කමක අවස්ථා තුනක් පෙන්වාදිය හැක. එනම්, පූර්ව අවස්ථාව, මුඤ්චන අවස්ථාව, අපර
අවස්ථාව යනුවෙනි. මෙහි දී පූර්ව අවස්ථාව ලෙස පින්කම සිදුකිරීමට පෙර මහා කුසල් සිත්
අටේ ප්‍රථම කුසල් සිත වන ‘සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංකාරික කුසල් සිත වශයෙන්
පෙන්වාදීමේ දී සතුටෙන්, ඤාණයෙන්, මෙහෙයීමකින් තොරව සිදුකිරීමයි. මුඤ්චන අවස්ථාව ලෙස
විස්තර කිරීමේ දී පින්කම සිදුකරන මොහොත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොරව අලෝභ,
අදෝෂ, අමෝහ යන කුසල මූල අනුගමනය කළ යුතු ය. අපර අවස්ථාව යනු පින්කම සිදුකර අවසන් වූ
විටත් යහපත් පින්කමක්, වැදගත් පින්කමක්, සිතුවටත් වඩා උසස් අයුරින් සිදුකර ගත්තා
යයි සෝමනස්ස ඤාණ සම්පයුත්තයෙන් මෙනෙහි කළ යුතු ය. මේ අනුව බුද්ධිමත්ව සිතීම, කල්පනා
කිරීම වඩ වඩාත් වැදගත් වේ. මෙවිට කුසල හේතු තුනම යෙදීම නිසා ත්‍රිහේතුක උත්කෘෂ්ඨ බව
ඇති වේ.
සමහර අය පින්කම් සිදුකර දුර්වල සිතිවිලි ඇතිකර ගැනීමෙන් එම කුසලය ඕමක අවස්ථාවට
පත්කර කුසල චෛතසිකය දුර්වල කර ගන්නා අවස්ථා ද සමාජයේ බොහෝවිට ඇත. මෙයට ප්‍රධාන
හේතුව වන්නේ ඤාණ විප්පයුත්තව එනම්,ඤාණය නොමැතිව කටයුතු කිරීමයි.
බොහෝ අය සිද්ධස්ථානයන් හි දී සිදු කරන වත් පිළිවෙත් වල දී වාචිකව බැණ වදිමින්,
දූසිත සිතින් කටයුතු කිරීමේ දී කුසල් වෙනුවට අකුසල් උපදී. බොහෝ අය සිතන, කල්පනා කරන
දෙයක් වන්නේ පින්කම සිදුකරන අවස්ථාවේ දී පමණයි, කුසල් ඇති වන්නේ යන අදහස ය. එය
වැරැදි මතයකි.
පින්කමට සූදානම් වන මොහොතේ සිට ම, කතා බස් කරන වාරයක් පාසා ම කුසල චිත්ත වීථි උපදී.
පියවරක් පියවරක් පාසා පදවීතිහාරී කුසල් වශයෙන් චෛතසික ලක්ෂ කෝටි ගණනින් වර්ධනය වේ.
පින්කම සිදුකර මාස ගණනක්, වසර ගණනක් ගිය ද පින් පොතක මාර්ගයක් සිතයි ද, කල්පනා කරයි
ද එම මොහොතේ කරන පින්කමක් සේ කුසල විපාක සිත් ඇති වේ.
මේ ලෝකයේ සිටින සියලුම මිනිස්සු බෙදීමක්, වර්ග කිරීමක් කළොත් ඉහත දැක් වූ කාමාවචර
කුසල් සිත් අටට සමාන වී අට ආකාරයක් විය යුතු ය. නමුත් ඒ ආකාරයෙන් සිදු වී නැහැ.
සමහර අය දුප්පත්, සමහර අය පොහොසත්, සමහර අය බුද්ධිමත්, සමහර අය බුද්ධිමත් නෑ. සමහර
අය රෝගියි. සමහර අය නීරෝගියි. සමහර අය ලස්සනයි. සමහර අය අවලස්සනයි. මේ ආදී විවිධ
ලක්ෂණ හා විෂමාකාර ස්වභාවයක් පෙන්නුම් කරයි. මෙයට ප්‍රධාන සාධකය හා හේතුව වන්නේ පෙර
පින්කම් කිරීමේ දී ඇතිකර ගන්නා කුසල විපාකයන්ගේ ඤාණ සම්පයුත්ත (ඤාණය ඇතිව) ඤාණ
විප්පයුත්ත (ඤාණය නැතිව) අසංකාරික (මෙහෙයීමක් නැතිව) සසංසාරික (මෙහෙයීමක් ඇතිව)
අනුව වන උස් පහත් ස්වභාවයයි.
තව ද, කරන ලද පින්කම්වල විපාක පරලොවට පමණක්ම නොව හතෙන් එකක් මෙලොව දී (දිට්ඨ
ධම්මවේදනීය) විපාක ලබා දේ. ප්‍රථම කාමාවචර මහා කුසල් සිත මැනවින් අවබෝධ කර ගැනීමෙන්
ඉතිරි මහා කුසල් සිත් හත ද (07) අඩු වැඩි ස්වභාවය ඔබට වැටහෙනු ඇත.
මේ අනුව ඔබ සිදුකරන සියලුම පින්කම් නිවැරැදිව, සාර්ථකව සිදු කිරීමට තමාගේ සිත තබාගත
යුතු ආකාරය අවබෝධ කර ගන්න, ඔබ සැමට අමා නිවන් දොර විවර වේවා. |