සිත් පිත් නැති
මල්
මෙයට පෙර නො දුටු ඒ සපුෂ්පික ශාඛයෙහි නාමය කුමක්දැයි නොදනිමි. ශ්වේත වර්ණයෙන් ද ලා
දම් පැහැයෙන් ද වර්ණවත් වූ, කුඩා පුෂ්පයන් බොහෝ පිරිවරාගත් ඒ දසුන නෙත ගැටෙන,
පරිසරයේ සිරි විඳින කවරෙකුගේ වුව සිත පැහැර ගන්නා බව නම් ඒකාන්ත ය.
සුවිශේෂය නම් එය ම නොවේ.
මේ කුඩා ශාඛයට ජීවය දී තිබුණේ වැසි වැටුණේ නම් මිස ජල බිඳක් හෝ නොගැටෙන බිමකි.
වැඩෙන්නට අහරක් ඇතැයි නොසිතෙන ගොරහැඬි බිමකි. සිමෙන්ති බැම්මක සිරසෙහි නොව මධ්‍යයේ
ය. එහි වූ කුඩා පැල්මකින් ආලෝකය සොයා පැමිණි මේ කුඩා මල් පැළය ලෝකය වර්ණවත් කරන්නට,
සුවඳවත් කරන්නට ගන්නා වූ උත්සාහයම ය.
සිත් පිත් නැති මල් ගසක් නිහඬවම උගන්වන පාඩම මිනිසුන් වූ අපට මොන තරම් නම් වටිනවා
ද? ඇති දේ ගැන නොසෑහී, නැති දේ ගැනම සිතමින් සොයමින් මේ ජීවිතයේ අප මොන තරම් නම්
දැවෙනවා ද? තැවෙනවාද? උපන් දා සිට මියයන තෙක් ම අපමණ බලාපොරොත්තු ඉවරයක් නැති සේ ය.
ඉවරයක් නොවනවා නොව, ඒ තැනට හිත හදා ගන්නට නොහැකිවීමය ඊට හේතුව.
කර්කශ පොළොවේ වැඩී ලෝකය සුවඳවත් කරන්නට සිත්පිත් නැති මල් පැළයකට හැකි වූවා නම්
සිත් පිත් ඇති මිනිසුන්ට ලෝකය වෙනුවෙන් මොන තරම් දේ කළ හැකි ද?
අනුන් වෙනුවෙන් සිතේ උපදින දයාව, කරුණාව, මෛත්‍රී සිතිවිලි මොන තරම් සුව දායක ද?
ඒ මිනිස්ගුණ අමිල ය. මහා ධනයක් කුමට ද? නිලයක්, බලයක් කුමට ද? මහ පාරේ සිඟමන් යදින
අසරණයාට ද, මහා මන්දිරයක සැප සම්පත් විඳින මහා ධනවතාට ද ඒ පින්බර සිතිවිලි අඩු වැඩි
නොවී මතු කරගන්නට පුළුවන. ඒ මිනිසත් ගුණ තමන් සුවපත් කරන්නේ ය. අනුන් ද සනසවන්නේ ය.
ලෝකයම සුවඳවත් කරන්නේ ය. ඇවැසි අධිටන පමණි.
රමණී සුබසිංහ |