Print this Article


පිරිත් දේශනාව - 34 : සච්ච විභංග සූත්‍රය සහ ආටානාටිය සූත්‍රය

සච්ච විභංග සූත්‍රය සහ ආටානාටිය සූත්‍රය

සච්ච විභංග සූත්‍රය

සැරියුත් තෙරුන් වහන්සේ නවක භික්ෂූන් වහන්සේලාට කමටහන් ලබාදෙමින් ඔවුන් සෝවාන් ආදී මාර්ගඵලයන්හි පිහිටුවති. අනතුරුව තවත් නවක පිරිසක් වෙත ගොස් කමටහන් ලබා දෙමින් ඔවුන් ද සෝවාන් ආදී මාර්ගඵලයන්හි පිහිටුවති. සෝවාන් ආදී මාර්ගඵලවල පිහිටන තෙරුන් වහන්සේලා ඉන් අනතුරුව සකෘදාගාමී, අනාගාමී, මාර්ගවල හා ඵලවල පිහිටා අවසානයේ දී රහත් භාවය සාක්ෂාත් කරගනිති.

බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව විස්තරාත්මකව සැරියුත් තෙරණුන් ලවා දේශනා කරන්නේ යැයි සිතා භික්ෂූන් අමතා මහණෙනි, සැරියුත් තෙරණුවෝ වැදූ මව හා සමාන ය. මුගලන් තෙරණුවෝ හැදූ මව හා සමාන ය. ඒ නිසා උන්වහන්සේලා නිරතුරුව ඇසුරු කරන්න. ඔවුන් දෙනම චතුරාර්ය සත්‍යය විස්තර කරන්නට, දෙසන්නට, විවරණය කරන්නට සමත් වන්නේ යැයි දේශනා කර උන් වහන්සේලාගේ ගුණ වර්ණනා කළහ.

බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කොට ටික වේලාවක් දේශනා කොට දෙසීම නවතා වැඩම කළහ. එකල්හි භික්ෂූන් වහන්සේලා සැරියුත් තෙරණුවන්ගෙන් කරුණු විමසද්දී සැරියුත් හිමියන් විසින් සච්ච විභංග සූත්‍රය දේශනා කරන ලද්දේ ය.

දම්සක් පැවතුම් සූත්‍රය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වන්නේ දුකෙහි ප්‍රභේද අටක් ඒ තුළ විවරණය වන බවයි. එනම්, ජාති දුක, ජරාදුක, ව්‍යාධි දුක, මරණ දුක, අප්පියෝ සම්පයෝග දුක, පියේහි විප්පයෝග දුක, යංපිච්චං නලභති දුක, සංකිකත්තේන පඤ්ච උපාදානක්ඛන්ධ දුක යන්නයි. එහෙත් සච්ච විභංග සූත්‍රයේ දී සෝක දුක, පරිදේව දුක, දෝමනස්ස දුක, උපායාස දුක යනුවෙන් දුක් වර්ග කිහිපයක් ද විවරණය කොට තිබේ. ඉන්පසු සැරියුත් තෙරණුවන් විසින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ද, දීර්ඝ වශයෙන් විවරණය කළහ. දේශනාව අවසානයේ දී භික්ෂූන් වහන්සේ සැරියුත් තෙරණුවන්ගේ භාෂිතය සතුටු සිතින් පිළිගත්හ.

ආටානාටිය සූත්‍රය

බුදුරදුන් ගිජ්ඣකූට පර්වතයෙ හි වැඩවාසය කරන සමයක ධෘතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සිව්වරම් දෙවිවරු ආටානාට නුවර දී විපස්සි ආදි බුදුන් වහන්සේලා හත් නම අරභයා අතීතයේ දී දෙසූ මේ පිරිත බන්ධනය කොට යම් අමනුෂ්‍ය කෙනෙක් බුදුරදුන්ගේ ධර්ම ආඥාව හා අපගේ රාජ ආඥාව නො පිළිගනිත් ද ඔවුන් හික්මවාලීම සඳහා ගෞතම බුදුරදුන්ට ගෙනත් පිළිගැන්වූ හ. සතරවරම් දෙවිවරු තව්තිසා දෙව්ලොව සිව් දිසාවෙහි මහත් වූ යක්ෂ, ගන්ධබ්බ, කුම්භාණ්ඩ, නාග යන සේනාවන් ගේ ආරක්ෂාව සලසා මධ්‍යම රාත්‍රියෙහි ගිජ්ඣකූට පර්වතයට පැමිණ බුදුරජාණන් වහන්සේට වැඳ එකත් පසක හිඳ ගත්හ. සෙසු පිරිවර ද තම තමා කැමති පරිදි හිඳ ගත්හ. ඉක්බිති වෛශ්‍රවණ දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේට මෙසේ පැවසී ය . ස්වාමීණි, ඔබවහන්සේ හා ශ්‍රාවකයන් කෙරෙහි ප්‍රසන්න අමනුෂ්‍යයින් හා අප්‍රසන්න අමනුෂ්‍යයන් ද සිටිති.

යක්ෂ ආදීන් බුදුරදුන් හා ශ්‍රාවකයන් කෙරෙහි ද අප්‍රසන්න වීමට හේතු ලෙස පෙන්වා දී ඇත්තේ පංචශීලය ආරක්ෂා කිරීමට දහම් දෙසීම,

අකුසලයෙන් වෙන්වීමට දහම් දෙසීම, පව් නොකිරීමට දහම් දෙසීම, රාග, ද්වේෂ මෝහ බැහැර කිරීමට දහම් දෙසීම,

භවය ඉක්මවා යෑමට දහම් දෙසීම, යනාදියයි

එමෙන්ම යක්ෂාදීන් බුදුරදුන් හා ශ්‍රාවකයන් කෙරෙහි පැහැදීමට බලපා ඇත්තේ

පන්සිල් ආරක්ෂා කිරීමට සත්ත්වයා යොමු කිරීමයි. කුසල් වැඩිදියුණු කිරීමට සත්ත්වයා යොමු කිරීමයි

තමාගේ මෙන් ම අන්‍යයන්ගේ යහපතට හේතුවන සිතිවිලි උපදවා ගැනීමට මග පෙන්වීමයි. පරාර්ථ චර්යාවට අවශ්‍ය මාර්ගෝපදේශනය සැපයීමයි

දැහැමි දිවි පෙවෙතකට මං පෙත් පෙන්වා දීමයි. සරල චාම් ජීවිතයකට අවැසි ධර්මය පහදා දීමයි. යනාදි ද හේතුන් වේ.

වෛශ්‍රවණ දිව්‍ය රාජයා බුදුරදුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබවහන්සේත්, ශ්‍රාවකයෝත් වනගත සෙනසුන්වල වැඩි වශයෙන් වාසය කරති.ඒවායේ සිටින ඇතැම් යක්ෂාදීන් ද, තෙරුවන් කෙරෙහි අප්‍රසන්න වෙති. ඔවුන්ගේ සිත සතුටු කිරීම පිණිසත්, භික්ෂු භික්ෂුණීන්ගේ ආරක්ෂාව පිණිසත්, මේ ආටානාටිය නම් ආරක්ෂිත පිරිත උගන්වනු මැනවැයි ඉල්ලා සිටියේ ය. බුදුරදුන්, වෛශ්‍රවණ, දිව්‍ය රාජයාගේ ඉල්ලීම නිහඬව ඉවසූ නිසා ආටානාටිය පිරිත ප්‍රකාශ කළේ ය. පිරිත ආරම්භ කරමින් වෛශ්‍රවණ විසින් සත්බුදුරජාණන් වහන්සේලාගේ නම් ගොත් සිහිකරමින්.

විපස්සී බුදුරජාණන් වහන්සේ

පසස් ඇති සිරිමත් වු විපස්සී බුදුරදුන්ට නමස්කාර වේවා, සිඛී බුදුරජාණන් වහන්සේ

සියලු සතුනට අනුකම්පා ඇති බුදුරදුන්ට නමස්කාර වේවා. වෙස්සභු බුදුරජාණන් වහන්සේ සෝදාහල කෙලෙස් ඇති තපස්වී වූ වෙස්සභු බුදුරදුන්ට නමස්කාර වේවා.

කකුසඳ බුදුරජාණන් වහන්සේ මරසෙන් මැඩලූ කකුසඳ බුදුරදුන්ට නමස්කාර වේවා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ

බාහිත පාපී වූ වැස නිමවූ මග බඹසර ඇති කෝණාගමන බුදුරදුන්ට නමස්කාර වේවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හැමදෙයින් මිදුණා වූ කාශ්‍යප බුදුරදුන්ට නමස්කාර වේවා ගෞතම බුදුරජාණන් වහන්සේ දුක් දුරලන ධර්මය දෙසන්නා වූ ශ්‍රීමත් වූ ශාක්‍යපුත්‍ර ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මෙලෙසින් නමස්කාර කර ඇත.

අනතුරුව වෛශ්‍රවණ විසින් සතරවරම් දෙවිවරුන් හා ඔවුන්ගේ රාජධානි පිළිබඳව හැඳින්වීමක් කර තිබේ.