අනුවණයාගේ සතුරා සහ
නැණවතාගේ මිතුරා
කොළඹ බෞද්ධාලෝක මාවත
නාරද බෞද්ධ ධර්මායතනාධිපති
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
සංසාර විමුක්තිය ඉලක්ක කරගෙන කටයුතු කරන්නා පාපයෙන් මිදෙන කෙනෙක්. කුසලයෙහි යෙදෙන
කෙනෙක්. එසේ කරන්නේ ඇයි? කර්ම විපාක අනුව පාප ක්‍රියා කරන්නාට හිමි තැන අපාය
නිසායි.
සෑම සමාජ තරාතිරමක ම සිටින අයට සර්ව සාධාරණව ලැබෙන දෙයක් වන්නේ කර්ම විපාක යි. පව්
කරන ලද කිසිවෙකුට ඒ පවට අදාළ කර්ම විපාකවලින් ගැළවීමක් නම් සසර සැරි සරන තුරාවට
ලැබෙන්නේ නැහැ. පව් කළ කෙනා සසර සැරි සරන තුරා කිනම් හෝ භවයක දී කරන ලද පව්වල විපාක
විඳිය යුතු වෙනවා. විටෙක ඒ පව පලදීම තමාගේ යහපත් ක්‍රියාකාරකම් නිසා කල් දමා ගත
හැකියි. නමුත් කර්ම විපාකය සසර සැරිසරන තුරාවට අහෝසි වී යන්නේ නැහැ. එය අහෝසි වන්නේ
සසර ගමන නවතාලීමෙන් පසුවයි.
සංසාර විමුක්තිය ඉලක්ක කර ගෙන කටයුතු කරන්නා දස අකුසලයෙන් මිදිය යුතු වෙනවා. දස
කුසලය වැඩිය යුතු වෙනවා. කෙනෙකුගේ සසර ගමන හොඳ වන්නේ ද, සසරින් නිදහස් විය හැකි
වන්නේ ද ඒ තැනැත්තා දස කුසලය වඩන්නේ නම් පමණයි. දස අකුසල් පුරුදු කිරීමෙන් වන්නේ
සත්ත්වයා දුගතියට ඇද වැටීම යි. අනුවණයා සසර කැමැති නිසා පවට නැඹුරු වෙනවා. දස
අකුසල් පුරුදු කරනවා. සත්ත්වයෙකු ලෙස අතීත සංසාරයේ ඇවිදීම තුළ විඳින්නට සිදු වූ දුක
සිහි කරන්නටවත් කැමැති නැහැ. ඒ නිසා ම අනුවණයා සසර බිය උපදවා ගන්නේ නැහැ. සසර ගමනට
හෙවත් සසර සැරිසරන්නට පි‍්‍රය කරනවා. සත්ත්වයෙකු ලෙස අතීත, වර්තමාන සහ අනාගත යන
තුන් කල්හි ඇවිදයාම සසර සැරිසරනවා යනුවෙන් හැඳින්විය හැකියි. මේ සාංසාරික ස්වභාවය
අතිශයින්ම දුක් සහගතයි. මේ සංසාරය තුළ තමන්ගේ පැවැත්ම ද දුක් සහගත බව දන්නා
තැනැත්තා සසර පවතින අන් අයට ද දුකක් උරුම කර දෙන්නට පෙළඹෙන්නේ නැහැ. ඒ නිසාම
නුවණැති තැනැත්තා සසර ස්වභාවය මනා ලෙස දැනගෙන මේ සාංසාරික ගමන තුළ තමන්ටත් අනුන්ටත්
යහපතක් ම උදාවන සේ කටයුතු කරනවා.
හික්මීමක්, සංවරයක් නැතිතැන සිදුවන්නේ අන් අයට කරදරයක් බව අවබෝධ කර ගන්න තැනැත්තා
තමාගේත්, අනුන්ගේත් යහපත පිණිස සිත ,කය, වචනය යන තුන් දොර සංවර කර ගන්නවා. ඒ තුන්
දොර සංවර කර ගැනීම තුළ ඒවායෙන් සිදු විය හැකි දස අකුසල් වළකා ගන්නා අතර, ඒ වෙනුවට
දස කුසලය ම පුරුදු පුහුණු කරනවා. තමාගේ හික්මීම තමාගේ විමුක්තිය බව වටහා ගන්නා
නුවණැත්තා නිරන්තරයෙන් ම සිහියෙන් නුවණින් කටයුතු කරනවා. සිත, කය ,වචනය යන තුන් දොර
මෙහෙයවා හොඳ දේ ම කරනවා. ඒ තැනැත්තා හොඳ දේ හෝ පින් සිදු කරන්නේ අනුන්ගෙන් පැසසුම්
ලැබීමට නොව පාප කර්මවල විපාක තම සාංසාරික ජීවිතය අවදානමකට ලක් කරන බව මනා ලෙස වටහා
ගත් නිසා ය.
අප මේ සසර පුරාවට ම විඳින දුක් වේදනා කෙදිනක හෝ නිමා කර ගත යුතුයි නේද? එසේ නම් අප
විසින් කළ යුතු වන්නේ පාපයෙන් බැහැර වීමයි. කුසලයෙහි යෙදීම යි. එය ද සිතන තරම්
ලෙහෙසි කාර්යයක් නොවේ. දීර්ඝ කාලයක් තිස්සේ අපේ සිත හුරු පුරදු වී තිබෙන්නේ පවට ම
නිසා සිත පවෙන් මුදවා කුසලයෙහි පිහිටුවීම අපහසු කාර්යයක්, නමුත් අපහසුවෙන් හෝ අප කළ
යුතු වන්නේ ද එයයි. සසරින් නිදහස් විය හැක්කේ එය සිදු කිරීමෙන් පමණම යි.
පින් සහ පව් සමඟින් ගෙවී යන අපගේ මේ සංසාර ගමනේ දී අප විඳින ලද සැපට වඩා විඳින ලද
දුක් ප්‍රමාණය ඉතා වැඩියි. තම ජීවිත කාලය තුළ කිසි දිනෙක දුෂ්කරතා බාධක විඳ නොමැති
කිසිවෙකුත් මේ සාංසාරික ගමනට මුසුවන සත්ත්ව ලෝකය තුළ නම් නැහැ. ඒ නිසා ජීවිතයට
කිසියම් දුකක් උදා වන විට අනේ ඇයි මට මේ මෙහෙම දුක් විඳින්නට වන්නේ යැයි සිතා තවත්
මානසික ව දුර්වල වන්නේ නැතිව, එවන් තත්ත්වයක් තමාට උදා වූයේ තමාගේ ම සාංසාරික
පැවැත්මේ ඇති වරදක් නිසා බව වටහා ගෙන එවන් වැරැදි වෙන ස්වභාවය හැකිතාක් දුරට අඩු
කරගත යුතු වෙනවා. එසේම තමාට වඩා ලෝකයේ බොහෝ දුක් වේදනාවන්ට පත්වුවන් සිටින බව
තේරුම් ගෙන තම දුක තුනී කර ගැනීමට උත්සාහවත් විය යුතු වෙනවා. ජීවිතය දෙස ඕනෑවට වඩා
බියෙන් බලන්නට යන්නේ නැතිව සරල ජීවන පැවැත්මෙන් ජීවත් විය යුතු වෙනවා.
කිසියම් ජීවිත ප්‍රශ්නයක් උදා වු විට එය පුද්ගලිකත්වයෙන් භාර ගන්නේ නැතිව පොදු සමාජ
අත්දැකීමක් සේ සැලකීම ප්‍රශ්නවලින් ඇතිවන පීඩාව අවම කර ගැනීමට හේතු වෙනවා. බොහෝ සරල
ප්‍රශ්න සංකීර්ණ ප්‍රශ්න බවට පත් කර ගන්නේ ද අප විසින්ම යි. බොහෝ විට අප අපට හිමි
ප්‍රශ්න විසඳා ගන්නේ නැතිව අනුන්ගේ ප්‍රශ්න ද අපගේ ප්‍රශ්න කර ගෙන විවිධ
සංකීර්ණතාවලට ගොදුරු වී ජීවිතය ම අවුල් කර ගන්නවා. මිනිසුන් වශයෙන් ජීවත් වන්නට ඇති
මේ කෙටි කාලය තුළ අප කළ යුත්තේ අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න බවට පත් කරගෙන අපද
ඔවුන් ද අවුලෙන් අවුලට ඇද දැමීම නොව, ලැබුවා වූ මේ අනගි අවස්ථාවෙන්, ක්ෂණ
සම්පත්තියෙන් ප්‍රයෝජන ගෙන සසර ගමන කෙටි කර ගැනීමයි. අපගේ ප්‍රශ්න විසඳා ගත්තා
වන්නේ එවිටයි.
ඒ නිසා අපගේ මේ ජීවිතය කිසියම් ඉලක්කයකට මෙහෙයවිය යුතු වෙනවා. ඉලක්කයක්, අපේක්ෂාවක්
නැතිව ජීවත්වන්නා අයාලේ යන ගවයෙක් වගෙයි. නූල කැඩුණු සරුංගලයක් වගෙයි. ගවයා සහ
සරුංගලය යන දෙක ම පාලනය වන්නේ ගැට ගසා ඇති කඹය හෝ නූල පදනම් කරගෙනයි. කඹය ගවයා යා
යුතු දුර පාලනය කරනවා. ගවයාගේ ක්‍රියාකාරකම් සීමා කරනවා. ගවයාට රිසි රිසි දේ කිරීමට
කඹය තිබෙන තුරාවට ඉඩක් ලැබෙන්නේ නැහැ. කඹය තිබෙන තුරාවට ගවයාට අයාලේ යා හැකි වන්නේ
නැහැ.
කඹය කඩා ගත් පසු තමාට රිසි පරිදි හැසිරෙනවා. ඒ තුළ තමාග් ජීවිතය අනතුරේ හෙවත්
අවදානමේ හෙළා ගන්නවා. කඹය කඩා ගත් ගවයන් සේ ජීවත් වන මිනිසුන් ද අප සමාජයේ බහුල
වශයෙන් සිටිනවා. අවිචාරවත් ජීවන පැවැත්ම තුළ සිය ජීවිතය ම සංසාරික වශයෙන් අනතුරේ
හෙළ ගන්නා අය අප සමාජයේ සිටිනවා. ඒ දුර්වල පුද්ගලයන්ගේ ගති ස්වභාවයන් අපගේ ජීවිතවලට
ඈඳා ගන්නේ නැතිව, ඉතිරිව ඇති හොඳම සහ එකම දවස අද දවස පමණක් ය යැයි සිතා අද කළ යුතු
දේ අද ම කරන්න පුහුණු විය යුතුයි. පුරුදු විය යුතුයි. අද කළ යුතු දේ හෙටට කල් නො
දැමිය යුතුයි. තම තමාගේ දියුණුව හෝ පිරිහීම ඇති කර ගන්නේ තමාම යි. වෙනත් කෙනෙකුට
අපට භෞතික වශයෙන් හානි ඇති කිරීමට හැකි වුවත් අධ්‍යාත්මික වශයෙන් පරිහානියට ලක්
කිරීමට අන් කිසිවෙකුටත් හැකියාවක් නැහැ. මෝඩයාගේ සතුරාත් , නැණවතාගේ මිතුරාත් තමා ම
යි
දුක මත පිහිටා තිබෙන ලෝකයේ අප සෙවිය යුත්තේ තාවකාලික සැප නොව සදාතනික සුවය යි. ඒ
සදාතනික සුවය අත්විඳින තුරාවට අපට හිමි වන දුක තාවකාලික ලෙසින් සිතා, දරා ගැනීමේ
ශක්තිය ඇති කරගෙන, සිත හදා ගැනීමේ වැඩ පිළිවෙලකට අනුගත විය යුතුයි. සසරට වැටෙන
කෙනාට විඳින්නට වන සංසාරික දුක අවදානමක් සේ සලකා එයින් අත මිදීමට, දස කුසලය වැඩීමට
සූදානම් විය යුතුයි. එසේ සූදානම් වන කෙනෙකුට සදාතනික සුවය වන නිවන් සුවය
ප්‍රත්‍යක්ෂ කරගත හැකි වනු ඒකාන්තයි.
නයනා නිල්මිණී |