UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 23 : වරදින් වැළකීමට විමසමු නුවණින්

තෙවළා බුදු වදන් අතරින් 23 :

වරදින් වැළකීමට විමසමු නුවණින්

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ආයුෂ්මත් රාහුල තෙරණුවෝ ඊට නුදුරෙහි පිහිටි අම්බලට්ඨිකා නම් විවේකස්ථානයේ වැඩ වාසය කළහ. සවස් කාලයේ එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ රාහුල තෙරුන් අමතා අවවාද ස්වරූපයෙන් අනුශාසනාවක් කළහ.

එම අනුශාසනාව ඇතුළත් සුත්‍ර දේශනාව අම්බලට්ඨිකාරාහුලෝවාද සූත්‍රය නමින් හැඳීන් වේ. එහි අන්තර්ගත ධර්ම කරුණු ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත ය. පළමු කොටසින් බොරු කීමේ ආදීනව පැහැදිලි කෙරේ. තථාගතයන් වහන්සේට දෙපතුල් සේදීමට තැබූ ජල බඳුන උපමා කරගනිමින් දැන දැන බොරු කියන්නාගේ පැවිද්ද හිස් දිය බඳුනක් සෙයින් බැහැර කරන ලද, යටිකුරු කරන ලද තුච්ඡ එකකැයි දේශනා කළහ. දෙවන කොටසින් බුදුරජාණන් වහන්සේ කැඩපත නිදසුන් කරගනිමින් තිදොරින් යම් ක්‍රියාවක් සිදුකිරීමේ දී එය යහපත්ද, අයහපත් ද යනුවෙන් නුවණින් විමර්ශනය කිරීමට අවශ්‍ය නිර්ණායක රාහුල තෙරුන්ට හඳුන්වා දුන්න හ. යම් ක්‍රියාවක් විනිශ්චය කිරීමෙහිලා බුදුරදුන් හඳුන්වාදුන් මෙම ක්‍රමවේදය සාදාචාරය පිළිබඳ උන්වහන්සේගේ ධර්මයෙහි අතිශය ගැඹුරු දාර්ශනික විග්‍රහයක් ලෙස සැලකිය හැකි ය. යමෙකු කළ ක්‍රියාව විනිශ්චය කිරීමේ පරම අයිතිය පවතින්නේ එම තැනැත්තාට ය. එය සර්වලබලධාරී දෙවියෙකු හෝ වෙනත් අදෘෂ්‍යමාන බලවේගයක් මගින් සිදුවන්නක් නොවේ. ඒ අනුව සදාචාරාත්මක ක්‍රියාවේ වගකීම දරන්නේ එම ක්‍රියාව කළ තැනැත්තා ය. ඒ සඳහා වෙනත් කෙනෙකුට වගවිය නොහැකි බව මෙම බුද්ධ දේශනාවෙන් පැහැදිලි වේ.

රාහුල තෙරුන් ඇමතූ තථාගතයන් වහන්සේ කැඩපත කුමක් සඳහා භාවිත කරන්නේදැයි විමසූහ. බුදුරදුන්ට පිළිවදන් දුන් රාහුල තෙරණුවෝ කැඩපත පරීක්ෂාකොට බැලීම සඳහා යැයි පැවසූහ. කැඩපතකින් පරීක්ෂාකොට බලන්නාක් මෙන් තිදොරින් සිදුකරන සැම ක්‍රියාවක්ම නුවණින් විමසා බලා කළයුතු යැයි බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට අනුශාසනා කළහ. ඒ අනුව තිදොරින් කරන යම් ක්‍රියාවක් වේ නම්, එම ක්‍රියාව තමන්ට අහිත පිණිස (අත්තව්‍යාබාධාය) පවතී ද, අන්‍යයන්ට අහිත පිණිස පවතී ද (පරව්‍යාබාධාය), තමන්ට මෙන්ම අන්‍යයන්ටත් අහිත පිණිස පවතීද (උභයව්‍යාබාධාය), එම ක්‍රියාව අකුසල ය දුක්විපාක ගෙන දෙන්නකි. ද එසේ නම් එම ක්‍රියාව නොකළ යුතුයි. එසේම තිදොරින් කරන යම් ක්‍රියාවක් වේ ද, එය තමන්ට හිත පිණිස පවතී ද (නෙවත්තව්‍යාබාධාය), අන්‍යයන්ට හිත පිණිස පවතී ද, (නපරව්‍යාබාධාය) තමන්ට හා අන්‍යයන්ට හිත පිණිස පවතී ද (නඋභයව්‍යාබාධාය), එම ක්‍රියාව කුසලය සැප විපාක ගෙන දෙන්නක්ද (කුසලං ඉධං ඣී කම්මං සුඛුද්‍රයං සුඛ විපාකං) එසේ නම් එම ක්‍රියාව කළ යුතුය. මේ අනුව යම් ක්‍රියාවක් හොඳ ද? නරක ද? යන්න විනිශ්චය කිරීමේ දී නිර්ණායක හතරක් සැලකිල්ලට ගැණේ. යට දක්වන ලද නිර්වචන අතරින් මුල් තුනෙන් එම ක්‍රියාව පුද්ගලයාට මෙන්ම සමාජයටත් බලපානේනේ කෙසේද? යන්න සලකා බැලේ. කිසියම් ක්‍රියාවක් පුද්ගල යහපතට හේතු වුවද, එම ක්‍රියාව පෙරලා සමාජයට අහිතකර නම් නොකළ යුතු ය. සදාචාරාත්මක ක්‍රියා විනිශ්චය කිරීමේදී පුද්ගලයා නොසලකා සමාජය ගැන පමණක් සැලකීමත් සමාජය නොසලකා පුද්ගලයාට මුල්තැන දීමත් යන දෙ අංශය ම බුදුසමයෙන් ප්‍රතික්ෂේප කෙරේ. තෙවන නිර්ණායකයෙන් පෙන්වා දෙන්නේ පුද්ගලයා මෙන්ම සමාජයත් එකසේ වැදගත් බවයි. එබැවින් යම් ක්‍රියාවක් විනිශ්චය කිරීමේදී පුද්ගලයාට මෙන්ම සමාජයටත් එහි බලපෑම කවරේද? යන්න විමසා බැලිය යුතු බව බුදුසමයේ පිළිගැනීමයි. සිව්වන නිර්ණායකයෙන් පුද්ගල ක්‍රියාවේ ස්වරූපය විනිශ්චය කෙරේ. යම් ක්‍රියාවක ස්වභාවය පමණක් නොව එහි ප්‍රතිඵලය කෙරෙහිද සැලකිලිමත්විය යුතු බව සිව්වන නිර්ණායකයෙන් පැහැදිලි වේ. සමාජයට මෙන්ම පුද්ගලයාටත්, යහපතක් වුවත් එම ක්‍රියාව අකුසල සහගත නම්, සාවද්‍ය නම්, දුක්ඛදායක විපාක ගෙනදෙන්නේ නම් එය යහපත් එකක් ලෙස නොපිළිගැනේ. නරක ක්‍රියාව ගැන පමණක් නොව, යහපත් ක්‍රියාව සම්බන්ධයෙන් ද යථොක්ත ක්‍රමය අනුගමනය කළ යුතු වේ. ඒ අනුව යම් ක්‍රියාවක් හොඳයැයි නිර්ණය කරන්නේ එම ක්‍රියාව පුද්ගලයාගේත් සමාජයේත් යහපත පිණිස පවතින, එසේම එය නිරවද්‍ය මෙන්ම යහපත් ප්‍රතිඵල ගෙනදෙන්නක් නම් පමණි.

තිදොරින් තමා කරන ක්‍රියාව අවස්ථා තුනක් යටතේ සැලකිල්ලට භාජනය කළයුතු බව බුදුරජාණන් වහන්සේ මෙහිදී රාහුල තෙරුන්ට පැහැදිලි කළහ. ඒ අනුව යම් ක්‍රියාවක් කිරීමට අදහස් කරන අවස්ථාවේදීත් (කත්තුකාමො) එය සිදුකරන අවස්ථාවේදීත් (කරොන්තෙන) එම ක්‍රියාව සිදුකළ පසුවත් (කත්වාපි) යන අවස්ථා තුනේ දී ම ඒ ගැන නැවත නැවතත් විමර්ශනය කළ යුතු වේ. කිසියම් ක්‍රියාවක් කිරීමට පෙර ඉහත සඳහන් නිර්ණායක අනුව එම ක්‍රියාව අයහපත් යැයි වැටහේ නම්, එය නොකළයුතු ය. සාවද්‍ය ක්‍රියාවේ සමාජමය බලපෑම හා අනුරූපී විපාක ගැන පූර්ව වැටහීමක් නොමැතිව එය ආරම්භ කළේ නම් ඒ ගැන වැටහීමක් ඇති වූ සැනින් එම අයහපත් ක්‍රියාව නවතා දැමිය යුතු වේ. පූර්ව වැටහීමක් නොමැතිව සිදුකළ අයහපත් ක්‍රියාවෙන් අනතුරුව එය සාවද්‍ය යැයි වැටුහුණි නම් මතුවට එවැනි සාවද්‍ය ක්‍රියාවලින් වැළකී ආයති සංවරයේ පිහිටා කටයුතු කළයුතු වේ. මෙම විග්‍රහය අනුව අයහපත් ක්‍රියාවෙන් වැළකීමට නුවණැති පුද්ගලයාට අවස්ථා තුනක් ලැබේ.

බුදුරදුන් මෙහිදී රාහුල තෙරුන්ට දේශනාකොට වදාළේ තමා කළ වරද, වරදක් වශයෙන් පිළිගෙන, එය බුදුරදුන්ට හෝ නුවණැති සබ්‍රහ්මචාරී භික්ෂුවක් ඉදිරියේ ප්‍රකාශ කළ යුතු බවයි. මෙම ක්‍රමය ගිහි අයෙකුට වුව අනුගමනය කළ හැකි ය. තමා විසින් කළ යම් වරදක් වෙතොත් එය පිළිගෙන ඒ ගැන නුවණැති අයෙකුට දන්වා ඊට පිළියම් යෙදිය යුතු වේ. නුවණැති (විඤ්ඤූපුරිස) අයෙකුට මිස අනුවණ අසත්පුරුෂයෙකුට එය ප්‍රකාශ නොකළ යුතු ය. තමා අතින් සිදු වූ වරදක් එවැනි අනුවණ අයෙකුට කීමෙන් වන්නේ තවදුරටත් අපහසුතාවයට පත්වීම යි. එහෙත් නුවණැති සත්පුරුෂයා කෙනෙකුගෙන් සිදු වූ වරදක් තමාට ප්‍රකාශ කළ විට අනුගමනය කරන්නේ ඔහු කෙරෙහි සානුකම්පිත වී එම රහස රහසක් ලෙස තබාගෙන එයින් නිදහස් වීමට අවශ්‍ය පිළියම් යෝජනා කිරිමයි. වරදකාරී මනසින් නිඳහස් වීමට උපකාරී වීමයි.

යහපත් ක්‍රියාව සම්බන්ධයෙන් ද මෙවැනිම අවස්ථා තුනක් තිබේ. එය කිරීමට අදහස්කරන මොහොතේදීත්, කරන අවස්ථාවේදීත්, කිරීමෙන් අනතුරුවත් එයින් වන යහපත සැලකිල්ලට ගත යුතු වේ. යහපත් ක්‍රියාව අනුගමනය කිරීමෙන් අනතුරුව උසස් මානසික සුවයක් ලද හැකි ය. බුදුරදුන් රාහුල තෙරුන්ට පැවසුවේ තම නිවැරැදි ක්‍රියාව නිසා ඇතිවෙන සතුට හා ප්‍රීතිය දිවා රැ දෙකෙහිම විඳීමින් වාසය කරන ලෙසයි.

රාහුල තෙරුන්ට කළ මේ අනුශාසනාව වර්තමානයට එකසේ අදාළ ය. බොහෝ දෙනෙකුට තමන් කරන දේ පිළිබඳ නිවැරැදි වැටහීමක් නැත. අනුවණ බව හේතුවෙන් සිදුකරන වැරැදි චර්යාවල දුක්ඛ දායක ස්වභාවය වැටහෙන්නේ එම ක්‍රියාව සිදු කිරීමෙන් අනතුරුව යි. තමන් කරන ක්‍රියාව කිරීමට අදහස් කරන අවස්ථාවේදී ත්, එම ක්‍රියාව සිදුකරන විටත්, සිදුකිරීමෙන් අනතුරුවත් එම ක්‍රියාවේ ප්‍රතිඵලය තමාටත්, සමාජයටත් බලපාන්නේ කෙසේද? එම ක්‍රියාවේ ස්වභාවය හා ප්‍රතිවිපාක කවරේද යන්න නුවණින් මෙනෙහි කොට ක්‍රියාත්මක කරන්නේ නම් තමා කළ කී දේ ගැන පසුතැවීමක්, සිත් වේදනාවක් ඇති නොවේ. හැම විටම සිහිනුවණින් ක්‍රියා කරන්නා දිවා රෑ දෙකෙහි ම ප්‍රීතියෙන් වෙසෙන දැහැමි සතුටක උරුමක්කාරයකු බවට පත්වේ.

 

නවම් අමාවක පෝය


නවම් අමාවක පෝය මාර්තු 05 වන දා අඟහරුවාදා අපර භාග 07.07 ට ලබයි. 6 වන දා බදාදා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 06 වනදා බදාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]