නිගණ්ඨ උපෝසථය
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක,
ආචාර්ය
මිරිස්සේ
ධම්මික නා හිමි
පසුගිය ලිපියෙන් ගොපලු පෙහෙවසේ ස්වභාවය ගැන කතා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ
අයුරින් සීලයේ පිහිටන සෑම කෙනෙක් ම උපෝසථ දිනයේ දී වඩාත් ම සැලකිලිමත් විය යුතුයි.
කෙසේ වෙතත් උපෝසථ දිනය පමණක් නොව, නිවන අරමුණු කරන සෑම ශ්‍රාවක ශ්‍රාවිකාවක් ම
තමන්ගේ සීලය අවබෝධයෙන් යුක්තව, ප්‍රඥාවට උපකාරවන ආකාරයකින් ම ආරක්ෂා කළ යුතුයි.
“නිගණ්ඨ” උපෝසථයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් කරුණ නැවතත් සිහිපත් කරන්න.
එනම් නිගණ්ඨ පිරිස් තමන්ගේ ශ්‍රාවකයන් එක්තරා දිශාවකට එක්තරා පිරිසකට පමණක් කරුණාව,
මෛත්‍රිය දක්වන්නට යැයි ඉගැන්වීම සාධාරණ වන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව ඔබට හැඟීමක් ඇත්නම් සියලු සත්වයෝ ම සුවපත්
වෙත්වා යන අදහස නැවත මෙනෙහි කර බලන්න. නිගණ්ඨ පිරිස් තම ශ්‍රාවකයන්ට එක්තරා කොටසකට
දයාව, කරුණාව, මෛත්‍රීය දක්වනවා සේ ඔබත්, ඔබගේ පවුලේ අයට පමණක් නම්, ඔබට හිතවන්ත
අයට පමණක් නම්, එසේ නොමැති නම් තමන්ගේ රටේ, ජාතියේ, ආගමේ අයට පමණක් නම් තමන්ගේ
ඥාතීන්ට පමණක් නම් ආදී වශයෙන් කරුණාව, දයාව, සිතේ සකස් වෙනවා නම් එය නිගණ්ඨ උපෝසථ ය
හැටියට දැක්විය හැකියි.
පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවෝ කිසිදු අයෙක් කෙරෙහි අමනාපයෙන් බැලීමත්, කතා
කිරීමත්, හැසිරීමත් සිදුකරගත යුතු වන්නේ නැහැ. යම් විටක යම් කෙනෙක් වාඩිවෙන ස්ථානය,
වාඩිවෙන පුටුව හෝ කොට්ටය, ස්ථානය මේවා කෙරෙහි පවා ඔවුනොවුන් හා සමගින් අමනාපකම් ඇති
කර ගන්නට පුළුවනි. එසේ ම තමා පෙහෙවස් සමාදන් වන ස්ථානය හා පිරිස් පිළිබඳවත් දැඩි
ආශාවෙන්, ඇලීමෙන් සිටිමින් අන් අය හා අන් ස්ථාන පහත්කොට සලකමින් හැසිරෙන්නටත්
පුළුවනි. එලෙස ම තමන්ගේ සිතට දැනෙන අරමුණුවල දී තමා තමාට දක්වන හිතවන්තභාවය සියලු
දෙනා කෙරෙහි ම පවත්වන්නට නොහැකි බවත්, ඔවුන්ට පැහැදිලි වෙනවා ඇති. මේ නිසා නිගණ්ඨ
උපෝසථයකට හසු නොවෙන්නට නම් සදිශාව කෙරෙහි ම එනම් උතුර, දකුණ, නැගෙනහිර, බටහිර, උඩ,
යට යන සදිසාවන් කෙරෙහි ම, සියලු සත්ත්වයන් කෙරෙහි ම එකහා සමානව ම කරුණාවක්,
මෛත්‍රීයක්, දයාවක් දැක්වීම අප විසින් නොකරන්නේ නම්, එය නිගණ්ඨයන්ගේ උපෝසථයට අයිති
වෙනවා.
උපෝසථ දිනයන් හි දේශකයාණන් වහන්සේලා කිසිවිටෙකවත් යම් පිරිසකට, යම් ජාතියකට පමණක්
හෝ යම් ආගමිකයන් පිරිසකට පමණක් හෝ තමන්ට උපකාර කරන තමන්ට හිතවන්ත පිරිසකට පමණක්
හිතවන්ත වෙන්න, කරුණාවන්ත වෙන්න, පිහිට වෙන්න ආදී වශයෙන් ඉගැන්වීමක් කළොත් එයත්
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එකඟ නොවන බව අප සිහිපත් කළ යුතුයි. මේ සිහිපත් කරන්නේ
භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව උපෝසථ දිනයක් නියමාකාරයෙන් ගත කළ යුතු ආකාරය
පිළිබඳවයි. පුද්ගලික අදහස්වලින් මේ උතුම් නිවන් මාර්ගය වසාගන්නේ නැතිව, භාග්‍යවතුන්
වහන්සේ දේශනා කළ අයුරින් අප මේ උපෝසථ දිනය ගත කිරීම සිදුකළ යුතු වෙනවා.
ඒ වගේ ම නිගණ්ඨ උපෝසථයේ දී දැක් වූ කරුණක් සඳහන් කරනු ලැබුවා. එනම් කිසිදු
කරදරයකින් තොරව ජීවත්වෙනවා යැයි පවසා ඇඳුම් පවා බැහැර කරන්නේ නම්, එය අඥාන
ක්‍රියාවක්. ඇඳුම් නොව ඉවත් කළ යුත්තේ සිතෙහි සකස්වන ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් බව
වටහා ගත යුතුයි. ඇඳුම් මොන ආකාරයෙන් ඇඳපැළඳ ප්‍රසන්නව සිටියත්, එසේ නැතිනම් සුදු
වස්ත්‍රයකින් සැරසී සිටියත්, සිත ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙසුන්ගෙන් කිලිටි වී
තිබෙනවා නම් ප්‍රයෝජනයක් වන්නෙත් නැහැ.
එලෙස ම සිතමෙන් ම ගත ද පිරිසුදු කරනවා යැයි පවසා වස්ත්‍ර ඉවත්කොට පවතින්නේ නම් එයත්
අඥාන ක්‍රියාවක් ලෙසයි ධර්ම කතාවෙහි පෙන්වා දෙන්නේ. මනුෂ්‍යයන් යනු උසස් මනසක් ඇති
සත්ත්වයන් ය. ඔවුන්ට ලජ්ජා බියක් ඇත්තේ ය. ඒ නිසා සිත කෙලෙසුන්ගෙන් රැකගන්න බාධාවක්
හැටියට සිතිය යුත්තේ, අනවශ්‍ය ඇඳුම් පැළඳුම් මෝස්තර, ආභරණයන්ගෙන් ගත සරසා ඒවා
මුල්කොටගෙන තණ්හා, මද, මාන ඇති කරගන්නේ ද තමන් උසස් කොට අන් අය පහත් කොට සලකන්නේ ද?
මේවා නිසා කෙලෙස් වැඩෙන මාර්ගයත් සැකසෙන්නේ ද? අන්න ඒ අනුවයි. එසේ නොමැතිව චාම් සරල
ඇඳුමකින් සැරසී මැසි මදුරුවන්ගෙන් මෙන් ම සීතල, උෂ්ණයෙන් ආරක්ෂා වී ලජ්ජා බිය
වසාගෙන සිටීම සිත පිරිසුදු කරන මාර්ගයට බාධාවක් නොවෙයි. එය උපකාරක ධර්ම පෙළක් බවට
පත්වෙනවා.
ඒ වගේ ම නිගණ්ඨ පිරිස් මේ ආකාරයට තම ශ්‍රාවකයන්ට උගන්වනවා. මේ අපගේ පුතා, ඔහුගේ
මව්පියෝ අපි අඳුනනවා. එහෙම නැතිනම් අසවලාගේ මව්පියෝ අපි අඳුරනවා. තවත් පිරිසක්
සිතනවා මොහු මාගේ මව්පියෝ මේ අපගේ සහෝදරයා සහෝදරීන් ය. මේ අපගේ අඹුදරුවන් ය. ආදී
වශයෙන් ඔවුන් හඳුන්වා ගන්නවා. ඒ වගේ ම මේ අපගේ දැසි දස් කම්කරු පිරිස් ය. මේ අපගේ
ස්වාමීන් ය. එනම් රැකියාව ස්ථානය අයිතිකරුවන් ය. මේ ආදී වශයෙන් සිතමින්, කියමින් ඒ
ඒ කොටස් කෙරෙහි සිතිවිලි පහළ කරගෙන බොරු කියමින්, වංචා කරමින් ඔවුන් සමාදන් වී
සිටිනවා. ලාබ ප්‍රයෝජන ලබා ගැනීමේ අදහසින් වචනය වරදවා පිහිටුවා ගන්නා ආකාරය මින්
පැහැදිලියි.
ඒ වගේ ම ඔවුන් විවිධ වචන සඳහන් කරමින්, ඒ ඒ අයට ඥාති සම්බන්ධකම් පවත්වමින්, ඒ ඥාති
සම්බන්ධකම් මතු කරගෙන පෙහෙවස් දවස ඒ රාත්‍රිය අවසන් වූ විගස පුරුදු පරිදි ම නැවතත්
කාමභෝගී ජීවිතය ගත කරනවා. මෙය හරියට ගුණයන් සොරකම් කිරීමක් වැනි ය. බොරුකීමෙන්
තමන්ගේ සිතේ පවතින කෙලෙස් වඩා ගැනීමක් හැටියටයි එය ධර්මයේ පෙන්වා දෙන්නේ.
විශාඛාවෙනි, මෙය නිගණ්ඨ උපෝසථය හැටියට දේශනා කරන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා
දෙනවා. මේ නිගණ්ඨ උපෝසථය මහත්ඵල වෙන්නේ නැහැ. මහානිසංස වෙන්නේ නැහැ. සීලයෙන්,
සමාධියෙන්, ප්‍රඥාවෙන් බැබළීමක් ඇතිවෙන්නේ නැහැ. එය නිවන අරමුණු කරන්නෙත් නැහැ.
වර්තමානයේත් බොහෝ කෙනෙක් ස්වාමියා, බිරිඳ, මවුපියෝ, දරුවෝ, සොහොයුරු, සොහොයුරියන්,
හිතවතුන් ආදී වශයෙන් උපෝසථ දිනය ගත කරනවා යැයි පැමිණෙන්නට පුළුවනි.
ඔවුනොවුන්ගේ ඥාති සම්බන්ධකම් පවත්වගෙන, ගෙදර දොරේ පවත්වන හිතවන්ත භාවය සේ ම හිතමින්
කටයුතු කරන්නේ නම් ඒ උපෝසථ දිනයකට ගැළපෙන්නේ නැහැ. ඒ වගේ ම ඔවුනොවුන් කෙරේ ඥාතීත්වය
කියමින්, ඥාතීත්වය පවතින බව හඳුන්වා දෙමින් අන් අය සමගින් සම්බන්ධකම් පවත්වා ගැනීමට
උත්සාහ ගැනීමත්, පසුව ඒ ඔස්සේ ලාභ ප්‍රයෝජන ලබා ගන්නා සිතිවිලි ඇතිකර ගැනීමත් සිදු
නොකළ යුතුයි. ඒ වගේ ම පිරිස් හමුවෙන්න සතුටු වෙන්න තිබෙන ස්ථානයක් හැටියට උපෝසථ
සීලය පවත්වන ස්ථානය හෝ විහාරය, ආරාමය පත් නොකර ගත යුතුයි.
කෙටියෙන් සඳහන් කරන්නේ නම් කෙලෙස් බැහැර කරන, සිත නිවන, ස්ථානයක් මිස කාමභෝගී
ජීවිතයක ගනුදෙනු කරන ස්ථානයක් බවට පොහොය දවස පත් නොකරගත යුතුයි. විවිධ අදහස් සිත්හි
දරාගෙන දැන්වීම්, කොළ කැබලි බෙදාදීම කියවීම, ආධාර පත්‍රිකා බෙදාදීම්, ඉල්ලා ගැනීම්
ආදී වශයෙන් කටයුතුවල ට යෑමෙන් පෙහෙවස දූෂ්‍ය විය හැකියි. පෙහෙවසින් බලාපොරොත්තුවන
නිවන් මඟට බාධාවිය හැකියි. මුලින් සඳහන් කළ කෙනෙකුට පිහිටවීම, උපකාරයක් වීම කළ
යුතුමයි. නමුත් ඒවා පෙහෙවස් දවසක, උපෝසථ සීලය සමාදන් වූ පිරිසක් සමගින් කරන්නට
යෑමෙන් උපෝසථ සීලයට බාධාවක් වන බව අප විසින් පැහැදිලි කර ගැනීම අවශ්‍යයයි. එසේ
නොවුණොත් නිගණ්ඨ පිරිස් සමාදන්වන වෘතයක් බවට පත්වී කාලය ගත කිරීමක් හැටියට තේරුම්
කරන්නට පුළුවනි. වෙනදා තරම් ම අකුසල සිතිවිලි පහළ නොවිය හැකියි. වෙනදා සෙයින් කාර්ය
බහුල නොවන නිසා යම් වූ ද පිනක් සිතෙහි උපදවා ගත හැකියි.
නමුත් සැබෑවට ම උපෝසථ දිනයකින් බලාපොරොත්තු වන මහත්ඵල මහානිසංස කියන වචන දෙකට
ගැලපෙන ආකාරයෙන් පවත්වා ගන්නට නම්, මෙතෙක් සඳහන් කළ ආකාරයෙන් වැරැදි හැසිරීම්වලින්,
පිළිවෙත්වලින් බැහැරව නිවන අරමුණු කරන මාර්ගයට ම එකතුවිය යුතුයි
- දීපා පෙරේරා |