Print this Article


සසර තරණය 06 : බාහිර රූපයට දුක්වෙනවා ද?

සසර තරණය 06 :

බාහිර රූපයට දුක්වෙනවා ද?

ඇත කියන බවින් නිදහස් වුණේ, ඇත කියන අන්තයෙන් මිදුණේ කුමක් නිසා ද? යමක් හටගෙන ඉතිරි නැතිව, නැතිවූකම නිසා. නැවත එය දකින්න පුළුවන්කමක් නොතිබුණුකම නිසා.

අපේ ඇහැට රූපය ගැටීමේ ස්වභාවය තමයි, ඒ රූපය නැවත නොපෙනෙන කම. ඇයි? මේ ආලෝකය නැවත කවදාවත් මේ මොහොතේ ඇතිවන දේ, නැවත හටගන්නේ නැහැ. එකපාරක් දල්වලා, නිවලා, ආපහු දැල්වුවොත්, නැවත කලින් තිබ්බ එළියද එන්නේ? නැහැ. අලුතෙන්ම එළියක් නිසා ආපු දෙයක්. අන්න ඒ වගේම මේ රූපය අපට පෙනෙනවා නම්, ඒ පෙර නොතිබීම හටගෙන, ඉතුරු නැතිව, නැතිවෙලා යන ධර්මයක්. ඒක අපට දෙවැනි පාර දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට, මේ හටගෙන ඉතිරි නැතිව නැතිවෙලා යන ස්වභාවයක් තියෙන තැනක, අපට හැම වෙලාවක ම නිත්‍ය සංඥාවක් තියෙනවා. නිත්‍ය සංඥාවක් කියලා කියන්නේ, එක දිගට පවතින රූපයක් තියෙනවා කියලා හිතාගත්තකම. ඒ නිත්‍ය සංඥාව නිසා තමයි, අද ඔබට පුළුවන්කම තියෙන්නේ ගෙදර පිළිබඳව කල්පනා කරන්න මේ මොහොතේ දී. එළියේ තියෙන්නේ ගෙදර කියලා, ඒ ගැන හිතන්නට. ඒක නැවත නැවත රැස්කරගන්න පුළුවන්කම තියෙන්නේ, ඒ තියෙන නිත්‍ය සංඥාව මත. මෙන්න මේ නිත්‍ය සංඥාව දුරු කරගන්නට වෙනවා, අනිත්‍ය සංඥාව වඩන්නට වෙනවා, අප ධර්මය නැතිනම්, ඇත්ත යථාර්ථය තේරුම් ගන්නට. ඒ කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නැතිවූ ස්වභාවය පිළිබඳව ඔබට අවබෝධ කරගන්නට වෙනවා. ඒ බව අවබෝධ කරගන්නකොට, මේ ලෝකයේ සම්මුති මානසික මට්ටමෙන් නිදහස් වෙනවා. සම්මුති මානසික මට්ටමෙන් ගැළවෙනවා. අප භෞතික දේ ඇසුරු කරන තැනක තියෙන, ඇත්ත යථාර්ථයයි, එතකොට අපට පෙනෙන්නට ගන්නේ. ඒ කියන්නේ හටගෙන නිරුද්ධවෙන ලක්ෂණය.

අද දවසේ දී අපට මේ ලක්ෂණය නැතිකම නිසා තමයි, අපේ මුලු ජීවිතය ම ගොඩ නඟාගෙන සැප – දුක් විඳින්නට මානසික මට්ටමක් අපි ඇසුරු කරගෙන පවතින්නේ. කෙනෙක් ඒ පැත්තෙන් වචනයක් කියන කොට අපට අද දැනගන්න පුළුවන්කම තියෙනවා. අප හිතනවා, ඒ කෙනා කථා කරපු වචනය තමයි, අප දැනගත්තේ කියලා. හැබැයි, අප නොදන්න දේ තමයි, අප දැනගත්තේ වචනය නෙවෙයි, ඒ වචනය අරභයා කෙන , කෙනා රැස්කර ගත්ත ටිකයි, අප දැනගත්තේ කියලා.

දැන් ඔබට මා ‘පාන්’ කියන වචනය කිව්වොත්, ඔබ කාටත් පාන් දැන ගන්න පුළුවන්. පාන් ගේන්න කිව්වොත්, ඔබට ගිහින් පාන් ගේන්න පුළුවන්කමක් තියෙනවා. මෙතන ඉන්දියන් ජාතිකයෙක් හිටියොත් එයත් අරගෙන එනවා. හැබැයි, එයා බුලත් විටක් ගේනකොට ඔබ පාන් රාත්තලක් අරගෙන එනවා. ඇයි? එයාගේ භාෂාවෙන් පාන් කියන්නේ බුලත්වලට. එතකොට එයාගේ කන ළඟට යනකොට පාන් කියන වචනය බුලත් වෙලා, ඔබේ කන ළඟට එන කොට පාන් රාත්තලක් වෙලා ආවාද? නැහැ. එක සමාන විදිහටම ඇහුණා. එහෙනම් සමාන විදිහටම මේ විදිහටම ඇතිවුණ තැනක, එයාට ඒක බුලත් වෙන්නත්, ඔබට පාන් වෙන්නත් හේතුව මොකක්ද? ශබ්දය අරබයා එක් එක් කෙනා සකස්කරගත්ත, රැස්කරගෙන තිබුණු මානසික මට්ටම. එතකොට, දැන් ප්‍රශ්නය තිබුණේ අපි, වචනය දැන ගැනීම තුළද? එහෙම නැත්නම්, වචනෙ ඇහෙන කොට අපි රැස්කරගෙන තිිබුණ ටික දැනගැනීම තුළද? අපි රැස්කරගෙන තිබුණ ටිකයි අපි දැනගත්තේ. අපි දෙයක් රැස්කරගෙන තිබුණේ නැති වුණොත් ඒ දේ දැනගන්න පුළුවන්කම අපට ලැබෙන්නේ නැහැ.

කවුද, දැකලා තියෙන්නේ ‘චැන් චෑන්’ එකක්? කවුරුත් දැකලා නැහැ. ඒක දකින්න විදිහකුත් නැහැ. මොකද? එහෙම එකක් නැහැ. හදලා කිව්වේ. එතකොට දැන් එහෙම වචනයක් ඇහෙන කොට, අපිට දැනගන්න දෙයක් නැහැ. ඇයි? ඒක ශබ්දයක් විතරයි. අපේ හිතෙන් චිත්තජ රූපයක් මවා ගන්න, හිතෙන් ඇති කරගන්න දෙයක් නැහැ. ඒක ශබ්ද මාත්‍රයක් විතරයි. එතකොට, අපිට ඒක ශබ්දයක් විතරක් වෙන තැනක , අපට ඒ අරබයා මානසික වශයෙන් ඇතිකරගන්න, දෙයක් තිබුණේ නැති නිසා, අපට කිසිම රූපයක් අරමුණු කරගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ.

ඒ වගේම තමයි, අප හැම මොහොතක දී ම, රූප, ශබ්දාදී දිහා අප ඇසුරු කරන්නේ, අපි දන්න සීමාව තුළ. අපි හිතාගත්ත, අපි ඇසුරු කරලා තියෙන, රැස්කර ගත්ත සීමාව තුළ. ඔබ මෙතෙනට එන්න කලින් මා රැස්කරගෙන තිබුණේ නැහැ. හැබැයි, දැන් රැස්කර ගත්තා. හෙට දවසේ දී පාරෙදි ඉන්නවා හම්බ වුණොත්, ඔබ කියයි, අර බණ කියපු හාමුදුරුවෝ පාරක් අයිනේ ඉන්නවා කියලා. එතකොට බණ කියපු හාමුදුරුවෝ පාර අයිනේ ඉන්න පුළුවන් ද? ඇහැට පේන්නේ අනාත්ම වර්ණ සටහනක්, ඒක කාටත් පොදුවේ තිබෙන දෙයක්. පාර අයිනේ මනුස්සයෙක් ගියොත්, ඒ මනුස්සයටත් පේනවා, හැබැයි, ඒ මනුස්සයා, හාමුදුරුවෝ බණ කියපු සිද්ධියක් දන්නේ නැහැ. බණ කියපු හාමුදුරුවෝ නම්, පාරේ අයිනේ ඉන්නේ, ඕක දකින , දකින ඔක්කොටම බණ කියපු හාමුදුරුවෝ ම මතක් වෙන්න ඕන. හැබැයි, බණ කියපු හාමුදුරුවෝ සාධාරණ වුණේ ඔබට විතරයි. ඒ සාධාරණ වුණේ , ඒ හිටියේ බණ කියපු හාමුදුරුවෝ නිසා නෙවෙයි. රැස්කරගෙන තිබුණේ ඔබ නිසා.