Print this Article


පරාජිතයෙකු සේ මිය යනවාද ?

පරාජිතයෙකු සේ මිය යනවාද ?

අප සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මේ දීර්ඝ සංසාර ගමනේ බෝධි සම්භාර ධර්ම පූර්ණය කරමින් ගමන් කොට අවසන, මධ්‍යම ප්‍රතිපදාව සම්පූර්ණ කිරීමෙන් පසු ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා.

මෙසේ ලොව්තුරා බුද්ධත්වයට පත් වී පුරා වසර හතළිස් පහක් මුළුල්ලේ දේශනා කරන ලද නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මය තුළ විවිධ දේ වර්ණනා කර තිබුණත්, කිසිදු මොහොතක භවය හෝ භව ගමන වර්ණනා කර නැහැ. ඒ එය එතරම් ම දුක් සහගත සහ අන්තරායකර එකක් වන නිස යි. ඒ නිසා බුදුපියාණන් වහන්සේ නිරන්තරයෙන් ම තම ශ්‍රාවකයන්ට සසරට සහ පාපයට බියවන්න යැයි අනුශාසනා කළා. සසර ගමන අසාරවූත්, අනතුරුදායක වූත් එකක් නිසා එයට බිය වන්න යැයි අවධාරණය කළ බුදුපියාණන් වහන්සේ පවට බිය වන ලෙස අවධාරණය කළේ පව සසර දුක් විපාක සලසන ක්‍රියාවක් වන නිසයි.

විශ්වයේ ධර්මතාව

කර්මය , ධර්මය සහ ස්වභාව ධර්මය කියන මේ කාරණාවන් සැමට සර්ව සාධාරණ යි. විශ්ව ධර්මතාව වන්නේ ද එයයි. තමා විසින් සිදු කරන ලද හොඳ හෝ නරක කර්මයක විපාකය විඳිය යුත්තේ තමන්ම යි. කිසියම් කර්මයක් කරන තැනැත්තා ඒ කර්මයේ විපාක දායාද කර ගෙනමයි කටයුතු කරන්නේ. තමා විසින් කරන ලද කර්මයක විපාකය වෙනත් කෙනෙකු පිට පටවන්නට බැහැ. මා විසින් කරන ලද කර්මයක විපාක වෙනත් කෙනෙකුට භාර කිරීමට මට හැකියාවක් නැහැ. එය මා විසින් ම විඳිය යුතු වෙනවා. මා විසින් කරන ලද කර්මයට වගකිව යුත්තා මම ම යි. සත්ත්වයාගේ භව ගමන සැකසෙන්නේ ඒ ඒ සත්ත්වයන් විසින් රැස් කරන ලද කර්මවලට අනුරූපීවයි. අනතුරුදායක භව ගමනට සත්ත්වයා වැටෙන්නේ පෘථග්ජන ස්වභාවය නිසා මේ භව ගමන සරු එකක් යැයි සලකන නිසයි.

දුක වැටහෙන්නේ නැති නිසයි. අවිද්‍යාවෙන් වැසී, තණ්හාවෙන් වෙළී, කටයුතු කරන්නා වූ සත්ත්වයා භව ගමන ගැන යථාර්ථවත් අවබෝධයක් නැති නිසා අගක් මුලක් නො පෙනෙන මේ සසරට වැටී දුක් විඳිමින් සසර සැරි සරනවා. එසේ අවදානම් ගමනක යෙදී සිටින සත්ත්වයාට එම අවදානමට මුහුණ දෙන්නට නම් සූදානමක් තිබිය යුතුම යි. අවදානමට පෙර සූදානම සකස් කර ගත හැක්කේ ද සකස් කර ගත යුත්තේ ද බුදුපියාණන් වහන්සේගේ නිර්මල දහම අවබෝධ කර ගැනීමෙන් පමණ ම යි.

අප ජීවත්වන ලෝකය තුළ ඇති භෞතික වස්තූන් සොර සතුරන්ගෙන්, ආක්‍රමණිකයන්ගෙන් බේරා ගැනීමට ගේට්ටු, වැට, තාප්ප, ප්‍රාකාර ආදියත්, මුරකරුවන් හා ආරක්ෂක කැමරා ආදියත් යොදා ගැනීම සාමාන්‍ය ස්වභාවයක්. නමුත් ඒ ආරක්ෂක සූදානම් සාංසාරික ගමනේ අවධානමට පිළියමක් නොවේ. සාංසාරික ගමනේ දී මිනිසාට මුහුණ දීමට සිදු වන ප්‍රධාන ම අවදානමක් වන්නේ මරණින් පසු ජීවිතය යි . බොහෝ මිනිසුන් තමන්ගේ පැවැත්ම මත මරණින් පසු ජීවිතය දැඩි අවදානමකට හෙළා ගන්නවා.

බුදුදහම ජීවිතයේ යථාර්ථයයි

උපතත් සමඟින් උරුම වු නියත ධර්මතාව වන මරණයට ජයග්‍රාහකයෙකු ලෙස මුහුණ දෙන්නට කිසිම සූදානමක් නැති මිනිසුන් අප සමාජය තුළ කෙ තරම් නම් සිටිනවා ද? ඒ නිසාම බොහෝ දෙනා මිය යන්නේ පරාජිතයෙකු සේ නො සතුටිනි. සිතේ සතුටක් නො මැතිව මියැදෙන කෙනෙකුට මරණින් මතු දුගතියක උපදින්නට තිබෙන අවස්ථාව වැඩියි. ධර්මානුකූලව කටයුතු කර සිත සකස් කර ගැනීම තුළින් සූදානම සකස්කර ගන්නා තැනැත්තා ගේ මරණය ඔහුට සිය සංසාර ගමනේ උසස්වීමක් ලබාදීමට හේතු වෙනවා. එබැවින් සසර ගමන අවසන් කරනතුරු නැතිනම් නිවන් දකින තුරු ධර්මය තුළින් සිය සිත ශක්තිමත් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

කෙනෙකුට බුදු දහමින් ප්‍රායෝගිකව ප්‍රයෝජන ගත හැකි වන්නේ එමඟින් පෙන්වා දී ඇති ධර්මයත්, ධර්ම මාර්ගයත් තමන්ගේ ජීවිතයට ගළපා ගන්නා ආකාරයත් , සමීප කර ගන්නා ආකාරයත්, ජීවිතයට බද්ධ කර ගන්නා ආකාරයත් අනුව යි. බුදුදහම කියන්නේ දැන උගත්කමකට, ඉතිහාසයකට, කතාන්තරයකට, වංශ කතාවකට පමණක් සීමා කර ගත යුතු දෙයක් නො වන බව අප වටහා ගත යුතු වෙනවා. බුදුදහමින් විවරණය වන්නේ ජීවිතය පිළිබඳ යථාර්ථය යි. ඒ යථාර්ථය තමා තුළින් ම දැකිය යුතු වෙනවා. තමා විසින් ම අවබෝධ කර ගත යුතු වෙනවා.

නිසි ලෙසින් අවබෝධයට පත්වන්නට නම් භෞතික හා අභෞතික වශයෙන් හෝ ලෞකික හා ලෝකෝත්තර වශයෙන් හෝ ගැනෙන දෙ ආකාරයෙන් ම අවබෝධයට පත් විය යුතුයි. ඒ අනුව ලෞකිකත්වය තුළ ඇති තාවකාලික සත්‍යය මායාවක් ලෙසින් ද, පරමාර්ථ සත්‍යාවබෝධය තුළින් ලබන සදාකාලික සුවය නිවන බව ද වටහා ගන්නවා. ඒ පරමාර්ථ සත්‍යාවබෝධය සඳහා අකුරු අටේ සහ පද තුනේ ගැබ් වී ඇති සදාතනික සත්‍යය හෙවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම හෙවත් ත්‍රිලක්ෂණය නුවණින් දැකීම සිදු කළ යුතු ම බව මනා ලෙස වටහා ගන්නවා. ඇති දේ ඇති සැටියෙන් දැකීම කියන්නේ සියලු භෞතික හා අභෞතික දේ තුළ ත්‍රිලක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය නුවණින් දැකීමට යි.

පුරුද්ද හා පුහුණුව

ඇති දේ ඇති සැටියෙන් දැකීම යන ධර්ම මාර්ගයට අවතීර්ණ වන්නට අප විසින් අනුගමනය කළ යුතු, අපගේ අධ්‍යාත්මය පෝෂණය කර ගන්නට, එම පෝෂණයට අවශ්‍ය පරිසරය සකස් කර ගන්නට අදාළ ධර්ම මාතෘකා තුළ පැවැත්ම ක්‍රමවත් කර ගෙන ඒ තුළින් නැවැත්ම ඇතිකරන ප්‍රතිපදාවට යොමුවීමේ ජීවිත සැකැස්මක් සකස් කර ගත හැකි වෙනවා.

කෙනෙකුගේ මනසේ දියුණුව නිසාම තමයි ඒ තැනැත්තාගේ ජීවිතයේ දියුණුවත් ඇති වන්නේ. ඒ මානසික දියුණුව ඇති කර ගත යුත්තේ ද, ජීවන අත්දැකීම් තුළිනුයි. අත්දැකීම් ලබා ගැනීමට නම් අප ප්‍රායෝගික විය යුතු වෙනවා. පුහුණුවේ යෙදිය යුතු වෙනවා. කෙනෙකුට පුරුද්ද තිබූ පමණින් පුහුණුවක් ලැබෙන්නේ නැහැ. පුරුද්ද සහ පුහුණුව යන දෙක ම එකට යා යුතු වෙනවා. පුරුදු පුහුණු සහ හුරු පුරුදු යන වචන ද යුගල පද ලෙසින් යොදා තිබෙන්නේ ම ඒ නිසයි. අප මේ ජීවන ගමන යා යුතු වන්නේ ද අත්දැකීම් තුළින් ඇති වන අවබෝධයත් සමඟම යි. ජීවිත අත්දැකීම් නැති ජීවිතයක හෝ ජීවන ගමනක කිසිදු හරයක් ඇත්තේ නැහැ. ඒ ජීවිත අත්දැකීම් ලෞකික හා ලෝකෝත්තර යන අංශ දෙකෙන් ම යුක්ත වෙන බව අප අවබෝධ කර ගත යුතු වෙනවා.