Print this Article


ජීවිතයට කරදර වැඩි ඇයි ?

ජීවිතයට කරදර වැඩි ඇයි ?

බැඳීම් අඩු මිනිසා ජීවිතය සතුටින් ගත කරයි. බහු භාණ්ඩික, ආශාවන්ගෙන් හා ජිවිතයෙහි තමන්ට දරා ගත නොහැකි බලාපොරොත්තු ගොන්නක් කර පින්නා ගත් මිනිසාට ජීවිතයෙහි කිසි දිනක සතුටින් ගත කළ නොහැකි ය. මෙවන් පුද්ගලයන්ගේ ජීවිතය තුළ තෘෂ්ණාව හා අහංකාරය නිරන්තරව වැඩෙයි. ජීවිතයට අගනා පාඩමක් ඉගෙන ගත හැකි සූත්‍ර දේශනාවක් ලෙස සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තයෙහි බහුධීතු සූත්‍රය දැක්විය හැකි ය.

දිනක් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වන ලැහැබක සමාධි සුවයෙන් වැඩ සිටි සේක. එම අවස්ථාවේ දී භාරද්වාජවංශික බමුණෙක් තමන්ගේ ගොනුන් දාහතර දෙනෙකු නැති වී සොය සොයා ඒ වන ලැහැබට පැමිණ බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කළේ තමන්ගේ ගොනුන් දහ හතර දෙනා ම නැති වී සිටින බවත්, ජීවිතයෙහි නොයෙක් කරදර බාධක ඇති වී තිබෙන බවත් ය. එමෙන් ම සමාධි සුවයෙන් කරදර බාධක නොමැති ව බුදුරජාණන් වහන්සේ කෙසේ වාසය වාසය කරන්නේ ද යනුවෙන් ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සෙගෙන් විමසා සිටියේ ය. මේ අවස්ථාවේ දී බමුණාගේ ගවයන් පිළිබඳ උපදේශය ම පාදක කර ගනිමින් බුදුන් වහන්සේ ලෞකික ජීවිතයෙහි ඇති කරදර බාධක ස්වරූපය පිළිබඳ ව ඉතා අපුරු දේශනාවක් සිදු කළහ. මුලින් ම බමුණා කල්පනා කළ කාරණය තථාගතයන් වහන්සේගේ දිව්‍ය ඥානයෙන් දැක ඒ කාරණය පදනම් කරගෙන ම දේශනාව ආරම්භ කළ සේක. බමුණාගේ ජීවිතයට දුක් ගෙන දී ඇති මේ කාරණා පිළිබඳව විමසා බලන්න. තථාගතයන් වහන්සේ දේශනා කළේ.

"බමුණ, නුඹෙ ගොනුන් දාහතර දෙනා සොයමින් දවස් හයක් තිස්සේ ඇවිදිනවා . මා සන්තකව ගොන්නු නැහැ. මේ නිසා මම සැපසේ වාසය කරනවා".

යමෙක් තමන් සන්තකව කිසියම් වස්තුවක් ඇත්තේ නම් ඒ පිළිබඳ ව දැඩි සේ බැඳීමක් පවතින විට ඒ තුළ තෘෂ්ණාව මූලික වශයෙන් ගොඩ නැගී උපාදානයක් හෙවත් අල්ලා ගැනීමක් ඇති වේ. යම් පුද්ගලයකුට වස්තුවකට වැඩියෙන් බැඳීම ඇති වන තරමට ම තමන්ගේ ජීවිතයට ඇති වෙන දුක වැඩි බව දේශනා කළ සේක. පුද්ගලයන්ගේ වස්තු ප්‍රමාණය වැඩිවෙන්නට, වැඩිවෙන්නට ජීවිතයට ඇති වෙන දුක් ප්‍රමාණය ද වැඩි වේ. භික්ෂු ජීවිතය මෙන් ම මනුස්ස ජීවිතය ද සකුණෝ විය හෙවත් පක්ෂියෙක් වගේ ගත කරන්න යැයි දේශනා කොට වදාළේ පුද්ගල ජීවිතයට සැනසීම ඇති කර ගැනීමට මෙන් ම සංසාර සාගරයෙන් එතර වීම සඳහා ය. කුරුල්ලාට ඇත්තේ පිහාටු දෙකක් පමණි. ජීවිතයට එක්කාසු කර ගත් වෙනත් බරක් නැත. සරලකම නොමැතිකම හේතුවෙන් ම වර්තමාන ලෝකයෙහි මනුස්ස ජීවිතය ඉතා ම අසහනකාරී තත්ත්වයකට පත් වී ඇත. පුද්ගල ජීවිතය තුළ විවිධ කායික හා මානසික විවිධ ආබාධ ඇතිවීම සඳහා ද මෙය විශේෂයක් වී ඇත. ජීවිත පවත්වාගෙන යෑම සඳහා යමක් කළ යුතු ය. එහෙත් ජීවිතයෙහි අනවරත අරගලයක නිරත වීම පුද්ගල ජීවිතයට දුක ම උරුම කර දෙන්නකි. බුදු පියාණන් වහන්සේ ගවයන් ගැන මේ දේශනා සිදු කරන විට මීට අදාළව ම තවත් කාරණා කිහිපයක් ම ගෙනහැර දක්වයි.

"බමුණ, නුඹට නුඹේ කෙතේ හැදී ගෙන එන තල ද, එකක් දෙකක් කොළ ඉතිරි වු තල ද තිබෙනවා. ඒවා මට ඇත්තේ නැහැ. ඒ නිසා මම සැප සේ වාසය කරනවා".

මිනිසෙක් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යෑම සඳහා කෙතක් කරන්නේ නම්, මොන තරම් වෙහෙසක් ගත යුතු ද? ඒ කෙත විවිධාකාර සතුන්ගෙන් ද, අව්වෙන්, වැස්සෙන්, සොරසතුරන්ගෙන් බේරා ගන්න කෙතරම් වෙහෙස ගත යුතු ද? එහෙත් මොන හේතුවක් නිසා හෝ ඒ කෙත යම් ආකාරයකින් විනාශ වුවහොත් තමන්ට එය දරා ගත නොහැකි දුකක් බවට පත් වේ. මේ ජීවිතය තුළ අප බලාපොරොත්තු වන සියල්ල ම ඒ ආකාරයෙන් ම ඉටු වන්නේ නැත. ජීවිතයෙහි මහත් වු බලා පොරොත්තු ඉටු නොවන අවස්ථාවේ දී තමන්ට ඇති වන්නේ දුකකි. ජාතිපි දුක්ඛා ඉපදීම ද දුකක් මෙන් ම යම්පිච්ඡං න ලභති දුක්ඛං යන්නෙන් ද තමන් කැමැති කැමැති දෑ නොලැබීම ද දුකක් වශයෙන් දේශනා කොට වදාළ හ. මේ යථා ස්වභාවය අප තේරුම් ගත යුතු වේ. නැවත ද "බමුණ, නුඹේ හිස් වු ගබඩාවේ මීයෝ එහෙ මෙහෙ දුව පැන ඇවිදිනවා. මට එබන්දක් නැහැ. ඒ නිසා මම සැප සේ වාසය කරනවා".

යම් කෙනෙක් සන්තකව වස්තුව පවතින විට ඒ ගැන නිරන්තරයෙන් ම කල්පනා කරයි. යම් ආකාරයකින් තමන්ගේ ඇඳුම් පැළඳුම්, මිල මුදල් ගැන ද කල්පනා කළ හැකි ය. මෙය විවිධ සතුන්ගෙන් විනාශ වී යා හැකි යැයි සිතෙයි. ඔබ ඔබේ ධාන්‍ය ගබඩාවේ මීයන් වැනි සතුන් විවිධාකාරයෙන් දුව පැන ඇවිදින විට හා ධාන්‍ය විනාශ කරන විට ඔබට ඇති වන්නේ විශාල වේදනාවකි. එමෙන් ම ද්වේෂ සහගත සිතිවිල්ලකි. මෙය තමන්ගේ ජීවිතයට අහිතක ආකාරයෙන් බලපාන්නට ද පුළුවන. නැවත ද "බමුණ, නුඹේ හත් මසක් පැරැණි තණ ඇතිරිය එහි ම උපන් පණුවන් ගෙන් පිරී තියෙනවා. මට එබඳු එකක් නැහැ. ඒ නිසා මම ප්‍රීතියෙන් සිටිනවා".

යම් භාණ්ඩයක් අප භාවිතයට ගන්නා විට එය දිනෙන් දින දිරාපත් වේ. යමක ස්වභාවය එලෙසින් ම පවතින්නේ නැත. අනිත්‍යතාව ලෝකයෙහි සියලු වස්තුවලට පොදු වුවකි. ලෝකයේ ඇති සියලු වස්තු සදා කල්හි ම පවතින බව ඇතැම් කෙනෙක් විශ්වාස කරති. අපගේ ශරීරය වුව ද දිනෙන් දින වෙනස් වේ. ජරාවට හා ව්‍යාධියට පත් වේ. එය කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි වේ. කිසියම් කෙනෙක් තමන්ගේ ශරිරයට ඇතිවෙන ලෙඩ රෝග පිළිබඳව විශාල කනස්සල්ලෙන් පසු වෙයි. මේ ලෝකයෙහි ඉන්නා එක ම ලෙඩා තමා යැයි ද කල්පනා කරයි. එහෙත් තමන් හැර ලෝකයේ තව කොපමණ ප්‍රමාණයක් ලෙඩුන් ලෙස වාසය කරන්නේ ද යන්න කල්පනා කළ යුතු යි. නැවත ද "බමුණ, නුඹට එක පුතෙකුත් , පුතුන් දෙදෙනෙකුත් ඇති කණවැන්දුම් දූල හත් දෙනෙක් සිටිනවා. මට එක් කෙනෙක්වත් නැහැ. ඒ නිසා මම සතුටින් ඉන්නවා".

ඇතැම් පුද්ගලයන් තමන්ගේ දරුවන් නිසා සතුටු වන අවස්ථා මෙන් ම, කනගාටු වන අවස්ථා කොපමණ ඇත්තේ ද? කෙනෙකුට වැඩියෙන් දරුවන් සිටීම සම්පතක් සේ පෙනුන ද, ඇතැම් අවස්ථාවල දී එයින් අත්වන මානසික පීඩනය කොපමණ ද? ආර්ථික වශයෙන් පීඩාවට පත් වී සිටින කෙනා තමන්ගේ පවුල් සංස්ථාව ගෙන යෑමට කොපමණ වෙහෙසක් ගත යුතු ද? එමෙන් ම දරුවන් නැති මිනිසා තමන්ට දරුවන් නොමැති නිසා ජීවිතයෙහි කොපමණ කාලයක් තැවීමට පිච්චීමට පත් වේද? මෙයින් පැහැදිලි කෙරෙන්නේ දරුවන් සිටීම මෙන් ම නැතිවීම ද, මිනිසාගේ ජීවිතයට කිසියම් පීඩාවක් ගෙන දෙන බව යි. නැවත ද "බමුණ, බළල් ඇස් ඇති, තලකැලලින් යුත් සිරුරක් ඇති නුඹේ බැමිණිය නුඹ නින්දට ගිය විට කූද්දන්නෙ පයින් ඇනලා. මට එබන්දෙක් නැත. ඒ නිසා මම සැපෙන් සිටිනවා".

යහපත් බිරිඳක් සිටීම කෙනෙකුගේ ජීවිතයට සතුටක් වේ. එහෙත් කරදරකාරි වදක භාර්යාවක් සිටීම නිසා ස්වාමි පුරුෂයා මැරි මැරි ඉපදෙන අවස්ථා එමට යි. තමන්ගේ පවුල් සංස්ථාව නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමට නම් දෙදෙනා අතර අන්‍යොන්‍ය විශ්වාසය හා සුහදත්වය තිබිය යුතු වේ. ඇතැම් මිනිසාගේ ජීවිතයෙහි කලකිරීමට හා ජීවිතයෙහි එපාවීමට ප්‍රධාන වශයෙන් ම හේතු වන්නේ ද තමන්ගේ බිරිඳ වේ. බිරිඳ තමන්ගේ ස්වාමි පුරුෂයාට බිරිඳක, යෙහෙළියක, මවක මෙන් කටයුතු කරදීමෙන් ජීවිතයෙහි සැනසීම උදා කර ගත හැකි වේ. එහෙත් බාහිරින් අප්‍රසන්න චිත්ත සන්තානය ද අපිරිසුදු, දුෂ්ට පාපකාරි අදහස් ඇති කාන්තාව පුරුෂයාට පීඩාවක් ම ගෙන දෙයි. එසේ නොවන පුද්ගලයා සැනසීමෙන් කාලය ගත කරයි. නැවත ද,

"බමුණ, ණය හිමියන් උදයෙන් ම අවුත් නුඹෙන් මුදල් ඉල්ලනවා. නුදුන්නා ම බැණ වදිනවා. මට එවැනි කරදරයක් නැහැ. ඒ නිසා මම නුඹ වගේ දුක් විඳින්නේ නැති ව බොහො ම සැපෙන් ඉන්නවා." යැයි තථාගතයන් වහන්සේ දේශනා කළ සේක.

කෙනෙකුගේ ජීවිතයට ණය වීම දුකකි. එය සැපයට හේතුවක් නොවේ. අණන සුඛය පුද්ගලයාගේ ජීවිතයෙහි සැහැල්ලු භාවයට මෙන් ම මානසික සතුටට ද හේතු වන්නකි. ඇතැම් පුද්ගලයෝ තමන්ගේ ජීවිතය තුළ තමන්ට දරා ගන්න බැරි මට්ටමට මෙන් ම අන්‍යයන් පරයා යන්නට යැයි සිතා ලෝකයාට ණය වී විවිධ දෑ කරති. එය කිසියම් අවස්ථාවක ගෙවා ගන්නට බැරි වු තැන තමන්ගේ ජීවිතයෙන් ද සමුගන්නට සිදු වේ. ණයක් වු මිනිසාට දෛනික ජීවිතයෙහි කටයුතු යහපත් වු කළමණාකාරිත්වයකින් යුක්තව කටයුතු කර ගත නොහැකි වේ. සුඛං සුපති , සුඛං පටිබුජ්ඤති යනුවෙන් දැක්වෙන සැපසේ නිදයි සැපසේ අවදි වෙයි යන කාරණයට උරුමකම් කියන්නට ද නොහැකි ය. නිරන්තරයෙන් ම සැකයෙන් හා බියෙන් කාලය ගත කළ යුතු වේ. එවිට තමන්ට කිසිදු සැනසිලි දායක තත්ත්වයක් ඇති නොවේ. ණය හිමියන්ට ද මුහුණ දීමට නොහැකි වීමට කොපමණ වංචා සහගත දෑ සිදු කළ යුතු ද?

මෙම දේශනාවෙන් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනුයේ සැනසීමක් උදා කර ගන්න නම් මිනිසාගේ සැහැල්ලු භාවය ඉතා වටිනා බවයි. එසේ නොවන්නේ නම් කායික හා මානසික වශයෙන් විශාල පරිහානියකට හේතු වේ. කෙනෙකුගේ හිතේ තද බර ගතියක් ඇතිවීමෙන් බඩේ කැක්කුම, කෑම පිළිබඳව පිරියක් නොමැති කම නින්ද නොයෑම හා නපුරු හීන දැකීමාදිය සඳහා හේතු වන්නේ ද අසහනකාරී ලෙස ජීවිතය ගත කිරීම ය.