Print this Article


බෝසත් දරුවන්ට : දෙවියන්ගෙන් වැඳුම් ලබමු

දෙවියන්ගෙන් වැඳුම් ලබමු

කෙලෙස් සහගත ජනයාගේ හදවතේ මෝහය නමැති අන්ධකාරය දුරු කරන්නා වූ ප්‍රඥාව නමැති ප්‍රදීපය දරන්නා වූ, පස් මරුන් පැරදූ තථාගතයන් වහන්සේ මේ ප්‍රදීපයෙන් පුදමි.

පින්වත් දරුවනේ, මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ දිව්‍ය ලෝක සහ අපාය පිළිබඳව කියලා සතර පෝදා බුදුසරණ කියවීමට පුරුදු වී සිටින ඔබ දන්නවා නේ. අපි තෙරුවන් වන්දනාමාන කර අවසානයේ ඒ ලබාගත් පින දෙවියන්ට අනුමෝදන් කරනවා.

ඉතින් දරුවනේ, දෙවිවරු පි‍්‍රයකරන විශේෂිතම දෙයක් වන්නේ වන්දනා ගාථා නිවැරැදි ව සජ්ඣායනා කිරීම යි. ගීත වැනි දේ ගායනා කරනවා මිස ඒවා සජ්ඣායනය කරන්නේ නෑ. ඒ වගේම පිරිත්, ගාථා සජ්ඣායනය කරනවා මිස ගායනා කරන්නේ නෑ.

සජ්ඣායනා කිරීමේත්, ගායනා කිරීමේත් වෙනස දරුවන් දන්නවා ද?

දරුවනේ, ගාථාවල මහප්‍රාණ අක්ෂර තිබෙනවා. ඒවා හරියටම ශබ්ද විය යුතුයි. නවත්වන තැන්වලදී හරියටම නවතන්නටත් ඕනෑ. එයට කියන්නේ ‘යතිය’ කියල යි. ඉතින් ගිහි පිරිස් පිරිත් කියනවාට වඩා ස්වාමීන් වහන්සේලා පිරිත් දේශනා කිරීමේ දී ආනිශංස වැඩියි. එයට හේතුව උන්වහන්සේලා පාලි භාෂාව හොඳින් ඉගෙනගෙන, නවත්වන තැන් දැනගෙන, නිවැරැදිව සජ්ඣායනා කිරීමයි.

මේ පින්වත් දරුවන් දහම් පාසල් ගිහින් පාලි ඉගෙනීමේ වටිනාකම පෙනෙනවා නේද? පාලි භාෂාව හොඳින් ඉගෙන ගන්නේ නම් ගණිතය, විද්‍යාව වගේ විෂයයන්, සිංහලෙන් ඉගෙන ගන්න පහසුවෙනවා. ඇයි දන්නවා ද? මෙම විෂයයන්වල භාවිත වන බොහෝ වචන පාලි භාෂාවේ සඳහන් වෙනවා. උදාහරණ ලෙස විද්‍යාව විෂයයේදී ‘සංකෝචනය’ (හැකිලීම) යන වචනයෙහි පාලි වචනය ‘සංකොචති’ ඊළඟට බලමු එහි විරුද්ධ පදය, ‘ප්‍රසාරණය’ එහි පාලි වචනය ‘ප්‍රසාරති’ ගණිතය විෂයයේ දී ‘ගණිතය’ යන වචනය සෑදී තිබෙන්නේ පාලියේ ‘ගණ’ කියන වචනයෙන්. එවැනි උදාහරණ බොහෝ තිබෙනවා.

දරුවනේ, පාලි බස හොඳින් ඉගෙනීමෙන් වන්දනා ගාථා නිවැරැදිව කියන්නට පුළුවන් වෙනවා. මේ ගාථා කියලා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ දෙවිවරු, දිව්‍ය ලෝකයේ සිට දිවැස් හෙළමින්, අප ගාථා කියන ආකාරය බලා සිටිනවා. දෙවිවරුන්ට නිවැරැදි ම ගාථා හොඳින් හුරු පුරුදුයි. ගාථා වරදවා කීවොත් අපට දෙවියන් ආශිර්වාද කරන්නේ නෑ.

අද මම මේ දරුවන්ට නිතර වරදවා කියන ගාථා කිහිපයක් කියලා දෙන්නයි අදහස් කළේ. දෙවියන්ට පින්දෙන ගාථාව නිවැරැදිව කියන්නේ බොහොම ස්වල්ප පිරිසයි. සමහරවිට අද දෙවියන්ගේ ආරක්ෂාව අඩු වී ඇති බව පෙනෙනවා. වැරැදි කරමින් දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලුවාට දෙවිවරු ආශිර්වාද කරන්නේ නෑ. අඩුම තරමේ පින්දෙන ගාථාවවත් හරියට කියන්නේ නැතිනම් දේව ආරක්ෂාව ලැබෙන්නේ කෙසේද? දෙවියන්ට නිවැරැදිව පින් දෙන්නේ කොහොමද? බොහෝ දෙනෙක් කියන්නේ ‘එත්තාවතාච අම්මේහි’ කියලයි. පළමු පදයම වැරැදියි. මොකද දන්නවාද? ‘අම්මේහි’ කියලා වචනයක් නෑ. එතැනට යෙදෙන්නේ ‘අම්හෙහි’ කියන වචනයයි. දෙවැනි පදය කියන්නේ

‘සම්පදං පුඤ්ඤ සම්පදං ‘ කියලයි එහි පළමු පදය ‘සම්පදං’ නොවෙයි එය ‘සම්භතං පුඤ්ඤ සම්පදං’ විය යුතුයි

‘එත්තාවතා ච අම්හේහි
සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු
සබ්බසම්පත්ති සිද්ධියා’

දැන් තේරෙනවා නේද අපි දෙවියන්ට පින් දුන්නේ වැරැදි ලෙස කියලා.

දරුවනේ, වචනවල අක්ෂර වෙනස් වන විට අර්ථයත් වෙනස් වෙනවා. ඒ වගේම අපි ආරක්ෂක දෙවියන්ට පින් දෙනවිට වඳින්නේ නෑ. අත් දෙකම අඩවන් කරගෙනයි පින් දෙන්නේ. හේතුව තමයි දෙවිවරු වැඳීම් බලාපොරොත්තු වෙන්නේ නෑ. හොඳින් පන්සිල් රකින, මව්පියන්ට සලකන පින්වන්ත අයට දෙවියොත් වඳිනවා.

අහලා තියෙනවා නේද,

‘හිටියොත් හොඳට හැදී
දෙවියොත් නමට වඳී’

කියන ගී පද කොටස

බොහොම ඉස්සර දෙවිවරු මිනිසුන්ට වැන්දා. අද අපි දෙවියන්ට වඳිනවා. තේරෙනවා නේද අප ඉන්නා තැන .

වන්දනා ක්‍රම ගැන මතක් කිරීමේ දී බුද්ධ ශාසනයේ වන්දනා ක්‍රම තුනක් තිබෙනවා. දොහොත් මුදුණේ තබා වැඳීම

පසඟ පිහිටුවා වැඳීම හා

දණ්ඩ නමස්කාරය යනුවෙන්

දොහොත් මුදුණේ තබාගෙන වඳින්නේ අපට වඩා ගුණයෙන්, සීලයෙන් , සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනයෙන් උසස්ම අයට. උතුම් තෙරුවන්, භාවනානුයෝගී උතුමන්, මව්පිය වැඩිහිටියන්ට දොහොත් මුදුණේ තබා වඳින්න පුළුවන්.

භාග්‍යවතුන් වහන්සේට නමස්කාරය කියනවිට, බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය වන්දනා කර අවසන් වනතුරු දොහොත් මුදුණේ තිබෙන්නට ඕනෑ.

දෑත් පපුවට සමීපව, මුවට සමීපව තබා වැඳීමට වඳිනවා කියලා කියන්නේ නෑ. එයට කියන්නේ ආචාර කරනවා කියලයි. එතකොට අපි බුදුරජාණන් වහන්සේට ආචාර කරන්නේ නෑ. බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා. අලුත් අවුරුද්දට , ආරාධනාවකට ඥාතීන්ගේ නිවෙස්වලට ගියාම කරන්නේ ආචාර කිරීමයි. දොහොත් මුදුනේ තබා වඳින්නේ නෑ.

දෙවැනි වන්දනාව පසඟ පිහිටුවා වැඳීම යි. ඒ කියන්නේ අංග පහක් බිම ස්පර්ශ වනසේ නමස්කාර කිරීම යි. දෙවැලමිට, දෙ දණ සහ නළල බිම තබා වැඳීම යි. පසඟ පිහිටුවා වැඳීමේ දී පත්කඩය අනිවාර්ය යි. හිස බිමට ස්පර්ශ කරන්නේ නෑ. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ආදි වූ මාර්ගඵල ලබන්නට මෙහෙයවන්නේ මනස යි. ඒ නිසා හිස බිම තබන්නේ නෑ.

සුමේධ තාපසතුමා දීපංකර පාද මූලයේ දී බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ බිම දිගාවෙලා මුළු ශරීරයම ඒ දණ්ඩක් වගේ පිහිටුවලා. ඒ, දණ්ඩ නමස්කාරය යි. ප්‍රබල බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමේ අරමුණෙන් පාරමිතා පුරන උතුමන්, දණ්ඩ නමස්කාරය කරනවා. මේ ක්‍රම හැරුණු විට වෙන කිසිදු වන්දනා ක්‍රමයක් බුදු දහම තුළ නෑ. ස්වාමීන් වහන්සේලා පැවිදි කරන විට සිල් සමාදන් කරවන අවස්ථාවේ සිටිය යුතු වන්නේ මේ ක්‍රමයන්ට නොවෙයි. උක්කුටික වන්දනාවෙන්. යටිපතුල් පොළොවට ස්පර්ශ වන සේ හිඳගෙන, වැලමිට දෙ දණ මත තබා, දොහොත් මුදුණේ තබා වැඳීමට කියනවා උක්කුටික වන්දනාව කියලා. සිල් සමාදන් වන ඇත්තො උක්කුටික වන්දනාවෙන් ඉන්නවා නම් හරිම වටිනවා.

දැන් මේ දරුවෝ, වන්දනා ක්‍රම දැනගත්තා. නිවැරැදිව වන්දනා කරගෙන, නිවැරැදිව ගාථා කියලා, නිවැරැදිව කුසල් කරන්න අද අමාවක පෝ දිනයේ ඉගෙන ගන්නට ඕනෑ. අද මේ දරුවන්ට බුදුරජාණන් වහන්සේට පහන් පූජා කරන තවත් ගාථා කීපයක් හඳුන්වා දෙන්නම්.

වෙනෙය්‍ය හදයෙ මොහ
තමොක්ඛන්ධ විනොදකං
දීපෙනෙතෙන පූජේමි
පඤ්ඤාදීපධරං ජිනං

’ඉමිනා පුඤ්ඤකම්මෙන
පඤ්ඤවා සීලවා සදා
භවිත්වාන ලභෙ සීලං
ධම්මචක්ඛුං අනුත්තරං’

‘කෙලෙස් සහගත ජනයාගේ හදවතේ මෝහය නමැති අන්ධකාරය දුරු කරන්නා වූ ප්‍රඥාව නමැති ප්‍රදීපය දරන්නා වූ, පස් මරුන් පැරදූ තථාගතයන් වහන්සේ මේ ප්‍රදීපයෙන් පුදමි. මේ පින්කමින් මා හැම කල්හිම නුවණැත්තෙක් ව, සිල්වතෙක් වී, උතුම් දහම් ඇස පහළ වීම නම් වූ රහත් මඟ නුවණ වහා ලබත්වා.